පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේ ය.
මෙම ප්‍රහාරයත් සමඟ බටහිර ආසියානු කලාපය හෙවත් මැද පෙරදිග කලාපය අලුත් ගැටුමකට තල්ලු වනු ඇතැයි බිය පළ වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ ඉරානය අතර න්‍යෂ්ටික ආරවුලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමට ඇති බලාපොරොත්තු සුන්වනු ඇත.
ඉදිරි පැය කිහිපයේ දී ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්...?
මේ අතර ඉදිරි පැය කිහිපයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය ද, ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ටෙහෙරානයේ නොසිටි බවත් ඔහු ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බවත් සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.
ඉකුත් වසරේ ජූනි මාසයේ දී ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12කට අධික කාලයක් යුද ගැටුම් ඇවිළුණු අතර, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන් ඉදිරියට කරගෙන ගියහොත් නැවත වරක් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒ අවස්ථාවේ දී අනතුරු ඇඟවීය.
මෙවර ප්‍රහාරය සති ගණනක සැලසුමක්
මෙවර ප්‍රහාරය එල්ල වූයේ ද එවැනි අනතුරු ඇඟවීම් ගණනාවකින් පසුවය. "ඊශ්‍රායල රාජ්‍යයට ඇති තර්ජන ඉවත් කිරීම සඳහා ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව පූර්ව-ආරක්ෂිත ප්‍රහාරයක් එල්ල කළේ," යැයි එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කැට්ස් පැවසී ය. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ මාස ගණනාවක් මුළුල්ලේ මෙම ප්‍රහාරය සැලැසුම් කළ බවත්, ප්‍රහාරය එල්ල කිරීමේ දිනය සම්බන්ධයෙන් තීරණය කරන ලද්දේ සති කිහිපයකට කලියෙන් බවත් ඊශ්‍රායල ආරක්ෂක නිලධාරියෙක් කීය.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින්, පිපිරීම් ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේ ය. ඊශ්‍රායලය පුරා, එරට වේලාවෙන් පෙරවරු 08:15 ට පමණ සයිරන් හඬ නාද වූ බව වාර්තා වූ අතර එය ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයකට එරට ජනතාව සූදානම් කිරීමේ පූර්ව අනතුරු ඇඟවීමක් යැයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ය.
අත්‍යවශ්‍ය සේවා හැර, පාසල් සහ සේවා ස්ථාන වසා දැමීමටත් සහ පොදු ගුවන් අවකාශය තහනම් කලාපයක් බවත් ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේය. සිවිල් ගුවන් ගමන් සඳහා ද ඊශ්‍රායලය සිය ගුවන් අවකාශය වසා දැමූ අතර, රටේ කිසිදු ගුවන් තොටුපළකට නොයන්නැයි ඊශ්‍රායල ගුවන්තොටුපළ අධිකාරිය මහජනතාව ගෙන් ඉල්ලා ඇත.

