පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණය

පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණය

පාත්ෆයින්ඩර් පදනම, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලය (ICCR) එක්ව "ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම" මැයෙන් සම්මන්ත්‍රණයක් 2026 ජූලි 24වන දා කොළඹ දී පැවැත්වී ය.

සම්මන්ත්‍රණයේ අරමුණ

WhatsApp Image 2026 07 25 at 9.08.26 AM

මෙම සම්මන්ත්‍රණය සඳහා මහා සංඝරත්නයේ ගරුතර නාහිමිවරුන්, ප්‍රමුඛ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අධ්‍යාපන විශේෂඥයින් එක්වූ අතර, ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමත්, කලාපයේ වැදගත් ම සම්භාව්‍ය භාෂාවලින් එකක් වන පාලි භාෂාව සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා ප්‍රායෝගික උපායමාර්ග සොයා බැලීමත් එහි අරමුණ විය.

මෙන් ම මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර පාලි විද්වතුන් හා අධ්‍යාපන ආයතන අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමත්, පාලි භාෂාව ඉගැන්වීම, අධ්‍යයනය, පර්යේෂණය සහ පුළුල් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා තිරසාර ජාතික වැඩසටහනක් සඳහා පදනම සැකසීමත් අරමුණු කර ගත්තේ ය.

සම්මන්ත්‍රණයේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනයේ වර්තමාන තත්ත්වය සහ අනාගත අපේක්ෂා සමාලෝචනය කිරීම, පාලි භාෂාව ඉගැන්වීම හා ඉගෙනීම සඳහා නව්‍ය සහප්‍රායෝගික ප්‍රවේශ දිරිගැන්වීම, පිරිවෙන් සිසුන් සහ උසස් අධ්‍යාපන ආයතන අතර පාලි භාෂාවේ භාවිතය ප්‍රවර්ධනය කිරීම, දේශීය හා ජාත්‍යන්තර පාලි විද්වතුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ආයතන අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ අනාගත පරපුර සඳහා පාලි භාෂාව ප්‍රවර්ධනය හා සංරක්ෂණය කිරීම වෙනුවෙන්තිරසාර ජාතික වැඩසටහනක් සකස් කිරීමයි.

සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය ශ්‍රී ජයවර්ධනපුරවිශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අතිපූජ්‍ය අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී.

WhatsApp Image 2026 07 25 at 9.08.26 AM 1

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ සහභාගි වූහ.

පාලි අධ්‍යයනය සහ පර්යේෂණ කෙරෙහි ජාත්‍යන්තර අවධානය යළිත්

2024 ඔක්තෝබර් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දීය රජය විසින් පාලි භාෂාවට සම්භාව්‍යභාෂා තත්ත්වය පිරිනැමීමෙන් අනතුරුව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම විශේෂ වැදගත්කමක් හිමි කරගත්තේය. එම පිළිගැනීම මගින් පාලි භාෂාවේ ඓතිහාසික, සාහිත්‍යමය, දාර්ශනික සහ ආධ්‍යාත්මික වැදගත්කම තවදුරටත් තහවුරු වූ අතර, පාලි අධ්‍යයනය සහ පර්යේෂණ කෙරෙහි ජාත්‍යන්තර අවධානය ද යළිත් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ පාලි භාෂාව පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය සහ විශ්වවිද්‍යාලීය අධ්‍යයනය තුළ දීර්ඝ කාලයක් පුරා බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රීය ස්ථානයක් හිමි කරගෙන ඇත. එහෙත් අධ්‍යාපනික ප්‍රමුඛතා සහ සමාජ ප්‍රවණතාවල සිදුවන වෙනස්කම්හේ තුවෙන් තරුණ පරපුර අතර පාලි භාෂාව පිළිබඳ උනන්දුව සහ ප්‍රවීණතාව පවත්වාගෙන යෑම අභියෝගයකට ලක්ව තිබේ. මෙම සම්මන්ත්‍රණය මගින් එම අභියෝගවලට ප්‍රායෝගික, අධ්‍යාපනික සහ ආයතනික විසඳුම් හඳුනා ගැනීමට උත්සාහ කෙරිණි.

 

කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහාත් ප්‍රායෝගික නිර්දේශ

සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවේ පාලි අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය, එහි අනාගත සංවර්ධන අපේක්ෂා, ඉගැන්වීම සහ ඉගෙනීම සඳහා නවෝත්පාදන ප්‍රවේශ මෙන්ම පිරිවෙන්, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමුකෙරිණි. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා භාෂාමය උරුමය සුරක්ෂිත කිරීම සඳහාත්, පාලි අධ්‍යයනය සම්බන්ධයෙන් කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහාත් ප්‍රායෝගික නිර්දේශ සකස් කරන වැදගත් වේදිකාවක් වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කළහ.

මෙම සම්මන්ත්‍රණය මල්වතු මහා විහාරයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ වහන්සේ, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේමහාචාර්ය අතිපූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ සහ අමරපුර සම්බුද්ධශාසනෝදය මහා නිකායේ අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න