Image

ස්ථායීකරණයෙන්, පරිවර්තනයකට ගෙනයාම කියන්නේ ජනතාවගේ සාක්කුව හිස්කර මහා භාණ්ඩාගාරය පිරවීමට ද? - මහේෂ් සේනානායක

ස්ථායීකරණයෙන්, පරිවර්තනයකට ගෙනයාම කියන්නේ ජනතාවගේ සාක්කුව හිස්කර මහා භාණ්ඩාගාරය පිරවීමට ද? - මහේෂ් සේනානායක

2027 අයවැය කථාව සිදුකරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ස්ථායීකරණයෙන් පරිවර්ථනයකට ගෙනයාම සඳහා මෙම අයවැය ඉදිරිපත් කරන බව පැවසූ බවත්, එය ඉතාම ලස්සන වචනයක් බවත් කියා සිටි සමගි ජනබලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක  ප්‍රශ්ණ කර සිටියේ, සැබවින්ම මේ පරිවර්ථනය කා සඳහාද යන්න පැහැදිලි කරන ලෙසයි.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ පක්ෂ මූලස්ථානයේ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“අයවැය කියන්නේ නොම්බර ටිකක් පෙන්නලා, ඒ නොම්බර එකතු කරලා Excel sheet එක මෙන්න රට සුඛිත මුදිතයි කියන එක නෙමෙයි. 2026 අයවැයෙන් රජයේ ප්‍රාග්දන වියදම් විදිහට රුපියල් බිලියන 1300ක් වෙන් කළත්, අගොස්තු අවසන් වෙනකොට ඒකෙන් 31% යි මේ රජය යටිතල පහසුකම් සංවර්ධනයට, භෞතික සහ මානව සම්පත් සංවර්ධනයට වියදම් කරලා තියෙන්නේ. ඒ නිසයි අපි කියන්නේ අංක පෙන්නලා. මුළු එකතුව පෙන්නලා. වියදම් කරන්න අනුමත කරගත්ත මුදල් ආපහු මහාභාණ්ඩාගාරයට හරවලා යවලා මුදල් මෙච්චර තියෙනවා, අච්චර තියෙනවා කීම ඕනම පචනෝරිස් කෙනෙකුට කියන්න පුළුවන් අයවැයක්.”

මහේෂ් සේනානායක මහතා පෙන්නවා දුන්නේ, මෙය පරිවර්ථනීය අයවැයක් කීවද එහි කිසිදු තැනක රජයේ පොලී අනුපාත අඩුකර ගැනීමට ක්‍රමයක්, හෝ ආයෝජන කැඳවමින් විදේශ සංචිත වැඩි කරගැනීමේ කිසිදු සැලසුමක් නොමැති බවයි.

ආණ්ඩුවක් පත්කර ගන්නේ, සජිත් ප්‍රේමදාසට බැන බැන හිඳීමටවත්, හර්ෂ ද සිල්වට බැන බැන සිටීමටවත්, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට හෝ එහෙමත් නැත්නම් ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයාගේ වචනයක් අල්ලාගෙන බැන, බැන සිටීමටවත් නොව, රජයක් රටක් භාරගන්නේ සැලසුම් සහගතව ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට බවද ඔහු අවධාරණය කළේය.

“මේ අයවැයේ මුදල් ගේන එකම ක්‍රමය බදු විතරයි. අපිට මතකයි අනුර ජනාධිපති ඇතුළු මාලිමාව එදා වේදිකාවේ කිව්වා සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 50% - 50 % කරන්න ඕන කියලා. ඒත් මේ අයවැයේ හැටියට සෘජු බදු 25% යි, වක්‍ර බදු 75% ක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ කඩෙන් භාණ්ඩ මිලදී ගන්න පුංචි මනුස්සයගෙන් තමයි වැඩියෙන්ම බදු අය කරන්නේ. ඒත් මහා ධන කුවේරයින්ගෙන් අයකර ගන්නේ බදුවලින් 25% යි. ඒකෙන් භාණ්ඩාගාරය පුරව ගන්නවා, පුංචි මනුස්සයගේ සාක්කු හිස් කරනවා. සමගි ජනබලවේගය කවදාවත් බදුවලට විරුද්ධ නෑ. හැබැයි, ජනතාවගෙන් සාධාරණ විදිහට ඒක අයකර ගත යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. දැන් රටේ බඩු මිල වැඩීයි, ඒ වගේම රුපියල අවප්‍රමාණය වෙනවා. ඒත් වැටුප් වැඩිවීමක් නෑ. අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ, ඔබ පරිවර්ථනය කරන්න යන්නේ මේ වක්‍ර බදු වැඩි කරලද? ඔබ පරිවර්ථනය කරන්න යන්නේ මිනිස්සු පාරට ඇදලා දාල ද?”

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවත් ණයක් ලබාදීමට 2027 අයවැයෙන් යෝජනා කර ඇති බවත්, 2022න් පසු මෙම ව්‍යවසායකයින් ආර්ථික අර්බුදයත් සමඟ කඩා වැටුණු බවත් පෙන්වා දුන් ඔහු, එම ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් පත්ව සිටින අපහසුතාවෙන් මුදාගැනීම සඳහා මූල්‍ය අනුග්‍රහ ලබා දෙන බව රජය පැවැසුවත් වසර දෙකක් ගතවී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද අවධාරණය කළා.

“මීට පෙර ණය ගත්ත බැංකු හරහාම තමයි මේ ව්‍යවසායකයින්ට යළිත් ණය ලබාදෙන්න රජය කටයුතු කරන්නේ. ඒ තුළින් වෙන්නේ මේ පිරිස තවත් බෙල්ලටම හිරවෙන එක. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට වෙනම බැංකුවක් හදනවා කියපු අය තමයි අද මෙහෙම වගකීම් විරහිත විදිහට හැසිරෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මැදිහත් වෙලා එදා පරාටේ නීතිය ලිහිල් කරලා දුන්නා. ඒත් 2025 න් පස්සේ ඒක අවසන් වුනා. යළිත් ඒ ගැන සලකා බලනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුනාට ආණ්ඩුව දැන් ඒවා අමතක කරලා. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් සුපර් මාර්කට් ලාභ ලබනවා, ජනතාවගේ සල්ලි ටික එකතුකරගෙන බැංකු ටික පොහොසත් වෙනවා. මේවා කිව්වම අපිටත් මඩ ගහනවා. මඩ ගැසීමෙන් හරි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වවලට චෝදනා කිරීමෙන් හරි රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බව ආණ්ඩුව දැන්වත් තේරුම් අරන් වැඩ කරන්න ඕන.”

රටම ආර්ථික ප්‍රපාතයකට ඇද දමන ගමන නතර කර මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව මහේෂ් සේනානායක මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න