අධ්‍යාපනයට 6% සංකල්පය රටට මිනිස් පැය මිලියන ගාණක් අහිමි කළා - රෝහිණී කවිරත්න

අධ්‍යාපනයට 6% සංකල්පය රටට මිනිස් පැය මිලියන ගාණක් අහිමි කළා - රෝහිණී කවිරත්න

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම නමැති සංකල්පය මේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ගේ, ආචාර්ය මණ්ඩලවල මිනිස් පැය මිලියන ගාණක් නැති කළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රණී රොහිණි කවිරත්න පැවසුවා ය.

මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මන්ත්‍රිණිය...

''අධ්‍යාපනයට 6%ක් කියන සංකල්පයේ ප්‍රකාශිකාව විදිහට කටයුතු කරපු හරිනි අමරසූරිය මැතිනිය අග්‍රාමාත්‍යතුමිය විදිහට ඉන්න, අධ්‍යාපන ඇමතිතුමිය විදිහට ඉන්න අවස්ථාවක අය වැය ගැන කතා කරන්න ලැබීම සතුටක්. 6%ට ගැන පෙළපාලි, විරෝධතා, පා ගමන් ගිය 30කට වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවක් මේක.

අහිමි කළ මිනිස් පැය මිලියන ගණනක්

දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියලා එක්සත් ජාතීන්ගෙන් ආපු කතාව, දේශීයකරණය කරලා මහාචාර්ය සුමනසිරි ලියනගේ 2009 විතර කියපු කතාව ‘ස‍ංකේතීය ඉල්ලීමක්’ බවට පත්වෙලා 2012 දී දැවැන්ත විශ්වවිද්‍යාල වැඩ වර්ජනයක් සිද්ධ වුණා, පෙළපාලි ගියා. ප්‍රශ්නය මාස පහක් විතර දිගට ඇදුණා. මාස තුනක් විතර විශ්වවිද්‍යාල වැහුණා. අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම කියන සංකල්පය මේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ගේ, ආචාර්ය මණ්ඩලවල මිනිස් පැය මිලියන ගාණක් නැති කළා. ඔව් මිනිස් පැය මිලියන ගාණක් නැති වුණා. අද මොකද වෙලා තියෙන්නේ...? අද, මේ ආණ්ඩුව අධ්‍යාපනයට අය වැයෙන් දෙන්නේ 2.04 % යි.

වැඩි ම පිරිසක් රැවටුණු කේෂ්ත්‍රය අධ්‍යාපන කේෂ්ත්‍රය

2024 ජනාධිපතිවරණයෙ දි මේ රටේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ 70%ක් ඡන්දය දුන්නේ, මහා මැතිවරණයේ දී 80%ක් ඡන්දය දුන්නේ අධ්‍යපනයට 6%ක් අරගෙන ප්‍රශ්න විසඳාගන්නයි. දැන් 76 වසරක ශාපය ඉවර වෙලා, සැප විදින මාස 13 යි. 2025 ඉතිහාසය ගත වෙන්නේ අධ්‍යාපනයට අඩුම ප්‍රාග්ධන අරමුදල්, දුන්න ගාණෙන් 20%ක් වත් වැය කර ගන්න බැරිවෙච්ච ආණ්ඩුවක් විදිහට. එකෙනුත් 12%ක් වැය කරලා තියෙන්නේ 2024 වසරේ සිදු කළ කරපු වැඩවලට.

මේ ආණ්ඩුව බිහිකරන්න වැඩිම පෙ‍ාරොන්දු දුන්නේ, බලාපොරොත්තු ඇති කළේ, වැඩිම පිරිසක් රැවටුණු කේෂ්ත්‍රය තමයි අධ්‍යාපන කේෂ්ත්‍රය. මහාචාර්යවරු, ආචාර්යවරු, අධ්‍යාපනඥයෝ, උපාධිධාරීන්, උපාධි අපෙක්ෂකයින්, ගුරුවරු, විදුහල්පතිවරු තොග පිටින් රැවටුණා. ඔවු... තොග පිටින් රැවටුණා. ලියන කියන දේ විතරක් නෙවෙයි, ලියලා තියෙන කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි.

