දශක ගණනාවක් පුරා සිංහල ගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ, ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කටයුතු සඳහා දේහය නාවල විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රිය පෙරහරකින් රැගෙන එනු ලැබූ අතර,
ඇයට ආදරය කරන දහස් සංඛ්‍යාත රසික ජනතාවක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මග දෙපස එක්ව සිටියහ.
නන්දා මාලිනියගේ අවසන් කටයුතු කිසිදු ගුණකථනයකින් හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සිදු කෙරුණේ, ඇය ජීවත්ව සිටියදී ලියා තැබූ අවසන් කැමැත්තට අනුවය.
පසුගිය 20 වනදා නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමනට සමුදුන් ඇය ඒ වන විට 82 හැවිරිදි වියේ පසුවූ අතර, ඇගේ 83 වන උපන්දිනය යෙදී තිබුණේ හෙට දිනටයි.
ඇගේ අභාවය සැලවීමත් සමඟ ඊයේ දිනයේත් අද පෙරවරුවේත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු රසිකයින් අති විශාල පිරිසක් පැමිණි අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ රාත්‍රියේ ඇයට අවසන් ගෞරව දැක්වීය.
දශක ගණනාවක් පුරා සිංහල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් නන්දා මාලිනිය දැක්වූ දායකත්වය අතිමහත්ය. ඇය අප අතරින් නික්ම ගියද, ඒ අමරණීය හඬ තවත් කාලාන්තරයක් පුරා අප අතර ජීවමාන වනු ඇත.
නන්දා මාලිනියනි, ඔබට සුබ ගමන්.

