Image

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීමට නම් සමාජ ආකල්ප වෙනස් කර, නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි – අගමැති

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීමට නම් සමාජ ආකල්ප වෙනස් කර, නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි – අගමැති

කාන්තාවකට සැබෑ නිදහස හිමිවීම යනු හුදෙක් නීත්‍යානුකූල අයිතිවාසිකම් පැවතීම පමණක් නොවන බවත්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීමට නම් සමාජ ආකල්ප වෙනස් කර, නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරී වැඩසටහනේ ආරම්භක දිනය වන නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

ජාත්‍යන්තර දිනය සහ දින 16ක වැඩසටහන

මාර්ගයේ ගමන් කිරීමේදී, රැකියා ස්ථානවලදී, දේශපාලනයේදී, සයිබර් අවකාශයේදී මෙන්ම හිංසාකාරී සම්බන්ධතාවලින් මිදීමේදීත් කාන්තාවන් මුහුණ දෙන බාධා සහ අවදානම් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, 1960 නොවැම්බර් 25 වැනිදා ඩොමිනිකන් ජනරජයේ ඝාතනයට ලක් වූ මිරබල් සහෝදරියන්ගේ මතකය සිහිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1999 දී නොවැම්බර් 25 වැනිදා මෙම ජාත්‍යන්තර දිනය ලෙස නම් කළ බවත්, 1991 සිට දෙසැම්බර් 10 මානව හිමිකම් දිනය දක්වා දින 16ක වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සඳහන් කළාය.

 

ගෝලීය හා ශ්‍රී ලාංකීය දත්ත

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 ගෝලීය ඇස්තමේන්තු (2023 දත්ත ඇසුරින්) පෙන්වා දෙන පරිදි, ලොව පුරා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ, එනම් මිලියන 840ක් පමණ කාන්තාවන් සිය ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකුගෙන් හෝ වෙනත් අයෙකුගෙන් කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බව අග්‍රාමාත්‍යතුමිය හෙළි කළාය. ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ වැඩසටහන් පැවතියද, පසුගිය දශක දෙක තුළ සමීප සහකරුවන්ගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය වසරකට සාමාන්‍යයෙන් 0.2%කින් පමණක් අඩු වී ඇති බවත්, බොහෝ විට හිංසනය සිදු කරන්නේ කාන්තාව හඳුනන අයෙකු හෝ සමීප සහකරුවාම බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 සමීක්ෂණයට අනුව, සහකරුවෙකු සිටින හෝ සිටි කාන්තාවන්ගෙන් 20.4%ක් (පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ) සමීප සහකරුවෙකුගෙන් කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇති අතර, ආබාධ සහිත කාන්තාවන් අතර එය 25.5%ක් සහ ආබාධ රහිත කාන්තාවන් අතර 19.7%ක් බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

එසේම සමීප සහකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය, සියදිවි නසා ගැනීම් සහ ස්වයං හානි කර ගැනීම් අතර සම්බන්ධය පිළිබඳ 2024 පර්යේෂණ මෙන්ම, ග්‍රාමීය සහ ආබාධ සහිත කාන්තාවන් උපකාර ලබා ගැනීමේදී මුහුණ දෙන බාධා පිළිබඳ 2025 වර්ෂයේදී පර්යේෂණ ද සිදු කර ඇති බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

 

සයිබර් ප්‍රචණ්ඩත්වය සහ ඩිජිටල් වගකීම

වර්තමානයේ සයිබර් අවකාශය ඔස්සේ සිදුවන හිරිහැර, තර්ජන, මුලා කිරීම්, බ්ලැක්මේල් කිරීම් සහ අවසරයකින් තොරව පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ බෙදා හැරීම භෞතික ප්‍රචණ්ඩත්වයේම දිගුවක් බවත්, එය කාන්තාවගේ කීර්ති නාමයට, රැකියාවට සහ සමාජ සහභාගීත්වයට බරපතල හානි කරන බවද අවධාරණය කළාය. ඒ සඳහා ඩිජිටල් වේදිකා පවත්වාගෙන යන ආයතන ද වගකීම භාර ගත යුතු අතර, පන්තිමය තත්ත්වය, කුලය, ජනවාර්ගිකත්වය, ආගම, ආබාධිත භාවය, වයස, ලිංගිකත්වය සහ ප්‍රදේශය යන සාධක සැලකිල්ලට ගනිමින් කිසිවෙකු අතහැර නොදැමෙන පරිදි විසඳුම් සකස් කළ යුතු බවද ඇය පැවසුවාය.

 

ආකල්පමය වෙනස සහ වගකීම

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට සහ ආර්ථිකයට සෘජුවම බලපාන බවත්, පුරුෂ මූලික ආකල්ප, බලය සහ පිරිමිකම පිළිබඳ සමාජ සංස්කෘතික අදහස් වෙනස් කිරීම සඳහා පිරිමින් සහ පිරිමි දරුවන් සමඟද සංවාද කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.

ප්‍රචණ්ඩත්වය නතර කිරීමේ වගකීම වින්දිතයන් මත නොපටවා, ප්‍රචණ්ඩත්වය සිදු කරන්නන් සහ ඊට අනුබල දෙන්නන් එහි වගකීම දැරිය යුතු බවත්, ලොව ඇතැම් රටවල කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින පසුබෑම් ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබා, නීති ක්‍රියාත්මක කිරීමට, කඩිනම් හා ගෞරවනීය සේවා සැලසීමට සහ දින 16න් ඔබ්බට ගිය දෛනික කැපවීමකින් කටයුතු කිරීමට රජයක් හා පාර්ලිමේන්තුවක් ලෙස බැඳී සිටින බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න