Language Switcher

V2025

විප්ලවය ඇමරිකාවට පාවා දුන් " රතු චීනා"

පැවැති කොමියුනිස්ට්වාදය බිඳ දමා චීනය ධනවාදී මාවතකට රැගෙන යෑමේ පෙර ගමන් කරුවා වූයේ කොමියුනිස්ට්වාදියෙකුව සිටි ඩෙන් ෂියාඕපිං ය. ඔහු කොමියුනිස්ට්වාදියෙකු වූයේ ප්‍රංශයේ සිටිය දී ය.

1904 අගෝස්තු 22 උපන් ඩෙන් ෂියාඕපිං ප්‍රංශයේ Marseille නගරයට ගොඩ බැස්සේ 1920 ඔක්තෝම්බර් 19 වැනිදා ය.

එකල ප්‍රංශයට පැමිණෙන චීන සිසුන්ට සහාය වූයේ පැරීසියේ පැවැති ෆ්‍රැන්කෝ - චීන අධ්‍යාපන සංගමය ය. පැරීසියට පැමිණි ඩෙන් ෂියාඕපිං ප්‍රංශ භාෂාව ඉගෙනෙ ගන්නා අතර තුර විවිධ ස්ථානවල පිහිටි කම්හල්වල ද සේවය කළේය.

Billancourt හි පිහිටි Renault කම්හලේ , එකලස් කරන්නෙකු ලෙස සේවය කළ ඩෙන්, පසුව La Garenne - Colombes හි පිහිටි Kléber කම්හලේ ද සේවය කළේය.

චීන භාෂාවට පරිවර්ථනය නොවීම හේතුවෙන් චීනයට ලඟා නොවී තිබූ මාක්ස්වාදය, ප්‍රංශයේ දී හදාරන ඩෙන් ෂියාඕපිං, කොමියුනිස්ට්වාදියෙකු බවට පත්වී ධනේශ්වර ක්‍රමයේ දැඩි විරුද්ධවාදියෙකු බවට පත් විය.

ප්‍රංශයට පැමිණ සිටි අනෙකුත් සංක්‍රමණිකයන් සමඟ සබඳතා ඇති කර ගන්නා ඩෙන් ට, ෂෝ එන්ලායි හමුවන්නේ මේ අතරතුර ය. එතැන් පටන් මොවුන් දෙදෙනා ජීවත් වූයේ පැරීසියේ Place d'Italie පිහිටි හෝටල් කාමරයක් එකට බෙදාගෙන ය.

පසු කලෙක මාඕ සේතූං ගොඩ නැඟූ මහජන චීන සමූහ ආණ්ඩුවේ පළමු අගමැතිවරයා බවට පත් වන්නේ ද ඩෙන් ෂියාඕපිං සමඟ සිටි ෂෝ එන්ලායි ය.

1923 දී පක්ෂයට බැඳී , යුරෝපයේ පිහිටි චීන කොමියුනිස්ට් තරුණ ව්‍යාපාරයේ නායකයා බවට පත්වූ ඩෙන් ෂියාපිං , එකල චීනයේ පැවැති " නිදහසට දිගු ගමණක් " ව්‍යාපාරය වෙනුවෙන් නිකුත් වූ පුවත් පතේ කතෘවරයා මෙන්ම ජනමාධ්‍යවේදියෙකු ලෙස ද කීර්තියක් අත්කර ගත්තේ ය.

ප්‍රංශයේ චීන කොමියුනිස්ට්වාදීන් විසින් ප්‍රකාශයට පත් කළ " රතු එළිය " නමැති සඟරාවට ලිපි ලියු ඩෙන් ෂියාඕපිං , චීනයේ ගැටළු විසඳීමට ඇති එකම විසඳුම, කොමියුනිස්ට් විප්ලවය බවට වූ රැඩිකල් මතවාදය ඉදිරිපත් කළේය.

1926 දී මොස්කව් බලා යන ඩෙන් , නැගෙනහිර ආසියාවේ තරුණ තරුණියන් පුහුණු කිරීම අරමුණු කර පිහිටුවා තිබූ කම්කරුවන්ගේ කොමියුනිස්ට් විද්‍යාලයට ඇතුලත් විය.

එහිදී මාක්ස් - ලෙනින්වාදයේ මූලධර්ම පිළිබඳව මාස 11 ක අධයයනයක් ලැබීමට ඔහුට හැකි විය.

මාක්ස්වාදී අධ්‍යාපනය හමාර කළ ඩෙන්, 1926 අගභාගයේ දී නැවත චීනය බලා ගොස් ,වයඹදිග චීනයේ මිලිටරි නායකයෙකු වූ ෆෙන් යුක්සියාං ගේ හමුදාවට එක්විය.

