කියුබානු වෙරළාරක්ෂක බළකාය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අමෙරිකාවේ ලියාපදිංචි අධිවේගී බෝට්ටුවක ගමන් කළ පුද්ගලයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියුබානු රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) ප්‍රකාශ කළේ මෙය "අතිශය අසාමාන්‍ය" සිදුවීමක් බවත්, අමෙරිකාව මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ය.
කියුබානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, පසුගිය බදාදා කියුබාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ දූපතක් අසල දී මෙම ගැටුම හටගෙන තිබේ.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි කර ඇති මෙම බෝට්ටුව පරීක්ෂා කිරීම සඳහා වෙරළාරක්ෂක යාත්‍රාවක් ඒ අසලට ගිය අවස්ථාවේ දී, බෝට්ටුවේ සිටි පිරිස කියුබානු නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇති බව කියුබාව චෝදනා කරයි.
අමෙරිකාවේ පදිංචිව සිටි කියුබානු ජාතිකයින් සිවු දෙනකු මියගොස් ඇති අතර තවත් හයදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන් ද අමෙරිකාවේ වෙසෙන කියුබානුවන් බව හඳුනාගෙන ඇත.
බෝට්ටුවේ තිබී ස්වයංක්‍රීය ගිනිඅවි, අත්බෝම්බ සහ අනෙකුත් සන්නද්ධ උපකරණ සොයාගත් බව කියුබානු රජය පවසයි.
කියුබානු රජයේ චෝදනාව
කියුබානු රජය පවසන්නේ මෙම පිරිස "ත්‍රස්තවාදී අරමුණක් සහිතව" රට තුළට රහසිගතව ඇතුළු වීමට උත්සාහ කළ පිරිසක් බවයි. එසේම ඔවුන් ගෙන් සමහරකුට මීට පෙර ද අපරාධ වාර්තා පවතින බව කියුබාව සඳහන් කරයි.
අමෙරිකාවේ ප්‍රතිචාරය
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දැනට ලැබී ඇති තොරතුරු කියුබානු රජය විසින් සපයන ලද ඒවා පමණක් බවයි. එබැවින් අමෙරිකානු බුද්ධි අංශ සහ වෙරළාරක්ෂක අංශ එක්ව සිද්ධිය වූ ආකාරය සහ මියගිය අයගේ අනන්‍යතාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඔහු අවධාරණය කළේ ය.
මෙම සිදුවීමත් සමග අමෙරිකාව සහ කියුබාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාව තවදුරටත් දැඩි වනු ඇතැයි විදෙස් විචාරකයෝ මත පළ කරති.
මූලාශ්‍ර - Cuba says it shot dead four people on US-registered speedboat

