මාලිමා ආණ්ඩුව රාජ්‍ය බලය ඇල්ලීමේ මෙහෙයුමක; නිකරගුවාවට වූ දේ අපිටත් වෙන්නයි යන්නනේ - වරුණ දීප්ත රාජපක්ෂ

මාලිමා ආණ්ඩුව රාජ්‍ය බලය ඇල්ලීමේ මෙහෙයුමක; නිකරගුවාවට වූ දේ අපිටත් වෙන්නයි යන්නනේ - වරුණ දීප්ත රාජපක්ෂ

ආණ්ඩු බලයට එහා ගිය රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම මාලිමා ආණ්ඩුවේ අරමුණ හා අපේක්ෂාව වී ඇති බව සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසනවා.

වරුණ දීප්ත රාජපක්ෂ මේ බව කියා සිටියේ පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේ ඊයේ (19) වනදා කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරුණ දීප්ත රාජපක්ෂ…

“එදා රුසියාව බෝල්සෙවික් පක්ෂය හරහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර නාමයත් බෝල්සෙවික් තමයි. එතකොට දැන් මේ ජනතා විමුක්ති පෙරමුණට ලැබිල තියෙන්නේ රාජ්‍ය බලය නෙමයිද ? එතකොට රාජ්‍ය බලය කියන්නේ කුමක්ද ? වමේ විග්‍රහය අනුව විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, රාජ්‍ය සේවය කියන සමස්තය දේශපාලන පක්ෂයක් විසින් මෙහෙයවන එකට තමයි රාජ්‍ය බලය අත්පත්කර ගැනීම කියන්නේ. මේ කරුණ තමයි ටිල්වින් සිල්වා ලෙනින් සැමරුමකදී පහුගිය දවසේ කිව්වේ. ඒ වගේම මේ බව ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක වගේ අය කියනවා.

 

මාලිමා ආණ්ඩුව රාජ්‍ය බලය ලබාගත හැකි ද?

දැන් ආණ්ඩුවට විධායක බලය තිබෙනවා. ව්‍යවස්ථාදායකයේ බලයත් තිබෙනවා. නමුත් අධිකරණය, සහ කොමිෂන් සභා, විගණන ඇතුළු සෙසු ස්වාධීන ආයතන වැනි රාජ්‍යයේ ඉතිරි කොටස්වල බලය ආණ්ඩුවට නෑ. ඒ නිසා මේ සියල්ලේ බලය ලබාගැනීමයි ඔවුන් රාජ්‍ය බලය ගන්නවයි කියලා කියන්නේ. නමුත් මේ සියල්ලේ බලය දේශපාලන පක්ෂයකට අත්පත් කරගත නොහැකි ආකාරයට තමයි මේ ව්‍යුහයන් හදලා තියෙන්නේ. ආණ්ඩුවකට ඒකපාර්ශ්වීය ගමනක් යාමට නොහැකි ලෙස හා ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයෙන් කටයුතු සිදුවීමට ඒ ව්‍යුහය වැදගත් වුණා. අධිකරණය වැනි ස්වාධීන ආයතන මගින් ඒ බව තහවුරු කළා. නමුත් රාජ්‍ය බලය ගන්නවා කියන්නේ ජනතාව වෙනුවෙන් සැකසී ඇති එම ව්‍යුහයන්ද සිය පක්ෂයේ පාලනයට නතු කරගන්නවා කියන එකයි.

 

අධිකරණය ගමට ගෙන ගොස් ජවිපෙ ක්‍රියාකාරීන් නඩු ඇසීමේ තත්ත්වයක්...?

