ලිතුවේනියා ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී 2026 වසරේ අගෝස්තු මස 20 වැනි දිනට වසර 30ක් සපිරෙයි. මෙම සුවිශේෂී සන්ධිස්ථානය, දෙරට අතර දශක තුනක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය, ඵලදායී සම්බන්ධතා සහ වැඩිදියුණු වෙමින් පවතින සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට ඉමහත් පිටුවහලක් වනු ඇත.
ලිතුවේනියාව ස්වාධින රාජ්‍යයක් ලෙසින් ස්ථාපිත වූ පසු ශ්‍රී ලංකාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1996 අගෝස්තු 20 දින ස්ථාපිත කළේ ය. මෙම වැදගත් සංවත්සරය, පසුගිය දශක තුන තුළ අත්කරගත් ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කිරීමට පමණක් නොව, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, වාණිජ කටයුතු, ආයෝජන, ඩිජිටල් නවෝත්පාදනය, තිරසාර සංවර්ධනය, සංස්කෘතිය සහ සාමාජයීය මෙන්ම මානව සබඳතා යන ක්ෂේත්‍රවල නව සහයෝගිතා පරිච්ඡේදයක් දෙස අනාගතවාදීව බැලීමටද අවස්ථාවක් සලසයි.
මෙම සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සුබ පැතුම් පණිවිඩයකින්, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු තානාපති ගරු ඩයනා මිස්කැවිචෙනෙයි ශ්‍රී ලංකා ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට සිය හෘදයාංගම සුබ පැතුම් සහ උණුසුම් ශුභාශිංසන මෙසේ පළ කර සිටියි.

“පසුගිය දශක තුන තුළ, අප දෙරට අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ ඵලදායී සහයෝගිතාව මත පදනම් වූ ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා. මෙම වැදගත් සන්ධිස්ථානය සමරන අතරම, අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අනාගතය දෙස අපි විශ්වාසයෙන් සහ සුබවාදීව බලා සිටිනවා,” යනුවෙන් තානාපතිතුමිය එහි සටහන් කර ඇත.
තවදුරටත් ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින විශේෂ සමානකම් කිහිපයක්ද තානාපතිතුමිය අවධාරණය කළාය. දෙරටේ භූමි ප්‍රමාණය එකිනෙකට සමීප වීම සහ ජාතික ධජවල වර්ණ අතර පවතින සමානත්වය ඒ අතර වේ. එමෙන්ම, දෙරට අතර පවතින සුවිශේෂී ආධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතාවයක සංකේතයක් ලෙස, ලිතුවේනියාවේ අගනුවර වන විල්නියුස්හි ගෞරවාදරයට පාත්‍ර වූ Our Lady of the Gate of Dawn නම් මරියතුමිය ගේ අති ඉපැරණි සුවිශේෂී රූපයක අනුරූපයක් මහනුවර , අම්පිටිය දේවස්ථානයේ ස්ථාපිත කර තිබීම ද ඇය සිහිපත් කළා ය.
“මෙය අප දෙරටේ ජනතාව අතර පවතින ආධ්‍යාත්මික හා සංස්කෘතික බැඳීම් පිළිබඳ සුන්දර සිහිවටනයක්,” යනුවෙන් ඇය පැවසුවා ය.
ඩිජිටල් නවෝත්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, මූල්‍ය තාක්ෂණය හෙවත් FinTech, සයිබර් ආරක්ෂාව, තිරසාර සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාව පුළුල් කිරීමට ලිතුවේනියාව කැපවී සිටින බවද තානාපතිනිය වැඩි දුරටත් අවධාරණය කළා ය.
“අප දෙරට එක්ව කටයුතු කිරීමෙන්, දෙරටේම සමෘද්ධියට සහ ජනතාවගේ යහපැවැත්මට දායක වන නව අවස්ථා උදාකර ගත හැකි බව අපි විශ්වාස කරනවා,” යනුවෙන් ඇය සිය සුබ පැතුම් පණිවුඩයේ සටහන් කර සිටියි.
