කඩුවෙල පිහිටි, රියදුරු ආසන වමේ සිට දකුණට මාරු කිරීමේ සහ වාහන නවීකරණය කිරීමේ කර්මාන්ත ශාලාවක් වසා දැමීම හෝ අන්සතු කිරීම වළක්වමින් විදේශීය සමාගමකට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඊයේ (19) වාරණ නියෝගයක් නිකුත් කළේ ය.
ඉන්දියාවේ ඔටෝමෝටිව් නමැති සුඛෝපබෝගී වාහන නිෂ්පාදිත සමාගම විසින් (Gaup Automotive Technologies Private Limited) පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව විදේශීය අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන කඩුවෙල ඔටෝ ගෘප් (autogroup) නමැති සමාගමට මෙම වාරණ නියෝගය නිකුත් කළේ ය.
පැමිණිලිකාර ඉන්දියානු මෝටර් රථ සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම විසින් අමෙරිකාවෙ නිෂ්පාදිත හැමර් (Hummer Ev) වර්ගයේ වාහන දෙකක් ආනයනය කර වමෙන් පැදවීමේ මාදිලිය දකුණෙන් පැදවීමේ මාදිලිය බවට පරිවර්තනය කර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාගත් බව ය.
ඇමෙරිකාවෙන් ආනයනය කරන හැමර් ඒ වී වාහනය නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කරදීම සඳහා ගිවිසුමකට එළැඹී විත්තිකරුවන් අදාළ කාර්යය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ද, ගිවිසුම උල්ලංඝනය කරමින් කර්මාන්තශාලාව වසා දැමීමේ ප්‍රවණතාවක් තිබෙන බව ද පැවසීය.
කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විදේශකයින් වන බැවින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ඔවුන්ට එරෙහිව ලබාගෙන ඇති බව ද පැවසී ය.
එළඹි ගිවිසුම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල කරුණු විමසා බැලුවද නිසි ප්‍රතිචාරයක් නොදක්වා විත්තිකරුවන් විසින් දිගින් දිගටම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම මගහරුන බව ප්‍රකාශ කර සිටියේ ය.
පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක, සංජය මාරඹේ සමග චමත් සූරසේන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ සමාගම වසා දැමීම පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් විත්තිකරුවන්ට වාරණ නියෝග හා අතුරු තහනම් දැන්වීම් නොතිසි නිකුත් කර සැප්තැම්බර් 3 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේ ය.

