ලංකා ධීවර සමාගමේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබිය.
ඒ පසුගිය 2020 වසරේදී ලංකා ධීවර සංස්ථාව වෙත පැයකට මාළු කිලෝ 2,000ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුත් වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධවය.
ඒ අනුව මෙම මිලදී ගැනීමෙන් රජයට රුපියල් 5,856,116.00ක පාඩුවක් සිදුකර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙහිදී එම සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ ලලිත් දවුලගල, කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ චන්දන ක්‍රිෂාන්ත, සැපයුම් කළමණාකරුවෙකු වූ විජිත් පුෂ්පකුමාර, මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබල මුදල් කළමනාකරු) අනුර චන්ද්‍රසේන බංඩාර යන අය අල්ලස් කොමිසම විසින් අද (04) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිය.
එමෙන්ම ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිලදී ගැනීම් වෙනුවේ සැපයුම්කාර සමාගම වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදු කිරීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රුපියල් 100,000.00ක මුදලක් තම පුද්ගලික ගිණුම වෙත බැරකරවා ගැනී තුළින් තුටු පඬුරක් ඉල්ලීම හා තුඩු පඬුරු භාර ගැනීම යන චෝදනාවට අදාළව ද ඉහත විජිත් පුෂ්පකුමාර යන අයව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුව ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සැකකරුවන්ට ඇප නියම කරනු ලැබිය.
එහිදී සැකකරුවන් රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කළේය.

