මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර ජනාධිපතිවරයා 12 වනදා කළ අයවැය වෙනුවෙන් 13 වනදා විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.
ඇත්තටම සජිත් ප්‍රායෝගිකව ලස්සන රටක් හදන හැටි කියා දුන්නේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින්ය.
බලයගත් පසු නව ලිබරල් වාදය කුඩු කර, රටේ සමාජවාදය පැලකරන ආර්ථිකයක් ගොඩනගන බවට වහසිබස් දෙඩූ අනුරලාගේ පරණ කියුම්, කෙරුම් සිහිපත් කරමින් සජිත් හරි අපූරු කථාවක් සිදු කළේය.

“අපි හිටියනම් IMF යන්නේ නෑ, අපි ආවම IMF එකත් එක්ක ඇති කර ගත්ත DSA එක වෙනස් කරනවා, විදුලි බිල 33% කින් අඩු කරනවා, වරායේ ගොඩබාන මිලට තෙල්ටික දෙනවා, කෑම බිම වලින් බදු ඉවත් කරනවා, සහල් ඒකාධිකාරිය කඩලා දානවා” වගේ ජනතාව රැවටූ පච කප්පරක් කියලා බලය ගත් අනුර ජනතාවට පොරොන්දු වූ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් වෙනුවට 1% ක සුපිරි ධනපති පැලැන්තියක් පෝෂණය කරන හැටි සජිත් එකින් එක විස්තර කළේය.
“ අපිට බලය දෙන්න අපි ගේන්නේ සරදියෙල් පන්නයේ අයවැය කියලා තමයි එදා කිව්වේ. ධනවාදය ගැන කිව්වේ මොනවද? පෞද්ගලික අංශය ගැන කිව්වේ මොනවද? ව්‍යාපාරිකයන් ගැන කිව්වේ මොනවද? ආයෝජකයන් ගැන කිව්වේ මොනවද? ඒවා ඔක්කොම දැන් අමතක වෙලා. මේ ගෙනල්ලා තියෙන්නේ මොහොමඩ් අලි පන්නයේ අයවැයක්. ගහන්නෙම බඩට. එදා ජවිපේ - චන්ද්‍රිකා හවුල් ආණ්ඩුව වෙලාවේ කිව්ව මතකද? ලෝක බැංකුවේ ප්ල්ග් එක ගලවලා ජනතාවට සහන දෙනවා කියලා. කෝ අද අනුරට ප්ල්ග් එක අමතක වෙලා. 33% කින් විදුලි බිල අඩු කළාද ? වරායේ බාන ගානට තෙල්ටික දෙනවද? ලක්ෂ 12 දෙනවා කිව්ව විට්ස් කාර්එක කෝ. කෝ අර මාළු අල්ලන ඇප් එක. මේක අයවැයක් නෙමෙයි පච වැලක්.” විපක්ෂ නායක සජිත් අයවැය සම්බන්ධයෙන් දැඩි වාග් ප්‍රහාරයක් දියත් කළේය.
ඒ කථාව තුළ පෙනුණු වැදගත්ම කාරණය වුනේ, සජිත් ආර්ථිකය දෙස බලන ආකාරයයි. සජිත් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති, නිදහස් වෙළෙඳපොළ, පෞද්ගලික ව්‍යවසායකත්වය සහ ආයෝජන අවස්ථා ගැන කතා කරන අතරම ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටත් ලැබිය යුතු බවත් අවධාරණය කළේය.
“ආර්ථිකය වර්ධනය කරන්න නම් අලුත් ව්‍යාපාරිකයින්ට අවස්ථාව දෙන්න ඕන. ආයෝජකයින්ට විශ්වාසයක් ඇති කරන්න ඕන. රට ඇතුලේ රැකියා බිහි කරන්න ඕන. ඒ වගේම එයින් උත්පාදනය වෙන ධනය සමාජයේ පහළම ස්ථරයටත් ගලා යන ක්‍රමවේදයක් හදන්න ඕන. රටේ ජනතාවගේ ආදායම වැඩිවීම හරහා තමයි ජනතාව පොහොසත් වෙලා රට පොහොසත් වෙන්නේ. නැතුව රටේ අහිංසක ජනතාවගෙන් බදු අය කරලා මහාභාණ්ඩාගාරය පිරවීම ආර්ථික කළමනාකරණය නෙමෙයි.”
අවංක නම් වස් කවිවලට බයවෙන්නේ ඇයි..?