දැන් තියෙන්නෙ අවජාතක ප්‍රතිසංස්කරණයක්

මේ අණ්ඩුවේ ප්‍රධාන ම ව්‍යාපෘතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් ආණ්ඩුවේ කැබ් ගණුදෙනුව වගේ. දෙකම එකයි. කියන්නේ එකක්. කරන්නේ තව එකක්! පෙන්වන්නේ එකක්. කෙරෙන්නේ තව එකක්! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන කතාව හැදුණේ ජාතික අධ්‍යාපන ආයතනයේ 2017 ඉඳන්. ඒ විද්‍යාත්මක ලියවිල්ලේ පළවෙනි පිටු තුන ඉරලා දාලා ඉස්සර වෙලාම ඒක අවජාතක ප්‍රතිසංස්කරණයක් බවට පත් කළා.

අධ්‍යාපන ඇමතිතුමිය, ඔබතුමියගේ අමාත්‍යාංශය ඔබතුමිය කරන්න. අද මොකද වෙලා තියෙන්නේ? ගුරුවරයෙක් මාරු කරගෙන, දවසේ වැඩ ටික කරගෙන වොයිස් කට් එකක් දීගෙන හිටපු අවතාරවල බලපෑමට ඔබතුමී මේ අධ්‍යාපන අමාත්‍යාංශය යටකරන්න එපා. මොකද හැළිය සූපයේ රස දන්නේ නෑ වගේ, මල්වටේ කැරගෙන ගුරුවරුන් රවටපු ඹබරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයට සහ මේ අධ්‍යාපන කේෂ්ත්‍රයට බලපෑම් කරන්න දෙන්න එපා.

ආණ්ඩුවේ අවසානය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ද...?

අග්‍රාමාත්‍යතුමියනි,

ඔබගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ‘කාබනික වගාව 2’ තමයි මේ ආණ්ඩුවේ ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ගෝඨාභය කාබනික වගාව කළා වගේ, විද්‍යාවක් පිළිවෙළක් චාරයක් නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කර කළොත් ඒක තමයි මේ ආණ්ඩුවේ අවසානය. අද මේ අමාත්‍යාංශය යමින් තියෙන්නේ එතැනට. දැන්වත් මේ අමාත්‍යාංශයේ ආණ්ඩුකරණය පටන් ගන්න. ඇමතිවරියක් ‍විදිහට දක්ෂ නිලධාරි ටිකක් එක්ක වැඩ කරන්න පටන් ගන්න. පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු, ප්‍රාඥාවන්තයින්, වෘත්තිකයින් එක්ක අවුරුදු දෙකක් එකතු වෙලා වැඩ කරන්න.

ගොන් කරත්ත දීමනාවේ වග තුග

දැන් විශ්වවිද්‍යාලයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, බාහිර කථිකාචාර්යවරුට සල්ලි ගෙවා ගන්න බැරි එක. ප්‍රථම හා විශේෂවේදී උපාධියක බාහිර කථිකාචාර්වරුන්ට පැයකට ගෙවන්නේ රු. 1,500 යි. ගමන් විදයම කි.මි. ට රු. 12.50 යි. මේවා අවුරුදු 20කට ඉස්සර දාපු ගණන්. දැන් රු. 2000 ක සංයුක්ත දීමනාවක් ගෙවනවා. කොළඹ, කැලණිය, ජයවර්ධනපුර කැම්පස් තුන ගන්නකෝ. ‍පික් මී, ඌබර් එකක මේ විශ්වවිද්‍යාල තුන අතරේ වත් රු. 2000 කින් ගිහින් එන්න පුළුවන් ද? පැයට ගෙවන මේ සොච්චම් රු. 1,500 න් 36%ක් බදු කපනවා. සංයුක්ත දීමනාවෙනුත් 36% ක් බදු කපනවා. ගාණ හදලා බලන්න මොකක්ද මේ ගෙවන හිඟන දීමනා කියලා.

කොළමින් පේරාදෙණියට, රජරටට, වයඹට, රුහුණට කි.මි. ට රු. 12.50 ගාණේ ගොං කරත්තයක්වත් යන්න පුළුවන්ද? රු. 2000 ට පික් මී මෝටර් සයිකලයක්වත් යන්නේ නෑ. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. උගන්වන්න ගුරුවරු දෙන්න බැරි විශ්වවිද්‍යාල තියෙන්න බෑ. අවසනාව තමයි මේ ගෙවීම් නිසා කිසිම කෙනෙක් උගන්වන්න යන්නේ නැති එක. විසිටින් ලෙක්චර් වලට අවුරුදු දෙකකින් මුදල් ගෙවපු නැති විශ්වවිද්‍යාල තියෙනවා. මේක තමයි ඇත්ත ම පුද්ගලීකරණය.

