'ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා ප්‍රබල වෙනසක් අපේක්ෂා කරනවා' - අගමැතිනිය

'ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා ප්‍රබල වෙනසක් අපේක්ෂා කරනවා' - අගමැතිනිය

දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කරන්නේ යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය පැවසුවා ය.


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ කල්මුණේ අල් අස්‍රක් විදුහලේ සහ අම්පාර ඩී. එස්. සේනානායක විදුහලේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව කල්මුණේ  සමන්තුරේ සහ අම්පාර කලාපවලට අයත් පාසල්වල 01 සහ 06 ශ්‍රේණිවල ගුරුවරුන් දැනුවත් කිරීමත් සහ දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුත් කිරීමේ වැඩසටනේ දී ය.

එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...


අසීමාන්තික අධ්‍යාපන තරගකාරීත්වයක් පවතින්නේ සීමිත පාසල් 300ක පමණයි

සම්පත් විෂමතාව, යටිතල පහසුකම් හිඟය සහ ගුරු හිඟය වැනි ගැටලු රැසක් මැද කන්නංගර චින්තනයෙන් අපට දායාද වූ නිදහස් අධ්‍යාපනය මේ දක්වා පවත්වාගෙන ඒමට දැරූ උත්සාහයන් හා කැපවීම් අගය කළ යුතු යි. අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් නොමඳව ඇගයීමට ලක් විය යුතු යි.

මේ වනවිට ලංකාවේ පාසල් 10,097ක් තිබුනට අසීමාන්තික අධ්‍යාපන තරගකාරීත්වයක් පවතින්නේ සීමිත පාසල් 300ක් වැනි සංඛ්‍යාවක පමණයි.  එවැනි ඇතැම් පාසල්වල එක් පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 50–60ක් වැනි ඉහළ අගයක් ගන්නා විට ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පාසලකට ම සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 10–20ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකට සීමා වනවා.


විශාල විෂමතාවක් සහිත අන්ත දෙකක්

මෙය පැහැදිලිව ම  විශාල විෂමතාවක් ඇති අන්ත දෙකක්. මෙම විෂමතාව ඉවත් කිරීමේ අවශ්‍යතාව රජයට දැඩි ලෙස පවතිනවා. ඒ සඳහා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු හිඟය නැති කිරීම වැනි සාධනීය පියවර ගන්නා අතර ම පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 30-35 වැනි උචිත මට්ටමක පවත්වාගෙන යමින් පාසල්වල  ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය  ක්‍රියාමාර්ග ගත යුතුයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා පරිවර්තනීය වෙනසක් අධ්‍යාපන පද්ධතිය තුළ ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක  කිසි දු දරුවෙකු හෝ පාසලක් අතනොහැරෙන පරිදි  ඉදිරි නායකත්ව පරපුර බිහි කිරීමට උත්සාහ කිරීම අප සියලු දෙනාගේ ම සාමූහික වගකීමක්. මෙම ක්‍රියාදාමය සිදු කිරීම එක් අයෙකුට පමණක් තනි ව  කළ නොහැකි යි. ඒ සඳහා සියලු දෙනාගේ ම සහයෝගය අවශ්‍ය යි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රියන්ත විජේරත්න, ආදම්බාවා, ඇතුළු පළාත් අධ්‍යාපන  බලධාරීන් එක් විය.

 

 

harini

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න