බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ පිහිටි Lavin’s Vegetable Family Restaurantආයතනයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000/-ක (ලක්ෂ නමයහමාරක) දඩයක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී, මිලිලීටර් 1000 (ලීටර් 1) බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු. 120/-ක උපරිම සිල්ලර මිල ඉක්මවා එය රු. 200/-කට පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, 2026.08.25 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී රුපියල් 950,000/-ක දඩ මුදලක් නියම කර ඇත.
මෙවැනි වැටලීම් මගින් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවන වෙළෙඳ ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, නීතියට අනුකූලව ව්‍යාපාර කරන වෙළඳුන් සඳහා සාධාරණ වෙළෙඳපොළක් තහවුරු කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරයි.
පාරිභෝගික ඔබත් අවධානයෙන් සිටින්න. භාණ්ඩයක් මිලදී ගැනීමේදී එහි මුද්‍රිත මිල සහ නියමිත උපරිම සිල්ලර මිල (MRP) පරීක්ෂා කරන්න. ඔබ ගෙවන මුදල සඳහා නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ලබාගෙන එය සුරක්ෂිතව තබාගන්න. එවැනි ලේඛන පැමිණිල්ලක් හෝ විමර්ශනයක් සිදුකිරීමේ දී වැදගත් සාක්ෂියක් විය හැකි ය.
නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනයක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස අධිකාරිය ඉල්ලා සිටියි.