කොළඹ පිහිටි ලිතුවේනියානු කොන්සල් කාර්යාලය විසින් සිදුකරන කාර්යභාරය පිළිබඳව ද ගරු තානාපතිතුමිය ඉහළ අගය කිරීමක් පළ කළාය. ජනතා-ජනතා සබඳතා ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය, ශාස්ත්‍රීය හා අධ්‍යාපනික හුවමාරු සහ ව්‍යාපාරික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එම කාර්යාලය ලබා දෙන දායකත්වය ඇය විශේෂයෙන් සඳහන් කළා ය.
“අප දෙරටේ ජනතාව අතර සමීප සබඳතා වර්ධනය කිරීමටත්, සංචාරක කර්මාන්තය, ශාස්ත්‍රීය හා අධ්‍යාපනික හුවමාරු සහ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත් කොළඹ ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සිදුකරන කාර්යභාරය පිළිබඳව මම ඉතා ආඩම්බර වෙනවා,” යනුවෙන් ඇය පැවසුවා ය.
මෙම සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සිය සුබ පැතුම් පණිවිඩයෙන්, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් වරයා ලෙසින් කටයුතු කරන ආර්. එම්. මනිවන්නන් මෙම අවස්ථාව, දෙරට අතර දශක තුනක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අඛණ්ඩව වර්ධනය වන සහයෝගිතාව පිළිබඳව සිහිපත් කිරීමට ලැබෙන අතිශය වැදගත් අවස්ථාවක් ලෙස විස්තර කළේ ය.

“ලිතුවේනියා ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර 30ක් සපිරීම සමරන මේ මොහොතේ, අප දෙරට අතර දශක තුනක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අඛණ්ඩව වර්ධනය වන සහයෝගිතාව පිළිබඳව සිහිපත් කිරීමට ලැබීම ගෞරවයක්,” යනුවෙන් ඔහු සඳහන් කළේ ය.
1996 අගෝස්තු 20 දින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ දා සිට, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව පොදු වටිනාකම්, ඵලදායී සංවාදය සහ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර සංවර්ධනය සඳහා වූ කැපවීම මත පදනම් වූ අර්ථවත් හවුල්කාරිත්වයක් ගොඩනගාගෙන ඇති බව සදහන් කරන කොන්සල්වරයා ලිතුවේනියාවේ ඩිජිටල් තාක්ෂණ, FinTech, සයිබර් ආරක්ෂාව, ජීව විද්‍යා ක්ෂේත්‍ර සහ ලේසර් තාක්ෂණය සම්බන්ධ ජයග්‍රහණ, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, සංස්කෘතික සම්පන්නභාවය සහ ආර්ථික හැකියා සම ඒකාබද්ධ කරමින්, අනාගත සහයෝගිතාව සඳහා පවතින විශාල විභවයද අවධාරණය කළේ ය.
“වෙළඳාම, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, නවෝත්පාදනය, තිරසාරභාවය සහ ජනතා-ජනතා හුවමාරු යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමට ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථා තිබෙනවා,” යනුවෙන් මනිවන්නන් මහතා සිය සුබ පැතුම් පණිවුඩය තුළ සඳහන් කරයි.
දෙරටේ රාජ්‍ය, ආයතන, ව්‍යාපාර, විශ්වවිද්‍යාල සහ ප්‍රජා අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ලිතුවේනියා ජනරජයේ තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලය අඛණ්ඩව කැපවී සිටින බවද ඔහු යළි තහවුරු කළේ ය.
අවසානයේ දී, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට දායක වූ දෙරටේ රාජ්‍ය්‍ය, රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන් සහ සියලු පාර්ශ්ව වෙත කොන්සල්වරයා සිය කෘතඥතාව පළ කළේ ය.
“ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය, දිගුකාලීන සාමය, සමෘද්ධිය සහ අනාගත පරම්පරාවන් සඳහා පොදු අවස්ථා සමඟ අඛණ්ඩව වර්ධනය වේවා,” යනුවෙන් ඔහු පැවසී ය.
පසුගිය දශක තුන තුළ, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, ජාත්‍යන්තර සහයෝගිතාව, සංස්කෘතික අවබෝධය සහ ජනතා-ජනතා සුහදතාව මත පදනම් වූ මිත්‍රශීලී සබඳතා පවත්වාගෙන ගොස් ඇත. භූගෝලීය වශයෙන් දුරස්ථ රටවල් දෙකක් වුවද, ශක්තිමත් ජාතික අනන්‍යතාවන්, සංස්කෘතික සම්ප්‍රදායන්, අභියෝග ජයගැනීමේ හැකියාව සහ ඵලදායී ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ගොඩනැගීම පිළිබඳ විශාල ව්‍යාපෘතීන් ප්‍රමාණයක් දෙරට අතර ක්‍රියාත්මක කළේ ය.
යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ලිතුවේනියාව, ඩිජිටල් නවෝත්පාදනය, FinTech, සයිබර් ආරක්ෂාව, ජීව විද්‍යා ක්ෂේත්‍ර සහ උසස් තාක්ෂණයන්හි ප්‍රගතිය සඳහා පිළිගැනීමට ලක්ව ඇත. ඉන්දියානු සාගරයේ උපායමාර්ගික ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව, සංස්කෘතික උරුමය, ජෛව විවිධත්වය, සංචාරක හැකියාව, නිපුණ මානව සම්පත සුවිශේෂිතාවයක් උසුලයි. දෙරටේ සහයෝගීතාවය තුළ රජයන් අතර මෙන්ම ජන සමාජයන් හා ව්‍යවසායකයින් අතරද ඇති සබඳතාව තවත් ශක්තිමත් කර විශාල ව්‍යාපෘතීන් ප්‍රමාණයක් සිදු කිරීමටත් අපේක්ෂා කෙරේ.
දෙරට අතර සබඳතාව, නවීන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉක්මවා යන වැදගත් ඓතිහාසික සහ ආධ්‍යාත්මික මානවලින් සමන්විත වේ. ඒ අතර සුවිශේෂී සබඳතාවක් වන්නේ, ලිතුවේනියාවේ උපත ලැබූ කතෝලික අගරදගුරු සහ ශුද්ධාසනයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ අගරදගුරු ලැඩිස්ලාවුස් මිහාල් සාලෙස්කි සමඟ සම්බන්ධ ඉතිහාසයයි. ශ්‍රී ලංකාවේ කතෝලික අධ්‍යාපනය සහ පූජක පුහුණුව වර්ධනය කිරීමයි, විශේෂයෙන් මහනුවර අම්පිටියේ පාප්වහන්සේගේ සෙමිනේරිය සංවර්ධනය කිරීම සඳහා, ඔහුගේ කාර්යභාරය වැදගත් දායකත්වයක් ලබා දී ඇත.
විල්නියුස්හි ගෞරවාදරයට පාත්‍ර වූ Our Lady of the Gate of Dawn රූපයේ අනුරුවක් අම්පිටියේ ස්ථාපිත කර තිබීමද ලිතුවේනියා සහ ශ්‍රී ලංකා ජනතාව අතර ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබඳතා පිළිබඳ තවත් සුවිශේෂී සංකේතයකි.
මෙම 30වන සංවත්සර සැමරුම් වැඩසටහනේ කොටසක් ලෙස, 2026 අගෝස්තු 15 සිට අගෝස්තු 25 දක්වා මාධ්‍ය හා මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් මාලාවක් ද සැලසුම් කර ඇත.
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව මෙම වැදගත් සන්ධිස්ථාන සැමරුම සනිටුහන් කරන මේ මොහොතේ, දෙරටට ම වඩාත් වැදගත්, ප්‍රායෝගික, සියලු පාර්ශ්ව ඇතුළත් සහ අනාගතය ඉලක්ක කරගත් සබඳතා ඔස්සේ නව්‍ය ව්‍යාපෘතීන් රැසක් දියත් කිරීමට සැලසුම් කොට තිබේ. එමගින් රජයන්, රාජ්‍යතාන්ත්‍රික ආයතන, ව්‍යාපාර, විශ්වවිද්‍යාල, ප්‍රජාවන් සහ පුරවැසියන් අතර වඩාත් ශක්තිමත් සම්බන්ධතා ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සුවිශේෂී ලිතුවේනියානු හා ශ්‍රී ලංකා නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 30 වැනි සංවත්සරය යනු දැනටමත් ගොඩනැගී ඇති මිත්‍රත්වය සැමරීමක් පමණක් නොව, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගිතාවේ ඊළඟ පරිච්ඡේදය හැඩගස්වා ගැනීමේ වැදගත් අවස්ථාවක්ද වේ.