“ සොහොන් පිටිවල නූල්ගැන, වස්කවි ගැන එහෙමත් ජනාධිපතිතුමා අයවැය අස්සේ කතා කරනවා අපිට ඇහුණා. ජනාධිපතිතුමාට දෙයියො බුදුන් සිහිවෙන්නත් පටන් අරන්. ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ පිරිසිදු චේතනාවෙන් අවංක වුවමනාවෙන් වැඩකරනවා නම් වස් කවිවලටවත්, සොහොන් නූල්වලටවත් බය වෙන්න ඕන නෑ.” සජිත් අයවැය කථාව අස්සේ හින්ට් එකකුත් ඇරියේ ඇඟට පතට නොදැනීමය.
ඒ අවස්ථාවේදී තමන්ට මුහුණ නොදී, අගමැති හරිනි වෙනතක් බලාසිටින බව දුටු සජිත් “අගමැතිතුමිය නම් අහක බලාගෙන ඉන්නේ” ඒ සමඟ සජිත් දෙස බැලූ අගමැතිනියගේ මුහුණ බලාගෙනම සජිත් ඉතිරි ටික කීවේය.
“මේක බඩට ගහන අයවැයක්. දුප්පතුන් කොන්කරල පෝසතුන් සතුටු කරන අයවැයක්. 2025 අයවැය ගෙනෙද්දී කිව්වා තාම පුංචි දරුවෙක් කියලා. 2026දී කිව්වා තාම බඩගානව කියලා. 2027 වෙද්දී මාක්වාදයෙනුත් පිට පැනලා, ජවිපෙ දරුවා දැන් නව ලිබරල් වාදයේ කප්පිත්තෙක් කරලනේ. මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩුව ගිය අඩිපාරේමයි. හැබැයි ඊටත් වඩා වේගයෙන් යනවා.” සජිත් කීවේය.
ආණ්ඩුව සඟවන දත්ත වෙනුවට සමගියෙන් හරි දත්ත...

2027 අයවැය ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහාචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ පැවැත්වෙන පූර්ව අයවැය වැඩමුළුව මෙවරත් අයවැයට පෙර දිනයේ කොළඹදී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අලුත් ගිවිසුමකට යන බව පවසා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව, දැන් ජනවරමට පයින් ගසමින් ජනතාව අසහනයට පත් කරමින් අයි.එම්.එෆ්. ගිවිසුම එලෙසින්ම ක්‍රියාත්මක කරද්දී නිවැරදි දත්ත පවා රටට සැඟවීමට කටයුතු කර ඇති බවට සජිත් චෝදනා කළේය.
“රටේ එක් පුද්ගලයකුට රු. 17,000කින් ජීවත් වෙන්න පුලුවන්ලු. එක් පුද්ගලයකුට අවශ්‍ය දෛනික කිලෝ කැලරි 2030 අනුවලු ආණ්ඩුව මේ ගණනය කිරීම් සිදුකරල තියෙන්නේ. ඉතිං කාටද කියන්නේ. අදටත් ආණ්ඩුව දුප්පත්කම ගැන නිවැරදි දත්ත ඉදිරිපත් කරල නෑ. අදටත් අස්වැසුම ලබාදෙන්නේ නිවැරදි ප්‍රතිලාභීන්ටද කියන ගැටලුව තියෙනවා.”
සජිත්, හර්ෂ, කබීර් එක්ව මන්ත්‍රීවරුන්ට පාඩමක්…

