Image

නාමල් දෙසැම්බර් 2 වැනිදා දක්වා රිමාන්ඩ්; අධිචෝදනා පත්‍රයත් භාර දෙයි!

නාමල් දෙසැම්බර් 2 වැනිදා දක්වා රිමාන්ඩ්; අධිචෝදනා පත්‍රයත් භාර දෙයි!

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩුකරයට අදාළව විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) නියෝග කළේය.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, මහාධිකරණ විනිසුරු තිලකරත්න බණ්ඩාර, මහාධිකරණ විනිසුරු නුවන් ධම්මික බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැඳවනු ලැබූහ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ප්‍රතිපාදන අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ඩී. සිල්වා විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ලබා ගැනීමට කළ කරුණු දැක්වීමේ දී විශේෂ අවස්ථානුගත කරුණු කිසිවක් අධිකරණයට ඉදිරිපත් නොවූ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

පැමිණිල්ලේ කරුණු දැක්වීම

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කරුණු දැක්වීමක් සිදුකරමින් චූදිතට ඇප ලබාදීමට අවස්ථානුගත විශේෂ කරුණු අවශ්‍ය බව පැවසුවේය.

ඔහු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරය දිනපතා විභාග කිරීමට හෝ නඩුකරයට අදාළව ඉදිරියට ගන්නා සියලු නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිල්ලෙන් පූර්ණ සහය ලබාදෙන බවයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් නියෝගය පිළිබඳ විත්තියේ තර්කය

අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ඩී. සිල්වා කරුණු දක්වමින් ඉල්ලීමක් සිදු කළේය.

ඔහු කියා සිටියේ විත්තිකරුවා රක්ෂිත බන්ධනාගාරයට පත්කරමින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් රිමාන්ඩ් නියෝගය මෙම අධිකරණය හමුවට පැමිණීමේ දී වලංගු නොවන බවයි.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුකරයට අදාළව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම ප්‍රශ්න සහගත බවයි.

පුද්ගලික නිදහස සහ නීතිමය ප්‍රතිපාදන සම්බන්ධ කරුණු දැක්වීම

ජනාධිපති නීතිඥ රොමේෂ් ඩී. සිල්වා මෙලෙස කරුණු දැක්වුවා.

"අධිචෝදනා පත්‍රය සලකා බැලීමේදී, එය විභාග කිරීම සඳහා මෙම අධිකරණයට පවතින අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. අද දිනයේදී මෙම විත්තිකරුගේ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඇප ඉල්ලීමක් නොවෙයි. පුද්ගලික නිදහසට අදාළ කරුණු කිහිපයක් අධිකරණයට සැලකර සිටීමටයි බලාපොරොත්තු වෙන්නේ.

2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරු මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 30 වැනිදා දක්වා විත්තිකරු බන්ධනාගාර භාරයේ තබා ගන්නා ලෙසත් නියෝග කර තිබෙනවා.

විත්තිකරු මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුතු අවසන් වනවා. ඒ වගේම එම අධිකරණය ලබාදුන් නියෝග ද අවසන් වනවා.

ඒ අනුව, මෙම අධිකරණය විසින් ඔක්තෝබර් 28 වැනිදා විත්තිකරු අද දින බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම නියෝගය නිකුත් කළේ කුමන නීතිමය පදනමක් යටතේද සහ කෙසේද යන්න මා දන්නේ නැහැ. කෙසේ වෙතත්, මා එම නියෝගය අභියෝගයට ලක් කරන්නේ නැහැ.

නමුත් දැන් මෙම අධිකරණය විසින් විත්තිකරුගේ පුද්ගලික නිදහස සීමා කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නේද යන්න සලකා බැලිය යුතුයි. මා විත්තිකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කරන්නේ නැහැ. මන්ද ඔහු නිදහස් පුද්ගලයෙකු වන බැවින්. ඉදිරියේදී විත්තිකරුගේ නිදහස සීමා කරන්නේ නම්, ඒ සඳහා නව නියෝගයක් නිකුත් කළ යුතුයි."

