V2025

පුවත්

කෘෂි නවීකරණයෙන් ගොඩගිය ගොවීන් දෙදෙනෙකු ජනපති හමුවෙයි !

අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන මෙලෙස ජනාධිපතිවරයා හමුවූ මෙම තරුණ ගොවි මහතුන් තමන්ට සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට මඟ පෙන්වමින් රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය

බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබේ.

සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නැංවීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය.

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන ගොවි මහතා 39 හැවිරිදි දෙදරු පියෙකි.

නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කරයක සිදු කළ කොමඩු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් කොමඩු කිලෝ එකක් රුපියල් එකසිය අසුවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායම ලබා ගැනීමට හැකි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

රට තුළ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී මෙවන් තරුණ ගොවි මහතුන් මහඟු ආදර්ශයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ මෙහෙවර අගයමින් සිහිවටන තිළිණ ද පිළිගැන්වීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වී තිබේ.

ඔහු මේ බව අද (මාර්තු 18) කතානායකවරයාට ලිපියක් මගින් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

මේ දක්වා කෝප් කමිටුව හෙළිදරව් කළ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් කෝප් කමිටුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව කලකිරීමට පත් වී ඇති බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ට විනය චෝදනා පවතින බව ද ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Iraan Wikramarathna 768x1086

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබේ.

එය මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිතය.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආයතන හරහා, අපනයන, සංචාරක, තාක්‍ෂණය, කෘෂිකර්මය සහ නිෂ්පාදන අංශයන්හි අඩු සේවා නොලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඩොලර් මිලියන 50 ක ණය මාර්ගයක් ද මෙහිදී විවෘත කෙරෙනු ඇත.

එළැඹෙන යල කන්නයේ කීරි සම්බා සටනක් !

එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ඇරැඹීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත .

වාර්තා වන ආකාරයට වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල එය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී තිබේ .

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව කළාපයේ තෝරා ගන්නා කුඹුරු හෙක්ටයාර් 500ක කීරි සම්බා වගාව සිදු කරන අතර එම වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට බිත්තර වී ඇතුළු පහසුකම් නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පැරෂුට් තාක්ෂණය උපයෝගි කර ගනිමින් කීරි සම්බා වගා සංග්‍රාමය ඇරැඹීමට නියමිත අතර කෘමිනාශක හා වල්නාශක මෙන්ම පොහොර යෙදීම ද ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි .

මේ වනවිට දේශීය වෙළෙඳපළේ කිරි සම්බා සඳහා ඉහළ මිලක් පවතින අතර මිල ගණන් තීරණය කිරීම ගොවීන් අතට පත්ව තිබීම සුබදායි තත්ත්වයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

IMF ඉලක්ක සැපිරීමට : කරුණු 16 ක ක්‍රියාකාරී සැළැස්මක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවයකට එළඹ තිබේ.

වාර්තා වන ආකාරයට පාලන විනිශ්චය හෙවත් government Diagnostic යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන් සහ මහා බැංකු ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාග වී ඇත.

පළමු පියවර ලෙස අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම,විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු 14ක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී මෙරට එකඟතාවය පළ කර ඇති අතර කරුණු දෙකක් ක්‍රම ක්‍රමයෙන් පසුවට ඉටු කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදියෙහි දූෂණ වංචා නතර කිරීමේ ක්‍රියාවලිය නිශ්චිතව සකසා ගැනීමෙන් පසු එම කරුණු දෙක සම්පූර්ණ කිරීම රජයේ ඉලක්කය වී ඇත.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන : අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ !

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර තිබේ.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මඟින් සියලු විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් දැනුවත් කර ඇති අතර, මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ පරිදි විමසීම් කර අයඳුම්පත පාසලේ විදුහල්පතිතුමා වෙත භාර දෙන ලෙස ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
තවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් ලබා දී ඇති උපදෙස් අනුව එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව එම පාසලට ලබා දිය හැකි ශිෂ්‍යත්ව සංඛ්‍යාව අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කර තම කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව සියලුම පාසල්වල විදුහල්පතිවරුන් විසින් තේරීම් කමිටුවක් පත් කර 2024.04.01 දිනෙන් පසුව තම පාසලට හිමි ශිෂ්‍යත්ව ප්‍රමාණය අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුය.

පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිත ය.

මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එසේ තෝරාගනු ලබන ශිෂ්‍යත්වලාභීන් වෙත ඒ පිළිබදව දැනුම් දීමෙන් අනතුරුව අදාළ සිසුවා හෝ සිසුවිය තම මව / පියා / භාරකරුගේ හවුල්කාරීත්වයෙන් යුතු බද්ධ ගිණුමක් ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවක විවෘත කළ යුතුය.ඊට අදාළ මූලික තැන්පතු මුදල, අවශ්‍ය වන ආකාරයට අදාළ බැංකුව විසින්ම ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමේ තැන්පත් කිරීමටද අදාළ බැංකු විසින් එකඟතාවය පළකර ඇත.

ඒ අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගත් පසු විදුහල්පතිතුමා විසින් ශිෂ්‍යත්වලාභියා පිළිබඳ තොරතුරු ඇතුළත් කර බැංකුවේ කළමණාකරු වෙත ලිපියක් නිකුත් කරන අතර ශිෂ්‍යත්වලාභියා තම මව / පියා / භාරකරු සමඟ අදාළ බැංකු ශාඛාවල කළමණාකරුවන් හමුවී උපදෙස් ලබා දී ඇති පරිදි බැංකු ගිණුමක් විවෘත කර බැංකු ගිණුමට අදාළ තොරතුරු විදුහල්පතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතී.

පාසල් නිවාසාන්තර ක්‍රීඩා කල් දැමීමට පියවර

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවය.

පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේය.‍

 මේ අතර අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 ඒ අනුව වයඹ, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර යන පළාත්වල මෙන්ම මොණරාගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක්

ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ගිනිගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුලුව අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව වාර්තාවේ.

පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා ද ලාවා ගලායෑමෙන් ග්‍රින්ඩාවික් නගරයේ නිවාස රැසක් ගිනිගැනීමට ලක්ව තිබුණි.

මහින්ද - බැසිල් මහ මැතිවරණයක් ඉල්ලති : ආණ්ඩුවේ බහුතරය ජනාධිපතිවරණයකට !

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන අතර කෙසේ නමුත් මෙය තමන්ගේ පෞද්ගලික අදහස බවත් පක්ෂයේ මතය පසුව ප්‍රකාශ කරනු ඇති බවත් පවසයි .

මහ මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳවද නීතිමය ගැටළුවක් නොමැති බවත් තම පක්ෂයේ ජේෂ්ඨයන් අතරද කලින් පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයදැයි විවිධ මත සාකච්ඡා වෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය .

බැසිල් ඉල්ලන්නෙත් මහ මැතිවරණයක් !

 මේ අතර පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද පසුගියදා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව ය.

එසේ නොවුනහොත් මහජන මතය නිවැරදි ආකාරයෙන් පිළිබිඹු නොවන බවද ඔහු එහිදී පැවසීය .

මහජන මතය නිවැරදිව පෙන්වන පාර්ලිමේන්තුවක් බිහිවෙනවා දැකීමට තමන් කැමැති බවද බැසිල් රාජපක්ෂ සඳහන් කළේය .

කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධානීන් ගේ අවධානය යොමුව ඇත්තේ මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටියේ පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් ද ? මහ මැතිවරණයක් ද ? ,යන්න සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වට ගණනාවකදීම ඉහළ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමට බවයි.

විපක්ෂයේ පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයකට මුහුණ දීම වඩා සුදුසු බවද එහිදී වැඩි අවධානයකට යොමුව ඇත

වෙරළ පවිත්‍රතාව රැක ගැනීමට නව ජංගම යෙදුමක් !

වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15)ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිතය.

සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීමට ඒ පිළිබඳ වගකීම් පැවරී ඇති සියලු ආයතන කැපවිය යුතු බව මෙහිදී පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු පහසුකර ගැනීමට මෙම නව ජංගම යෙදුම පිටිවහලක් වනු ඇති බව සඳහන් කළේය.

එමෙන්ම වෙරළ පවිත්‍රතා වැඩසටහන් මෙන්ම වෙරළ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව දැනට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරිමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් සාගල රත්නායක මහතා වෙරළාශ්‍රිත කලාපයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එය මනා දායකත්වයක් වනු ඇති බවද පැවසීය.

ගංගා, ඇල දොළ මාර්ගයෙන් ගලා එන අපද්‍රව්‍ය හා දිගු මුදාහැරීමේ නළ මාර්ග ඔස්සේ මල අපද්‍රව්‍ය හා ඉවතලන ජලය මුදාහැරීම මෙන්ම ධීවර වරායන් ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය හා වෙනත් සාගර ක්‍රියාකාරකම් මගින් වෙරළ හා සාගර සම්පත් දැඩි ලෙස අපවිත්‍ර වන බව මෙහිදී වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දුන් අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීමෙන් එම පවිත්‍රතා කටයුතු සිදු කෙරෙන බවත්, එම කටයුතු මනා ලෙස සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් මෙම ජංගම යෙදුම භාවිතයට ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, නාවික හමුදාපති, පොලිස්පති අතුලු ආරක්ෂක අංශ ප්‍රධානිහු සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

සජබ පදාසයක් ගලවන තැතක් !