පූර්ව අයවැය වැඩමුළුවේදී සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් කියා සිටියේ සෑම විටම ආණ්ඩුව ජනතාවට ලබාදී ඇති පොරොන්දු සහ දැනට ක්‍රියාත්මක කරමින් යන වැඩසටහන ගැන සංසන්ධනාත්මක විග්‍රහයන් සිය අයවැය කථා තුලට අන්තර්ගත කරගන්නා ලෙසටය.
“දැන් බලන්න ආණ්ඩුව ලක්ෂ 12 ට විට්ස් කාර් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කිව්වා. ඒත් අද විට්ස් කාර් එකක් ලක්ෂ 90 ට ගිහිල්ලා. දැන් වාහන ආනයනය අඩු වෙලා. ඒත් මේ වෙලාවේ මේ රටට කෝටි 75 Rolls-Royce ගෙන්නනවා. ඒවා ගේන්නේ උග්‍ර පොහොසතුන්. ඒවා ගේද්දී රටෙන් පිටට ඩොලර් යන්නේ කුට්ටි පිටින්. මේවා තමයි තිත්ත ඇත්ත. අනුර වටේ ඉන්න ව්‍යාපාරික පැලැන්තියට ඕන විදිහට තමයි අනුර තීන්දු තීරණ ගන්නේ. කබීර් එහෙම කියද්දී, ඒ වගේම තමයි, දැන් කෝ ශක්ති සහල් ව්‍යාපාරය. අපි ඒ දේවල් ආරම්භ කළේ ගොවියත්, කුඩා සහල් මෝල් හිමියත් දෙන්නම ආරක්ෂා කරන්න. ඒත් අද වී ගොවියත් අසරණ වෙලා. පුංචි වී මෝල් හිමියත් අසරණ වෙලා. මහාපරිමාණ මෝල් හිමියෝ වී ටික තුට්ටු දෙකට ගන්නවා. ආණ්ඩුවට කිසිම හැඟීමක් නෑ මේ පොඩි මිනිස්සු ගැන.” එහෙම කියා සිටියේ හර්ෂය.
අපි හැමවෙලාවක “ලස්සන රටක් - පොහොසත් ජීවිතයක්” කියන පොතේ තිබුණ පොරොන්දු සහ ජනාධිපති අනුර පහුගිය දවස්වල රට වටේ ගිහින් දුන්න පොරොන්දු අයවැය හරහා ඉටු කරලද නැද්ද කියන දේ රටට කියන්න ෆෝකස් එක හදාගමු. එහෙම කිව්වේ සජිත්ය.
අයවැයේ වැඩ කිඩ බලන්න අලුත් වෙබ් අඩවියක්..

වත්මන් ආණ්ඩුව 2025 සහ 2026 වසරවල ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රගතිය විමසුමට ලක් කිරීමටත්, 2027 අයවැය යෝජනා පිළිබඳ විශ්ලේෂණය කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහාත් හැකි පරිදි, විපක්ෂ නායක සජිත්ගේ උපදෙස් මත oversight.lk නමින් නව වෙබ් අඩවියක් නිර්මාණය කෙරුණා.
ඒ ඔස්සේ එක් එක් අමාත්‍යාංශ පිළිබඳ තොරතුරු, අයවැය සමාලෝචන, රාජ්‍ය ආයතන පිළිබඳව සිදු කළ විගණන විමසුම්වල වාර්තා සහ ආණ්ඩුවේ අය සහ වැය කිරීම් පිළිබඳ විශ්ලේෂණාත්මක දත්ත තොරතුරුත් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව විපක්ෂ නායක කාර්යාලය කියා සිටියා.
මංමුලා වූ සමනළයකුගෙන් පාර ඇසීම…

