ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ එක් චෝදනාවට අදාළව අද (26) කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළිගෙන තිබේ.
කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අද දින මෙම නඩුව කැඳවු අවස්ථාවේදි 2015 ජුලි 17 වැනිදා සිට 2016 ජුලි 16 දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටීමේ චෝදනාවට ඇය මෙලෙස වරද පිළිගත්තාය. ඒ අනුව සිද්ධියට අදාල දඬුවම් නියම කිරීම ජනවාරි 14 දිනට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට අදාළව නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ අකිලා දල්පදාදු අධිකරණයේ පෙනී සිටි අතර, සැකකාරිය වෙනුවෙන් නීතිඥ මොහොන් සෙනෙවිරත්න පෙනී සිටියා.
අධිකරණයේදී සිදුවූ දේ
අද දින අධිකරණයේදී චෝදනාව කියවා දීමෙන් අනතුරුව, තම සේවාදායිකාව එම චෝදනාවට වරද පිළිගන්නා බව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව විත්ති කූඩුවේ සිටි ඩයනා ගමගේ ද තමා එම චෝදනාවට වරදකරු බව පිළිගන්නා බව අධිකරණය හමුවේ පවසා සිටියාය.
සෙසු චෝදනා 6 විභාගයට
සිද්ධියට අදාල සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ගොනු කර ඇති චෝදනා හතෙන් එක් චෝදනාවකට අදාළව අද දින මෙලෙස වරද පිළිගනු ලැබු නමුත්, තවත් චෝදනා 6 කට අදාලව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී සාක්ෂි විභාගය සිදු වේ.
සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන චෝදනා මෙලෙසය.
2016 ජූලි 14 වැනිදා සිට 2017 ජූලි 16 වැනිදා දක්වා කාලය තුළත්, 2018 ජූලි 17 වැනිදා සිට 2019 ජූලි 16 වැනිදා දක්වා කාලය තුළත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු චෝදනා කිහිපයක් ඇයට එරෙහිව ගොනු කර තිබෙනවා.
එසේම, 2020 ජූලි 16 වැනිදා සහ නොවැම්බර් 1 වැනිදා අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම සහ 2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ද ඇයට එරෙහි චෝදනා අතර වේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා අධිකරණය හමුවේ ගොනු කර ඇත.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය සහ පසුබිම
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඩයනා ගමගේ ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබිණා.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නඩු දිනයකදී අධිකරණයට දැනුම් දී තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