පුද්ගලයෙකුගේ පුද්ගලික නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් පූර්ව නඩු තීන්දු කිහිපයක්, ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස කරුණු ඉදිරිපත් කළේය.

"Right to life and right to liberty comes with the birth of human being." එනම්, ජීවත්වීමේ අයිතිය සහ නිදහස පිළිබඳ අයිතිය මිනිසෙකු උපත ලබන අවස්ථාවේ සිටම ඔහුට හිමිවන බවයි.

"ජීවත්වීමේ අයිතිය උපතේදීම ලබා දෙනවා නමුත් එම අයිතිය කාලයෙන් කාලයට නඩු තීන්දු හරහා උපුටා දැක්වීමක් සිදු වෙනවා."

තවද, විත්තිකරුගේ පුද්ගලික නිදහස සීමා නොකරන ලෙසත්, ඒ අනුව නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලද නියෝගය විත්තිකරු මේ වන විට මහාධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ තවදුරටත් බලපැවැත්වෙන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ විධිවිධාන සහ දේශීය නඩු තීන්දු කිහිපයක් ද උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"සෑම අධිකරණයකටම සැකකරුවෙකුට හෝ විත්තිකරුවෙකුට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ බලයක් තිබෙනවා. එම බලය කිසිදු සහතිකයක් මගින් අහෝසි කළ නොහැකියි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද සහතිකය මගින් මහේස්ත්‍රාත්වරයාට සැකකරුවෙකුට ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් වී තිබිය යුතු බවට නියම කර තිබෙනවා. එසේ නොමැති නම් ඇප ලබාදීම සඳහා එම අධිකරණයට බලයක් ලැබෙන්නේ නැහැ.

මා විසින් කරුණු ඉදිරිපත් කරන්නේ නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් පමණක් වන අතර, දේශපාලන කරුණු සම්බන්ධයෙන් නොවෙයි.

අධිචෝදනා පත්‍රය භාරදීම සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රතිචාරය

ඉන් පසුව නියෝජ්‍ය සොලිසිටර් ජනක බණ්ඩාර කරුණු දක්වමින් මෙසේ පැවසුවා.

"ස්වාමීනී, මෙම නඩුකරයට අදාළව මෙම පළමු විත්තිකරු පමණයි අද දින මෙම අධිකරණය හමුවේ පෙනී සිටින්නේ. සෙසු විත්තිකරුවන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නේ නැහැ. ඒ අනුව පළමුව චූදිතට පමණක් අද දින අධිචෝදනා පත්‍රය සහ ඊට අදාළ ඇමුණුම් විවෘත අධිකරණය හමුවේ භාරදෙනු ලබනවා.

ස්වාමීනී, චූදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් චූදිතට ලබා දුන් රිමාන්ඩ් නියෝගය හේතුවෙන් චූදිතගේ පුද්ගලික නිදහස සීමාවට ලක්ව ඇති බව පැවසුවා. අධිකරණ නියෝගයකින් පුද්ගලයකුගේ නිදහස අහිමිවූ බවට කිසිසේත්ම පැවසීමට හැකියාවක් නැහැ.

ස්වාමීනී, දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාරව චූදිතව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය සහිතවයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. එවන් අවස්ථාවක ඇප ලබා ගැනීමට අවස්ථානුගත විශේෂ කරුණු ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඔහු මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරය පැවති අවස්ථාවේදීත් අවස්ථානුගත සුවිශේෂී කරුණු දැක්වීමක් සිදු නොකිරීම හේතුවෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ. ඒ අනුව මෙම අධිකරණයටත් අද දින චූදිත සම්බන්ධව සිදු කළ හැක්කේ නියෝග දෙකක් පමණයි. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195(D) වගන්තිය ප්‍රකාරව චූදිත ඇප ලබා ගැනීමට අවස්ථානුගත විශේෂ කරුණු ඉදිරිපත් කර තිබෙනවාද යන්න සලකා බලා ඇප ලබාදීම හෝ චූදිතව රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි.