මේ අතර මාළිමා ආණ්ඩුවේ තුන්වන අයවැය ගැන පැහැදිලි කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා කෝට්ටේ සමගි ජනබලවේග මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
ආර්ථික අවපාතයකට වැටී තිබූ රටක් තමන් විසින් භාරගත් බව කියමින්, ජනාධිපතිවරයා පචයකින්ම තම අයවැය කථාව ආරම්භ කළ බවට මහාචාර්ය චෝදනා කළේය.
“ජනාධිපති අනුර කුමාර රට භාරගත්තේ 2022 නෙමෙයි, එතුමා රට භාරගත්තේ 2024 අවසන් කාර්තුවේ. ඒ වෙද්දී ආර්ථික වර්ධන වේගය 4.7% තිබුනා. ඒක 2026 අවසන් කාර්තුවට සංසන්ධනය කරද්දී ඒක 4.2% ට අඩුවෙලා තියෙනවා. ඊළඟට 2024 උද්ධමන අනුපාතිකය තිබුණේ 0.5ක තිබුනේ. නමුත් මේ වෙද්දි එම අගය 8.3 පහුකරල. 2027 ත් ඒ අගය ඉහළට යන බවත් තමයි පේන්න තියෙන්නේ. ඩොලරයට ගෙවන රුපියල් ගණන දිනෙන් දින ඉහළ යනවා. ඒ අනුව ආර්ථිකය පෙර පැවැති තැනට තාම ඇවිල්ලා නෑ. 7% ක ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කරනවාලු. ආයෝජන සැලසුම්, නැතිව එහෙම කියන්නේ කොහොමද ? ජනාධිපතිතුමා කියන 7% වර්ධන වේගය හිතලුවක්. නිකම්ම නිකං ඉලක්කමක් විතරයි. මූල්‍ය අරමුදලට අනුව දැන් ආර්ථික වර්ධන වේගය පවතින්නේ 3.1%ක් වැනි අගයක.”
ඇති නැති පරතරය ඉහළ යාම තුළ දුප්පතුන් ප්‍රමාණය වැඩිවෙමින් ඇති බවත්, එවැනි තත්ත්වයක් තුළ අස්වැසුම වැනි සහනාධාර වෙනුවෙන් වෙන්කරන මුදල කප්පාදු කරන්නේ කුමන පදනමකින්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් මහාචාර්යවරයා පැවැසීය.
“ඇති නැති පරතරය වැඩි වෙන කොට දුප්පතුන් වෙනුවෙන් වූ පංගුව රුපියල් බිලියන 1572 සිට 1472ක් දක්වා අඩු වුණේ කොහොමද ? ඒ වගේම විරැකියා අනුපාතය 43%ක්. මේවාට විසඳුම් නෑ. මාස 06න් 06ට වැටුප් වැඩිකරනවා කීව්වා. රාජ්‍ය සේවකයින්ගෙන් අහන්න වෙන්නේ පාර ඇසූයේ මංමුලාවූ සමනළයකුගෙන් ද කියලා...”
ජපාන තානාපති හදිසියේම සජිත් හමුවෙයි...

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ශ්‍රීමත් අකියෝ ඉසොමාටා ඉකුත් සතියේ විපක්ෂ නායක සජිත් හමුවිය.
එහිදී මුලින්ම අවධානය යොමුවී තිබුණේ, ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ තිරසර සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා දියත් කළ යුතු සැලසුම් ගැනය. ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන, පාරිසරික තිරසරභාවය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම, ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණය මෙන්ම නීල ආර්ථිකයේ තිරසර සංවර්ධනය ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් කරුණු පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බවට සජිත් මෙහිදී යෝජනා කර තිබුණි.
ජපාන තානාපතිවරයාගේ එකඟතාව හිමිවිය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින තිරසර මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ අඛණ්ඩ සංවාදයේ ඇති වැදගත්කම තහවුරු කිරීමට මෙම සාකච්ඡාව හේතුවන බව ජපාන තානාපතිවරයා මෙහි දී පැවැසීය.
සජිත්ලා හිමින් සීරුවේ ඵලදායීතාව පෙන්වයි..

කාර්මික හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘ජාතික ඵලදායිතා සම්මාන 2025/26' තරඟාවලියේ රාජ්‍ය අංශයේ ( කුඩා ආයතන කාණ්ඩයේ) තුන්වන ස්ථානය දිනාගන්නට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය සමත්විය.
මෙහි ඇති වැදගත්කම වන්නේ විපක්ෂයේ සිටිමින් ඵලදායීතාව පිළිබඳ කථා කරනු වෙනුවට එය සැබෑ ලෙසම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට විපක්ෂ නායක කාර්යාලය කටයුතු කිරීමය.
සජිත් ප්‍රේමදාසගේ මගපෙන්වීම සහ උපදෙස් මත විපක්ෂ නායක ලේකම්වරයා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය සිදුකරන කැපවීම මෙම ඵලදායීතාවයේ ප්‍රතිඵලය පිටුපස ඇති සැබෑ රහසයි.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
