මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍ය කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටෙස් (Nemesio Oseguera Cervantes), නොහොත් "එල් මෙන්චෝ" (El Mencho) හමුදා මෙහෙයුමක දී මියයාමත් සමග එරට ප්‍රාන්ත 20ක පමණ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා මෙක්සිකානු රජය මේ වන විට භටයින් 9,500කට අධික සංඛ්‍යාවක් ප්‍රචණ්ඩත්වය පවතින ප්‍රදේශ කරා යොදවා ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.
එල් මෙන්චෝ ගේ මරණය
පසුගිය ඉරිදා (පෙබරවාරි 22) ජාලිස්කෝ ප්‍රාන්තයේ දී මෙක්සිකානු විශේෂ බළකාය සිදුකළ වැටලීමක දී ඔහු බරපතළ තුවාල ලැබූ අතර, ප්‍රතිකාර සඳහා රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවේ පසුවෙද්දී මියගොස් තිබේ.
මොහුගේ මරණය සැලවීමත් සමග ඔහු නායකත්වය දුන් "ජාලිස්කෝ නිව් ජෙනරේෂන්" (CJNG) මත්ද්‍රව්‍ය කල්ලියේ සන්නද්ධ සාමාජිකයින් ප්‍රාන්ත කිහිපයක මහාමාර්ග අවහිර කරමින්, වාහන ගිනි තබමින් සහ බැංකු හා වෙළඳසැල්වලට පහර දෙමින් දරුණු ලෙස කැරලි ගැසීම ආරම්භ කළේ ය.
ආරක්ෂක ලේකම් රිකාඩෝ ට්‍රෙවිල්ලා (Ricardo Trevilla) සඳහන් කළේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා සඳුදා දිනයේ පමණක් තවත් අතිරේක භටයින් 2,500ක් බටහිර මෙක්සිකෝවට යැවූ බවයි. ඉරිදා සිට මේ දක්වා යොදවා ඇති මුළු හමුදා පිරිස 10,000කට ආසන්න ය.
කවුද මේ "එල් මෙන්චෝ"?
"එල් මෙන්චෝ" යනු ලොව ප්‍රබලතම සහ භයානක ම අපරාධ කල්ලියක් වන CJNG හි නිර්මාතෘවරයා යි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මොහු අත්අඩංගුවට ගැනීමට උදවු වන තොරතුරක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි. මෙක්සිකෝව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන සහ පැහැරගැනීම් රැසකට මොහුගේ කල්ලිය වගකිව යුතු ය.
මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් (Claudia Sheinbaum) ප්‍රකාශ කළේ රටේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, ජාලිස්කෝ, ගුවානජුවාටෝ සහ මිචෝකාන් යනාදි ප්‍රාන්තවල තවදුරටත් දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා ඇති අතර, ප්‍රධාන නගර රැසක පාසල් සහ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මූලාශ්‍ර
Cartel henchmen unleash violence after top drug lord killed in Mexico

