බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රවී ගේ යෝජනාව

බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රවී ගේ යෝජනාව

වත්මන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කර, සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් නව නීතියක් සම්පාදනය කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද අහෝසිකිරීමේ පනත් කෙටුම්පත’ (Online Safety repeal Bill) දෙවන වර කියවීම අද පස්වරු 5:11 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීණි. එම යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරපත් කරන ලද්දේ සභානායක බිමල් රත්නායක විසිනි.

පනත සම්පූර්ණයෙන් ම අහෝසි කර නව පනතක් සකස් කළ යුතු යි

මේ පිළිබදව විමසු විට, රවී කරුණානායක පෙන්වා දුන්නේ පසුගිය රජය විසින් හඳුන්වා දුන් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට මුල සිට ම දැඩි විරෝධයක් එල්ල වූ බවයි. "මෙම පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 50 කට වඩා ගොනු වුණා," ඉන් පසු  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කාරක සභා අවස්ථාවේදී සංශෝධන සිදු කරන ලෙස නියෝග කළ ද, අදාළ පාර්ශවයන් ඉදිරිපත් කළ වැදගත් නිර්දේශ රැසක් අවසන් පනත් කෙටුම්පතට ඇතුළත් නොවූ බව ද මන්ත්‍රීවරයා සදහන්  කළේ ය.

පනත සම්මත වීමෙන් අනතුරුව, ඒ සඳහා සංශෝධන එක් කිරීම වෙනුවෙන් පැවැති සාකච්ඡා වටවල දී විදේශීය හා දේශීය ආයෝජන, ඩිජිටල් නවෝත්පාදන සහ සමස්ත ආර්ථිකයට ඉන් සිදුවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව විද්වතුන් කරුණු පෙන්වා දී ඇත. ඒ අනුව, හුදු සංශෝධන පමණක් ප්‍රමාණවත් නොවන බවත්, පනත සම්පූර්ණයෙන්ම අහෝසි කර සියලු දෙනා සම්බන්ධ කරගනිමින් නිසි උපදේශන ක්‍රියාවලියක් හරහා නව පනතක් සකස් කළ යුතු බවත් පොදු එකඟතාවය වී ඇතැයි කරුණානායක ගේ මතය වේ.

දායක කරගත යුතු පිරිස

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය නීති සංසදය, ආසියානු අන්තර්ජාල සන්ධානය (AIC), ෆැක්ටම් (Factum) ආයතනය මෙන්ම ෆේස්බුක් (Facebook), ගූගල් (Google) සහ ටික්ටොක් (TikTok) යනාදි ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාල, දේශීය සමාජ මාධ්‍ය හිමිකරුවන්,  බලපෑම්කරුවන් (Influencers), අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators) සහ පොදු මහජනතාව මේ සඳහා දායක කරගත යුතු බව ඔහු යෝජනා කරයි.

තම ස්ථාවරය තවදුරටත් තහවුරු කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද මන්ත්‍රීවරයා මෙහි දී උපුටා දැක්වී ය. "ජාතික ජන බලවේගයේ (NPP) ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 35වන පිටුවේ, ‘නිදහස් මාධ්‍ය කර්මාන්තය’ යටතේ ප්‍රකාශ කර ඇත්තේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන 2024 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනතේ මතභේදාත්මක වගන්ති ඉවත් කරන බවයි. එමෙන්ම මාධ්‍යවේදීන් ගේ වෘත්තීය ගරුත්වය සහ නිදහස සුරක්ෂිත කිරීම සඳහා පවතින මාධ්‍ය නීති සමාලෝචනය කරන බවට ද එහි පොරොන්දු වී තිබෙනවා," යැයි කරුණානායක පැවසී ය.

පසුගිය රජය මෙන්ම වත්මන් ජාතික ජන බලවේග රජයද මේ දක්වා මෙම පනත අයථා ලෙස පරිහරණය කිරීමෙන් වැළකී සිටීම පිළිබඳ සතුට  පළ කළ මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයන් දැනටමත් මෙම පනතේ ප්‍රතිපාදන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට ද කනස්සල්ල පළ කළේ ය.

සක්‍රීය ඩිජිටල් පරිසර පද්ධතියක්

"අන්තර්ජාලය හරහා සිදුවන හානි වැළැක්වීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයෙන් ආරක්ෂා කරමින්, සක්‍රීය ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය වන පරිදි සමබර නව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද නීතියක් ගෙන ඒමට රජය මෙම කෙටුම්පතට සහය පළ කරනු ඇතැයි මම විශ්වාස කරනවා," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශය තුළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සහ මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම ආර්ථික සාධක සමබරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයක් හා සමාජය තුල දැඩි කතාබහක් ඉදිරි දිනවල නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න