මේ සමග සම්බන්ධ කළ හැකි තවත් දෙයක් මෑතකදී ලාල්කාන්ත කිව්වා. ඔහු කියන්නේ අධිකරණය ගමට ගෙනයා යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය ගමට ගෙනිච්ච ඉතිහාසයක් තිබෙනවා. මම පාසල් යන කාලයේ දැකල තිබෙනවා දුම්රිය ගේට්ටුව ළග දෙන්නෙක් දණ ගහගෙන ඉන්නවා. දෙන්නම කොන්ඩෙන් භාගයක් තට්ටෙ ගාලා. ඒ දඩුවම දීල තිබුණේ කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඒ කාලේ අපේ ගමේ හිටපු ජවිපෙ සංවිධායකවරයාගේ අනුදැනුම තීන්දු තීරණ මතයි මේ අයට ඒදා දඩුවම් දුන්නේ. ලාල්කාන්ත දැන් කියන්නෙත් ගමේ නඩු සම්බන්ධයෙන් තීරණයක් ගන්න එක ගමේ අධිකරණයේ වැඩක් කියලයි. ගමේ සමිතිවල බලය ඇල්ලීම තමයි එහි මූලිකම ආරම්භය. ප්‍රජා සමිතිය, මරණධාර සමිතිය ඇතුළු සියල්ලේ බලය අල්ලන්න ජවිපෙ කටයුතු කළා. ඒ අනුව ගමට අධිකරණය ගෙන යෑම සහ ගමේ සමිතිවල බලය ඇල්ලීම අතර අන්තර් සම්බන්ධයක් ඇති බව ඉතා පැහැදිලියි. ලාල්කාන්තට අනුව ගමට අධිකරණය ගියොත්, ඒ නඩුව අහන්නේ ඒ ගමේ ඉන්න ජවිපෙ ක්‍රියාකාරිකයා. එහෙම වුණොත් මොකද වෙන්නේ ?

 

සැකමුසු තැන් රැසක්

දැන් ජනාධිපතිවරයා පසුගියදා නීතිඥ සංමයත් එක්ක කිව්වා නඩු විභාග කඩිනම් කිරීම සඳහා පළාත් බදව අභියාචනාධිකරණය “සිට්” කරන්න යන්න පුලුවන් කියලා. මේකම බිමල් රත්නායක කිව්වා  අභියාචනාධිකරණය සංචාරය සඳහා යන කතාවක්. ජනාධිපතිවරයා කියන්නේ එහෙම ගිහින් නඩු සැසි පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි නෑ කියලයි. නමුත් අධිකරණයේ බලය පළාත් සභාවලට දීල නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 138 වන වගන්තිය මගින්  අධිකරණයේ ඒකාග්‍රතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එක් අධිකරණයක් මධ්‍යගතව තැබන බව ප්‍රකාශ කරල තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය.  නමුත් පළාත්බද මහාධිකරණ තිබෙනවා. එම අධිකරණයට යම් අභියාචන බලයකුත් ලබාදී තිබෙනවා. නමුත් රටටම අදාළ කරුණක් සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට හෝ ඉහළ අධිකරණයක තීන්දුවක් අභියෝගයට ලක්කිරීමට හෝ නෙමෙයි. එහෙම අධිකරණයට බලයක් ඒවට නෑ. එහෙම තිබියදී අභියාචනාධිකරණ පළාත් මට්ටමට රැගෙන යෑමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවන්නේ ඇයි. ? කොහොම වුණත් ආණ්ඩුවේ යම් යම් ක්‍රියාකාරීත්වයන් අතර අන්තර් සම්බන්ධතාවක් ඇති බව දැන් හොඳින් පෙනෙන්නට තිබෙනවා.

 

වාමාංශිකයින් ගේ දේශපාලන වියරුවට…

ටිල්වින් සිල්වා පසුගිය දිනෙක ෆිදෙල් කැස්ත්‍රෝ සැමරුමකට ගොස්, ෆිදෙල් පරමාදර්ශක් කොට ගනිමින් කතා කරන ආකාරය අපි දැක්කා. ඒ විදියේ මනෝභාවයකින් කටයුතු කළ ලෝකයේ පාලකයෝ ඒකාධිපති වියරුවකින් රටවල් පාලනය කළ හැටි අපි දැක්කා. ඒ වෙනුවෙන් අධිකරණය යොදාගත් ආකාරයත් උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුලුවන්. එල්-සැල්වදෝරයේ නයිබ් බුකේලේ ඊට හොඳම උදාහරණයක්. ඔහු බලයට පැමිණි විගස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අඩු කළා. වයස 60ට වැඩි සියල්ල තනතුරුවලින් ඉවත් කළා. පුරප්පාඩු වූ තනතුරුවලට තමට හිතවත විනිසුරුවරුන් තපත්කළා. එහෙම කළ බුකේලේ තමන්ට තවදුරත් ජනාධිපතිවරණවලට ඉදිරිපත්විය හැකි පරිදි ව්‍යවස්ථාව වෙනස් කර ගත්තා.