ජනාධිපතිවරණයට ප්‍රථම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බවත්, එයට සජිත් ප්‍රේමදාස එකඟ නොවන්නේ නම් ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි පුද්ගලයෙකුගේ නායකත්වයෙන් යුතු සජබ ප්‍රබලයින් කණ්ඩායමක් සමගි ජන බලවේගයෙන් ගලවා, එක්සත් ජාතික පක්ෂයට යළි එකතු කර ගැනීම සඳහා මෙම පාර්ශ්වයන් දෙක නැවත එකතු විය යුතු යැයි සිතන දෙපර්ශවයේම ප්‍රබල පුද්ගලයන් අතර සාකච්ඡාවක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස නැවතත් එජාපයට එකතුව රනිල් වික්‍රමසිංහ සමග බලය හුවමාරු කර ගනිමින් කටයුතු කළ යුතු බවටත් ඒ හරහා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගෙන නැවතත් එජාපය දීර්ඝ කාලයක් රට පාලනය කළ යුතු බවත් මෙම එකතු කිරීම වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමේ මතය වී ඇතැයිද මේ සඳහා විදෙස් තානාපති අංශයන් පවා උනන්දුවකින් කටයුතු කරමින් ඇතැයි ද කරුණු වාර්තා වෙයි.

එහෙත් යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි නම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න. තලතා අතුකෝරළ, රෝහිණි කවිරත්න වැනි අයගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් නැවත එජාපය වෙත එකතු කරගනිමින් ශක්තිමත් සන්ධානයක් හරහා ශක්තිමත් රජයක් සහ විධායක ජනාධිපතිවරයෙකු බිහිකර ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි මේ වෙනුවෙන් වැඩ කරන පිරිසේ මතය වී ඇත.

මෙම දෙපාර්ශ්වය එකතුව කටයුතු කළහොත් ඉදිරි මැතිවරණ වලදී රාජපක්ෂවරුන්ගෙන් තොර කණ්ඩායමක් සේ ජනතාව ඉදිරියට යාමට හැකියාව එමගින් උදාවෙනු ඇති බවද ඒ හරහා ජාතික ජන බලවේගයට හිමිව තිබෙන ජනතා ප්‍රසාදය දිනාගනු හැකි වෙනු ඇතැයිද ප්‍රකාශ වී තිබේ.

සාකච්ඡා මෙසේ පැවතියත් රනිල් වික්‍රමසිංහ හෝ එජාපය සමග නැවත එකතු වීමක් පිළිබඳව සජිත් ප්‍රේමදාසගෙන් මේ දක්වා කිසිදු එකගතාවක් පළවී නැතැයිද කරුණු වාර්තා වෙයි.

  • අනිද්දා

මැණික් කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ගැටළු විසඳීමට ජනපතිගේ අවධානය !

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටළු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව ද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගන්නට මෙවන් මාතෘකාවන් පිළිබඳව මේ අයුරින් හෝ කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ජන ජිවිතය පවා දැඩි අවධානමකට ලක්ව තිබු අවස්ථාවක රටේ වගකීම භාරගත් ජනාධිපතිතුමා අද රට තුළ සිදු කර ඇති පරිවර්තනය පිළිබඳ තමා සතුටට පත්වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් . සමරතුංග යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම් !

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පසුගිය සමයේ පැවති අර්බුද අවසන් වෙමින් මේ වන විට ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා අප අමාත්‍යාංශය ද විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ආහාර සුරක්ෂිතතා, පෝෂණ කමිටු නිර්මාණය කිරීමට අප කටයුතු කළා. දරිද්‍රතා සහිත පවුල් ලක්ෂ විස්සක් සඳහා ඇස්වැසුම ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. විමධ්‍යගත අයවැය හරහා ග්‍රාමීය සංවර්ධනය යළි නඟාසිටුවන්න ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය 13,14 යන දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකළා. 15 වනදා ද ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ හරහා බඳවා ගන්නා ග්‍රාම නිලධාරීන් එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව (14) වනදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් විසින් ගමන් වියදම්, කාර්යාල දීමනා සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් කළා. අප ඒ වෙනුවෙන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

තවද ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලුවක්ව පවතින ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව නිර්මාණය කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා. කොහොම නමුත් එම ගැටලුව සම්බන්ධයෙන් ද සුබවාදී ප්‍රතිඵලයක් නොබෝ දිනකින් බලාපොරොත්තු විය හැකියි.