ඒ වගේම ස්වාමීනී, මෙම නඩුවට අදාළව මෙම අධිකරණය ලබාගන්නා ඕනෑම ඉදිරි නෛතික ක්‍රියාමාර්ගයකට සහාය දැක්වීමට පැමිණිල්ල සූදානම්. මෙම නඩුකරය මෙම අධිකරණය හමුවේ දිනපතා ඇසීමට තීරණයක් ගන්නේ නම් ඊට ද පැමිණිල්ලේ සහය හිමිවෙනවා.”


අධිකරණයේ නියෝගය සහ විනිසුරුවරයාගේ පැහැදිලි කිරීම

සිද්ධියට අදාළව විනිසුරුවරයා නියෝගය ලබා දෙමින් කියා සිටියේ දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාරව චූදිතට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබෙන බන්ධනාගාර භාරයේ තබා ගන්නා ලෙසට කරන ලද නියෝගය මෙම අධිකරණය හමුවට පැමිණීමේදී ද බලපැවැත්වෙන බවයි.

ඒ අනුව චූදිත නඩුවට අදාළව දූෂණ විරෝධී පනතේ 149(2) අතුරු විධානය අනුව ඇප ලබා දීමට නම් අවස්ථානුගත විශේෂ කරුණු ඉදිරිපත් විය යුතු බව විනිසුරුවරයා අධිකරණයට දන්වා සිටියා.

නමුත් මෙම අවස්ථාවේදී චූදිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ඩී. සිල්වා චූදිත වෙනුවෙන් සිදු කළ කරුණු දැක්වීමේදී එවැනි අවස්ථානුගත විශේෂ කරුණු මතුව නොමැති බවද විනිසුරුවරයා අවධාරණය කළා.

ඒ අනුව චූදිත සම්බන්ධව සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර චූදිත නඩු විභාගයට අදාළව රක්ෂිත බන්ධනාගාරයට පත් කරන බව විනිසුරුවරයා අධිකරණයට දන්වා සිටියා.

ඇප නියෝගය සම්බන්ධයෙන් නියෝගය ලබාදෙමින් විනිසුරුවරයා මෙසේද පැවසුවා.

"සිද්ධියට අදාළ පළමුවන චූදිත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය පරිදි 2026-10-28 වැනිදා මෙම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දින දක්වා බන්ධනාගාරයේ තබා ගන්නා ලෙස මෙම අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා.

එම නියෝගය පරිදි විත්තිකරුව අද බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළා. අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 වගන්තිය ප්‍රකාරව චූදිතට අද දින අධිකරණයේදී අධිචෝදනා පත්‍ර සහ ඇමුණුම් පිටපත් භාරදෙනු ලැබුවා. ඉන්පසුව චූදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ඩී. සිල්වා ඉල්ලීමක් කරමින් කරුණු දැක්වීමක් සිදුකළා. මෙම නඩුව විභාගයට ගැනීමට මෙම අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඔහු පසුව කරුණු දැක්වීමක් සිදුකරන බව අධිකරණයට කරුණු දැක්වූවා. ඒ වගේම චූදිතගේ පුද්ගලික නිදහස අහිමි කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලීමක් කළා. නමුත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ එම ඉල්ලීම ඇප ඉල්ලීමක් නොවන බවයි.”


අනතුරුව විනිසුරුවරයා චූදිත සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබෙන නියෝගය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළා.

"කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් චූදිතට එම අධිකරණයේ පැවැති නඩු කටයුත්ත අවසාන වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප සම්බන්ධයෙන් නියෝගයක් කළ නොහැකි බවට මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

අද දින ජනාධිපති නීතිඥවරයා ඔහුගේ දේශනයේදී එම නියෝගය පුද්ගලික නිදහසක් අහිමි කිරීමක් බවට පැවසුවා. නඩුකරයකට අදාළව අධිචෝදනා පත්‍ර ගොනුකිරීමෙන් අනතුරුව එම නඩු කටයුත්ත පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට තිබෙන බලතල අවසාන වෙනවා.