 

නිකරගුවාවේ ඒකාධිපති වියරුව

ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නියෝජිතයින් ආදරය කරන නිකරගුවාවේ ඩැනියෙල් ඔටේගා මේ වාමාංෂික ඒකාධිපතීත්වයට තවත් උදාහරණයක්.  2010 ඔහු ජනාධිපතිවරයා ලෙස පත්වු පසුව විශ්‍රාම යෑමට වයස සම්පූර්ණ වූ විනිසුරුවරුන් 23 දෙනෙකුගේ කාලය දීර්ඝ කළා. ඉන් පසු ඔහු කළෙත් තමන්ට ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත්වීමට තිබූ වාර ගණන වැඩිකර ගැනීමයි. මුලින් වසර පහකට සීමාවෙලා තිබුණ ධුරකාලය වසර හයක් දක්වා සහ පසුව වසර හතක් දක්වා දීර්ඝ කරගත්තා. එතැනින් නොනැවතුණු ඔහු සම ජනාධිපති තනතුරක් ඇති කරමින් ඊටද අධිකරණයේ අනුමැතිය ලබාගත්තා විතරක් නෙමෙයි, එම තනතුරට සිය බිරිඳ පත්කරන්නත් කටයුතු කළා. බලය තවදුරටත් යොදාගනිමින් ඔහු විනිසුරුවරුන් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැවරී තිබූ බලයත් ජනාධිපතිවරයා යටතට පවරා ගත්තා. ඒ වැඩේ කළෙත් මේ වමේ නායකයෙක්. ඒ වගේම වෙනිසියුලාවේ හියුගෝ චාවේස් තවත් උදාහරණයක්. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගණන 20 සිට 32 දක්වා වැඩි කරමින් තමන්ට අවශ්‍ය සෑම අවස්ථාවකදීම හදිසි නීතිය සම්මත කරමින් රට පාලනය කළා. පසුව බලයට පත්වූ  නිකොලස් මදුරෝ පාර්ලිමේන්තුවට පැවැරී තිබූ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ගැනීමට කටයුතු කළා.

 

සිදුවන දේ තේරුම් ගැනීමට කාලයයි...

මේ සියල්ල මහපොළොවෙ වෙච්ච දේවල්. මේ දේවල් අත්තනෝමතික තීන්දු වුණත්, ඒවා නීත්‍යානුකූල ආකාරයට ව්‍යවස්ථා සංශෝධන මගින් තමයි සිදුවන්නේ. විධායක බලය සහ පාර්ලිමේන්තු බලය යොදාගනිමින් අධිකරණය තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමට හැකි ව්‍යවස්ථා නිර්මාණය කරගනිමින් මේ පාලකයෝ බලය අත්පත් කරගැනීම් සිදුකරපු ආකාරය පැහැදිලියි. ලෝකයේ වාමාංශික නායකයින්ගේ ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කිරීමේදී මෙවැනි තත්ත්වයන් හඳුනාගන්න පුලුවන්. ලෝකයේ වාමාංශික නායකයින් මේ විදිහට  ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන්නේ ලෙනින් කියල තියෙන රාජ්‍ය බලය අත්පත් කරගත යුතුයි කියන නියමය විශ්වාස කරන නිසයි. පාක්ෂිකයින් විසිනුත් රාජ්‍ය බලය අත්පත් කරගැනීම සඳහා වාමාංශික පක්ෂවලට අනුග්‍රහය ලබාදීම පැහැදිලි ලක්ෂණයක්.

මාලිමාව දැන් දිස්ත්‍රික් මට්ටමින් සම්මන්ත්‍රණය තියමින් යනවා. සමහරු කියනවා පරම්පරා හතකට මේ පාලනය අතහරින්නේ නෑ කියලා. මේ නොකියා කියන්නේ රාජ්‍ය බලය අත්පත් කරගන්නවා කියන කාරණය තමයි. මේක ඉතා බරපතල තත්ත්වයක්. ඒ අනුව 22වැනි ව්‍යවස්ථා සංශෝධනය හොරුන්ට දඩුවම් ලබාදීම හෝ නඩු විභාග කිරීම කඩිනම් කිරීමට ගන්නා වූ තීරණයක් නොවන බව පැහැදිලීයී. ඒක හරියට පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ දෙයක්. ආණ්ඩුවේ මේ කටයුතු විශ්වාස කරන්න පුලුවන් දේවල් නෙමෙයි.  නඩු විභාග සිදුවන්නේ රටේ තිබෙන නීතියට අනුව. ඒ අනුව කුමන විනිසුරුවරයා හිටියත් ඒ නිතිමය කටයුතු සිදුවෙනවා. ඒ නිසා මෙතැන තරමක් බරපතල යමක් සිදුවන බව අපේ රටේ ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න