ඒ වගේම පැවති ආර්ථික සහ වෙනත් අර්බුද හමුවේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ සහ සමාජයේ පැවති බෙදීම නැවත එක් කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක්ව පැවතුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම විශ්වාසය ගොඩනැඟීම සිදුකළා. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ තවත් වසර දෙකක් හෝ ගමන් කිරීමට හැකි නම් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින්, විනාශකාරී ව්‍යාපෘති නවතාලමින් යහපත් රටක් නිර්මාණය කළ හැකි වනවා.

පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් !

පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.

ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.

දෙමළ භාෂාවෙන් පැමිණිලි කිරීමට නව අංකයක්

දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව පැවසීය.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ද්‍රවිඩ ජාතිකයන්ට සෘජුවම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම පහසුකම සලසා දී ඇති බව නිහාල් තල්දූව  පැවසීය.

image f0c721f48c

උණුසුම් කාලගුණය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක්

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි.

එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි.

හිරුඑළිය සම මතට සෘජුවම පතිතවීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකිය.

සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්තානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබේ.

මීට අමතරව සමෙහි දැනට පවතින ආසාත්මික තත්ත්වයන්ගේ වැඩිවීමක්ද උණුසුම් කාලගුණයත් සමග ඇතිවිය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් කුඩා දරුවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරුවීමේ අවධානමක් පවතින අතර ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය.

"විශේෂයෙන්ම දිලීර ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා බෙහෙතක් දෙන්න කියලා ඉල්ලන්න එපා. දිලීර ආසාදනවලට ඒ විදියට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරෙත්තු දීමකට ලක්වෙලා‌ ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්."

"ළමයි අව්වට යන්න පුරුදු විය යුතුයි කියන මතය මේ වගේ කාලයකදී පාවිච්චි කරන එක එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නෙමෙයි. මොකද මේ සැර දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් දරාගැනීම අපහසුයි."

සංවර්ධනට රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න - ජනපති

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ඊයේ  (15)  කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීය.

“සවිමත් අනාගතයට පෙරවදනක් – 2024′ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

“අස්වැසුම” වැඩසටහන යටතේ පවුල් මිලියන 2කට ප්‍රතිලාභ හිමිවන අතර එම පවුල් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ නැංවිමට නියමිතය. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 183කි.

එමෙන්ම පවුල් ලක්ෂ 20කට “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර ඒ සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර තිබේ.

විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 11,250ක ප්‍රතිලාභ වෙන් කර ඇත.

“කඳුරට දශකය” වැඩසටහන දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කෘෂි නවීකරණ වැඩසටහනේ පළමු අදියර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කත්, දෙවන අදියර ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 75කත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම මුදල් නිසි ලෙස වැය කරමින් අපේක්ෂිත සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ශ්‍රම බලාකය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවරා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු නැවත ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මෙම 2024 වසරේදීයි. 2019 වසරේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. ඉන් පසුව කොවිඩ් වසංගතය නිසා 2022 වසර වන විට ආර්ථකය වර්ධන වේගය සීග්‍රයෙන් පහත වැටුණා.

ඉන් පසුව අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇතියි. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.

2022 වසරේ මම රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. එහිදී මම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීම සඳහායි. ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළා. එදා අපට මුදල් තිබුණේ නැහැ.

ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දුන්නා. ඉන්දියාවෙන් යුරියා මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දුන්නා. ලෝක බැංකුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

අප දැන් එතනින් ඉදිරියට යා යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ අඩු ආදායම්ලාභීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අපේ අරමුණයි. කෙසේ වෙතත් සහන අවශ්‍ය ජනතාවට එම සහනය ලබාදීමට අප දැන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම මගින් අප ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙනවා. එම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළේ යම් අඩු පාඩු තිබිය හැකියි. අප මෙම වසරේදී එම අඩු පාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

මෙම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ලබාදෙන මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ ඔවුන් එම මුදල් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන නිසයි. ඒ අනුව මෙම වසරේදී මෙම මුදල් ටික රටේ ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙන් වැටුප් වැඩි කළ නිසා පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් සිදු වෙනවා. ඒ වගේම වතුකරයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමේ වාසිය ආර්ථිකයට ලැබෙනවා.

තෙවනුව තිබෙන්නේ විමධ්‍යගත අයවැයයි. පසුගිය සමයේ සංවර්ධන කටයුතු නැවතුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලැබෙන මුදල් අහිමි වුණා. මෙම වසරේදී මෙම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මීට අමතරව අප කදුරට දශකය ආරම්භ කර තිබෙනවා. කදුකර ප්‍රදේශ මෙතෙක් නිසි ලෙස සංවර්ධනය වෙලා නැහැ. අප ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම මුදලත් වැය කළ විට එයත් රටේ ආර්ථිකයට එක් වෙනවා.