කෙසේ වෙතත් චූදිතව මහේස්ත්‍රාත් අධිකරණයෙන්ම රක්ෂිත භාරයට පත් කර තිබෙන්නේ දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාරවයි. අදාළ වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඇතුව සැකකරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා. අදාළ සහතිකය මගින් සැකකරු අදාළ සිද්ධියේදී තුට්ටු පඬුරු ලබා ගැනීමක් හෝ පිළිගැනීමක් සිදුකර ඇති බවට අනාවරණය වීමක් සිදුවී ඇති බවට දක්වා ඇත්නම් සැකකරුට ඇප ලබා ගැනීමට අවස්ථානුගත විශේෂ කරුණු තිබිය යුතුය.

එසේ නැති වුවහොත් චූදිතව නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත භාරයේ තැබිය යුතුය. නමුත් දූෂණ විරෝධී පනතේ 149(2) වගන්තිය ප්‍රකාරව ඇප ලබාදීමේ ප්‍රතිපාදනයද සීමා කිරීමකට ලක් කර තිබෙනවා. ඒ අනුව මේ අවස්ථාවේදී සලකා බැලිය යුත්තේ චූදිතට මේ අවස්ථාවේදී මෙම අධිකරණයෙන් ඇප ලබාදීමට ඇති තත්ත්වය කුමක්ද යන්නයි. ඇප පනත යටතේ ඇති විධිවිධාන අනුව මේ අවස්ථාවේදී චූදිතට ඇප ලබාදීමක් සිදුකළ නොහැකියි.

දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය යටතේ චූදිතට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් රිමාන්ඩ් නියෝගය මහාධිකරණ නඩු විභාගය දක්වා බලපැවැත්වෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් නියෝගය මෙම මහාධිකරණය හමුවට පැමිණීමේදී අහෝසි වීමක් සිදුවන්නේ නැහැ. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වී මහාධිකරණය හමුවට මෙම නඩුකරයට අදාළ අධිචෝදනා පත්‍ර ගොනුවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් චූදිත මුදා හැරීමක් කිසිසේත්ම සිදු කළ යුතු වන්නේ නැහැ. චූදිතයා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඇප ඉල්ලීම සිදු කළ යුත්තේ මහාධිකරණය හමුවේයි. ඒ අනුව චූදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගයෙන් චූදිතගේ නිදහස අහිමිව ඇති බවට කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරනවා.

අධිකරණ නියෝගයක් පුද්ගලික නිදහස අහිමි කරන බව අර්ථ දැක්වීමක් කළ නොහැකියි. ඒ අනුව චූදිතට මෙම අධිකරණයෙන් ඇප ලබා දීමට දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාරව අවස්ථානුගත විශේෂ කරුණු තිබිය යුතුමයි. නමුත් අද දින අධිකරණය හමුවේ චූදිත වෙනුවෙන් සිදු කළ කරුණු දැක්වීමේ දී එවැනි අවස්ථානුගත සුවිශේෂී කරුණු දැක්වීමක් සිදුවී නැහැ. ඒ අනුව චූදිත වෙනුවෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. චූදිත නඩු විභාගයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කරනවා."


සාක්ෂිකරුවන් කැඳවීමට සහ සිතාසි නිකුත් කිරීමට අවසර

ඒ අනුව පැමිණිල්ල විසින් කරුණු දැක්වීමේ දී නඩුවේ දෙක, තුන, හතර චූදිතයින් නොමැතිව පළමු චූදිත පමණක් සිටියදී නඩුව විභාග කිරීමට සාක්ෂිකරුවන් කැඳවීමට පැමිණිල්ල කළ ඉල්ලීමට අවසර ලබා දෙනවා. ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ට ඉදිරි නඩු දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරනවා. චූදිතව දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න