නාමල් මේ සතියේදී අයවැය හේතුවෙන් දිනපතා පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී පොහොට්ටු සාමාජිකයින් හමුවීමටද අමතක කළේ නැත.
නාමල් බැලීමට පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු,එහි මහලේකම් සාගර කාරියවසම්,යූ.කේ සුමිත්,ඉන්දික අනුරුද්ධ,සංජීව එදිරිමාන්න,ඩී.වී චානක,චානක මාදුගොඩ ඇතුළු පිරිසක් නාමල් බැලීමට පැමිණ සිටියහ.
"කෝ අද ජානක වක්කුඹුර නැද්ද" නාමල් විමසීය.
"ජානක වක්කුඹුර අසනීප වෙලා" ජොනී පිළිතුරු දුන්නේය.
අයවැය ගැන අධ්‍යනය කලාද නාමල් පිරිසගෙන් විමසීය. දැන් අපි අයවැය ගැන අධ්‍යනය කරන්න දාපු කමිටුවේ ප්‍රගතිය නාමල් ඇසීය.
"ඔව්, ඒ ඒ අමත්‍යාංශවල ප්‍රගතිය ගැන සම්පුර්ණ වාර්තා ලබා ගත්තා" ඩී.වී පැවසීය.
"සමහර ප්‍රධාන අමාත්‍යාංශවලට පහුගිය අවුරුද්දෙ වෙන් කරපු මුදල් වලින් වියදම් කරලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි" ජොනී පැවසීය.
"ඔව්, වියදම් කරන්නෙත් නෑ වැඩ කරන්නෙත් නෑ ඊට පස්සෙ භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා කිය කිය පම්පෝරි ගහන එක තමයි ආණ්ඩුව කරන්නෙ" නාමල් පැවසීය.
"ඔව් අඩුම දිට්වා කුණාටුවෙන් හානියට පත් නිවාස වලට වන්දි දීලත් නෑ තාමා දැන් අවුරුද්දකටත් කිට්ටුයි" ජොනී පැවසීය.
"ඔව් තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කිවුවෙ.තහඩුවක් තියා පැත්ත පළාතක ගිහින් නෑ වන්දිත් නෑ" නාමල් පැවසීය.
"ඒ විතරක්ද බිමල් රත්නායක කෝච්චියේ පේරාදෙණියට ගියේ සිංදු කිය කිය රේල් පාරෙ කොටසක් හදලා" ඩී.වී චානක පැවසීය.
"ඇයි පේරාදෙණියෙ යකා පාලම හදන්න බෑ කියලා තේරුම් ගන්නත් අවුරුද්දක් ගියා" නාමල් පැවසුවේ සිනාසෙමිනි.
"කවුද අර ජෙප්පො කියන සූර පප්පද කවුද කියන කෙනා කිවුවෙ නම් මේ අප්‍රේල් වෙනකොට නුවරට රේල් පාර හදනවා කියලා" ජොනී කීවේය.
"සූර පප්පා නෙවෙයි කෑ කෝ පප්පලා ටිකක් ඉන්නෙ" සංජීව එදිරිමාන්න සිනාසෙමින් පවසද්දී කට්ටියම සිනා සෙන්නට විය.
"ඒ විතරක් නෙවෙයි අනුර කුමාර කිවුවා චීන ආයෝජනයක් එනවා කියලා ඩොලර් බිලියන හතරක කෝ ආවද" නාමල් පැවසීය.
"හිටපු ආයෝජකයොත් ගියා මිසක් අලුතෙන් කවුරුත් ආවෙ නෑ" ඩී.වී චානක පැවසීය.
"මේ අයවැයත් උම්බලකඩ හාල්මැස්සන් අය වැයක්. අපි ඒත් බැලුවා මිරිස් ටැක්ස් එක මොකද අඩු කරලා තියෙන්නෙ කියලා බැලින්නම් මිරිස් කන්ටේනර් හැටක් වරායෙ හිරවෙලා" නාමල් පැවසීය.
"ඔව් ඉතින් කොහොමත් කන්ටේනර් තුන්සිය විසිතුනක් පන්නපු අයනෙ ඔය කන්ටේනර් හැට මොකක්ද" යූ.කේ සුමිත් පැවසීය.
"දැන් මොකක්ද අලුත් ප්‍රගතිය ශාඛා සමිති පිහිටුවීමයි කොට්ඨාස රැස්වීම්වල" නාමල් විමසීය.
"අපි පසුගිය සතියෙ ගාල්ලෙ ශාඛා සමිති පිහිටුවීම ආරම්භ කලා ඒ වගේම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යන්න තමයි හදන්නෙ" ජොනී පැවසීය.
"කොට්ඨාස රැස්වීම් දැන් ආරම්භ කලා මේ සතියෙ මහනුවර කොලඹ ගම්පහ කොට්ඨාස රැස්වීම් පැවැත්තුවා සහ පවත්වන්න සූදානම් කරලත් තියෙනවා" සාගර කාරියවසම් සඳහන් කළේය.
"ඔව් ඔක්කොම ටික හොදින් කරගෙන යන්න සතියෙන් සතිය ප්‍රගතිය ගන්න" නාමල් පැවසීය.
හිටපු ජනපති මහින්දට නාමල්ගෙන් උපන්දිනයට සුබ පතමින් සංවේදී ලියුමක්

මට ඔබව වැලඳ ගැනීමට ලග නොසිටියත් අකුරු වලින් ඔබව වැලඳ ගන්නම් මේ වැකිය නාමල් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 81 වෙනි උපන්දිනය වෙනුවෙන් නාමල් යැවූ ලිපියේ අන්තර්ගත කොටසක් සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් හා අනෙකුත් මාධ්‍යවල වයිරල් විය.
එම ලිපිය මෙසේය.
(උපුටා ගැනීම)
මගේ ආදරණීය තාත්තාට,
ආදරණීය තාත්තේ,
මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි.
ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.
තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.
අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.
අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද මගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.
දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.
සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!
හදපිරි ආදරයෙන්,
ඔබේ ආදරණීය ලොකු පුතා,
නාමල්
(උපුටා ගැනීම අවසන්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