සම්මානිත මහාචාර්ය

මේක තමයි වැඩිම වෛද්‍යවරුන් ඉන්න පාර්ලිමේන්තුව, හැබැයි බෙහෙත් හිඟය ගැන කතා කරන්නේ නෑ. මේක තමයි වැඩිම කථිකාචාර්යවරු සංඛ්‍යාවක් ඉන්න පාර්ලිමේන්තුව. හැබැයි විශ්වවිද්‍යාල ප්‍රශ්න ගැන කතා කරන්නේ නෑ. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හිඟය නිසා සප්ත වාර්ෂික නිවාඩු අනුමත කරන්නේ නෑ. ඉස්සර කථිකාචාර්යවරු රට ගියේ ආර්ථික ප්‍රශ්න නිසා. දැන් යන්නේ වැඩ වැඩි නිසා.

මේ දවස්වල විශ්වවිද්‍යාලවල මරු වැඩ වෙනවා. මම සුබ පතනවා චන්දන අබේරත්න රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට...! කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජීවිත කාලය පුරාම භාවිත කරන්න පුළුවන් විදිහට ‘සම්මානිත මහාචාර්ය’ ගෞරවය ලැබීම ගැන. මීට පස්සේ හැමෝම ඇමතිතුමාට මහාචාර්ය චන්දන අබේරත්න කියන්න ඕනි. එතුමාගේ නිලධාරියෙක් ලියලා එවලා තියෙනවා. සේරම දෙනා එතුමාට එහෙම ආමන්ත්‍රණය කරන්න. කැලණිය පාලක මණ්ඩලයට බැරිද කැලණියේ පුරවැසියෙක් වෙච්ච, අපේ හිටපු කතානායක රන්වල මැතිඳුන්ටත් 'සම්මානිත මහාචාර්ය’ පදවියක් දීලා එතුමාගේ උපාධි ප්‍රශ්නය විසඳලා දෙන්න.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වහාම හොර ආචාර්ය උපාධි ලබාදීම වැළැක්වීමට මැදිහත් විය යුතුයි. මේ හොර උපාධි කඩ වහනවා කියලා ඒ දවස්වල කතා කළා නේ. දැන් ඒවා කරන්න. ඉන්දියාවෙන් ඇවිත් සල්ලි දීලා ආචාර්ය උපාධි බෙදන ව්‍යාපාරයක් එළිපිටම ක්‍රියාත්මකයි.

විදෙස් ආචාර්ය භීතිකාව

ශ්‍රී ජයවර්ධනපුර බාහිර උපාධි කරන දරුවන්ට දේශන පවත්වන කථිකාචාර්යවරුන්ට දීමනා ගෙවීම නැවැත්තුවා. කෝප් එකේ හොරු අල්ලන නාට්‍යයේ කොටසක් විදිහට මහා සද්දයක් දැම්මා. දැන් මාස හතරකට වැඩිය ජයවර්ධනපුර බාහිර විභාග දේශන නෑ. ශිෂ්‍යයෝ අනාථයි. සල්ලි තියෙන කෙනා පුද්ගලික උපාධි ගන්නවා. දැන් ආය පරණ ක්‍රමයට වැඩ පටන් ගන්න යනවා. මොනවාද මේ රටේ ආයතනවලට කරන විනාශය...? විශ්වවිද්‍යාලවල ගුරු හිඟය පියවන්නේ නැත්තේ වැඩ බැරි අංශ ප්‍රධානලා, පීඨාධිපතිවරු, උපකුලපතිවරු. විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විදේශීය විශ්වවිද්‍යාලයන් හි ආචාර්ය උපාධි ගත්ත පුුද්ගලයෝ ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්න මේ අය පසුබට වෙනවා. ආචාර්ය බී.එම්.ඩබ්ලිව් ජයසුන්දර කොළඹ විශ්වවිද්‍යාලයට, ආචාර්ය දමිත් චතුරංග හා ආචාර්ය නාමල් නිශාන්ත කැලණියටත්, ආචාර්ය කුමුදුණී කාරියප්පෙරුම සබරගමුව විශ්වවිද්‍යාලයට ‍එරෙහිවත් මේ විදිහට බඳවා නොගැනීම ගැන නඩු දාලා තියෙනව.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න