ඒ නිසා රජය ලබා දෙන මෙම සියලු මුදල් නිසි ලෙස වැය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම මුදල් අදාළ විෂයන් සඳහා යොදවන්න. එවිට මෙම මුදල් රටේ ආර්ථිකයට එක්වෙනවා.

ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට මෙමඟින් විසඳුම් ලැබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලක්ෂ 10කට ඉඩම් අයිතිය ලබාදීමේ සියලු කටයුතු මේ වන විට සකස් කර අවසන්. ගැටලු ඇති තැන්වල එම ගැටලු නිරාකරණය කර ගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඔවුන් වෙසෙන තට්ටු නිවාසවල අයිතිය ලබාදිමට ද පියවර ගෙන තිබෙනවා.

අපට පවතින ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යන්න බැහැ. රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෙවීමට තිබෙන ණය සඳහා අප සහන කාලයක් ඉල්ලා තිබෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ අපේ අපනයන වලට වඩා ආනයන වැඩි බවයි. ආනයන, අපනයන පරතරය පියවීමට අපට සෑම වසරකම ණය ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලුදෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලුදෙනා කැපවිය යුතුයි.

අප එම වැඩපිළිවෙළ ආරම්භ කළේ සංචාරක ව්‍යාපාරයෙන්. මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

එහිදී අප කාෂිකර්ම නවීකරණය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒ වෙනුවෙන් අපි ප්‍රදේශීය ලේකම් කාර්යාල 26ක් තෝරාගෙන තිබෙනවා. ගොවිජන සේවා කාර්යාල කෘෂිකර්ම නවීකරණ කාර්යාල බවට පත් කරනවා. කෘෂිකර්ම අංශ සියල්ල එක් ඇමතිවරයෙක් යටතට ගෙන ඒමට අප කටයුතු කළා. ඒ වගේම වී වගාවේදී අස්වැන්න වැඩිකර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. නව බෝග වගාව මෙන්ම කුරුඳු වගාව අප දැන් ආරම්භ කර තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ඉදිරියේදී සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකාවේ තිබෙන ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 341 න් අපි විදේශ විනිමය ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීයකින්ද, ඒ නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන එක් කර වෘත්තීය විද්‍යාල ඇති කර වෘත්තීය පුහුණුව විධිමත් කිරීමට ද අප පියවර ගන්නවා.

මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය සහ කෘෂි සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනින් පසු විදේශ ආයෝජන ලබා ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිකුණාලය, හම්බන්තොට, ඉංගිරිය, නුවර, යාපනය වැනි ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර දකුණු පළාතේ සහ නැගෙනහිර මෙන්ම කඳුකරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙත යාම අපේ අරමුණයි. මෙම සියලු කටයුතු සමඟ අපට අලුත් ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් අප නව නීති ගෙනවිත් තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ කාන්තාවන් ශ්‍රම බලකායට එක් කර ගැනීම ඉහළ නැංවීම වෙනුවෙන් ද අප වැඩකටයුතු කරගෙන යනවා.

පසුගිය වසර දෙක තුළ ගෙන ගිය අසීරු වැඩපිළිවෙළේදී ඔබ සියලුදෙනා ලබාදුන් සහායට මගේ ස්තූතිය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම අප සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු යැයි මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා හා ඉඩම්) චන්ද්‍රා හේරත්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා යටිතල පහසුකම් සංවර්ධන) වර්ණන් පෙරේරා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, ප ළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. බී. පී. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ඉඩම් කොමසාරිස් ජනරාල්, බන්දුල ජයසිංහ, මිනුම්පති ඩබ්ලිව්. සුදත් පෙරේරා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේගුණවර්ධන, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න, යන මහත්ම මහත්මීන් ද දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලිස් පුටු මාරුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 18 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ, ජාතික පොලිස් කොමිසමේ තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා නව පත්කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා නියෝග කර ඇති බවයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

එම කාර්යාලය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුද හා පොලිස් අධිකාරිවරයෙකුද ස්ථාන මාරුවීම් හා උසස්වීම් ලබාදී ඇති නිලධාරීන් අතර වන බවයි.

ගල්කිස්ස කොට්ඨාසභාර නිලධාරී තනතුරේ කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ.එම්.එම්.එස්.දෙහිදෙණිය  අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇතැයිද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

Page 4 of 377