ඩෙන් ෂියාඕපිං ට මාඕ සේතූං පළමු වරට හමුවෙන්නේ වුහාන් නගරයේ පිහිටි කොමියුනිස්ට්වාදීන්ගේ මූලස්ථානයේදී ය.

Mao Dengජාතිකවාදී පක්ෂයේ නායක චියැං කායි ෂෙක් ගේ කුවොමින්ටැං පාලන තන්ත්‍රයට එරෙහිව පේලපාලි සංවිධානය කිරීමට ඩෙන් ෂියාඕපිං ක්‍රියා කළ අතර, ඒවා දැඩි ලෙස මර්ධනයට ලක් විය. ඒ නිසා කොමියුනිස්ට් ක්‍රියාකාරීන් තොග පිටින් මරණයට පත් විය.

කොමියුනිස්ට් ක්‍රියාකාරීන් මරා දැමීම නිසා පක්ෂයේ සාමාජිකයින් අඩුවීම හේතුවෙන් , ඩෙන් ෂියාඕපිං ට පකෂයේ නායක ධූරාවලිය තුළ වේගයෙන් ඉහළට නඟින්නට හැකි විය.

1949 වන විට උතුරු චීනය කොමියුනිස්ට් පක්ෂය පාළනය කළ නමුත්, දකුණු ප්‍රදේශය අල්ලාගෙන සිටියේ කුවොමින්ටැං තන්ත්‍රය ය. ඒ වන විට නිරිතදිග දෙපාර්තමේන්තුවේ පළමු ලේකම් වූ ඩෙන් ෂියාඕපිං , දකුණු චීනයේ යටත් විජිත මෙහෙයවීමේ වගකීම බාර ගත්තේය.

1949 දෙසැම්බරයේ දී චියැං කායි ෂෙක් ගේ බලය අවසන් කිරීමට සමත් වූ ඩෙන්, කොමියුනිස්ට් පක්ෂයේ නිරිතදිග නායකා බවට පත් විය.

1952 ජූලි මාසයේ දී බීජිං පැමිණි ඩෙන්, නියෝජ්‍ය අගමැති සහ මුදල් කොමිෂන් සභාවේ උප සභාපති ධූරයට පත් විය.

මාඕ සේතූං ට විශ්වාසවන්ත වූ ඩෙන්, 1957 දී දක්ෂිණාංශ විරෝධී උද්ඝෝෂණ ය අතරතුර, චීන කොමියුනිස්ට් පක්ෂය පිරිසිදු කිරීම අමානුෂික අන්දමින් මෙහෙය වීය.

ඩෙන් ගේ අධිකාරිය යටතේ, චීන ජාතිකයින් මිලියනයකට වඩා වැඩි පිරිසක් අත් අඩංගුවට ගත් අතර, ඔවුන්ට ස්වයං විවේචනය කිරීමට බල කර, ඔවුන්ව කඳවුරු වලට යැවීය.

රාජ්‍ය බලයේ සංකීරණ ධූරාවලියේ ඉහළම තැනක් වන පක්ෂ මධ්‍යමකාරක සභාවේ මහලේකම් ධූරය දරමින් ඩෙන් ෂියාඔපිං, රාජ්‍ය සංවිධානය කිරීමේ ඉතා වැදගත් කාර්‍යයක් ඉටු කළේය.

කොමියුනිස්ට් ව්‍යාවෘතියේ දෘෂ්ටිවාදාත්මක පක්ෂපාතිත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්, ධනේශ්වරයට සහ ධනපතියන්ට පහර දුන් මහජන ව්‍යාපාරය සඳහා, ඩෙන් ෂියාඕපිං මාඕ සේතුං ට සහාය දැක්විය.

ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේදී මාඕ පෙන්වූ අසාර්ථකත්වයටත්, ආර්ථිකය කළමණාකරණයට මාඕ ට තිබූ නො හැකියාව පිළිබඳවත් ඩෙන් ෂියාඕපිං තුළ විවේචනයක් තිබිණ.

මාඕ ගේ ක්‍රියා කලාපය කොමියුනිස්ට් පක්ෂය තුළ විවේචනයට බඳුන්වන්නට පටන් ගත් අතර, පක්ෂයේ හා හමුදාවේ නායකයා ලෙස සිය කාර්‍යයන් රඳවා ගනිමින් මහජන ජනරජයේ සභාපතිත්වය ලියූ ෂාවෝකි වෙත පැවරීමට මාඕ එකඟ විය.

ඩෙන් ෂියාඕපිං ට ආර්ථික ප්‍රතිපත්තියේ පාලනය භාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ මේ අනුවය.

රුසියාවේ ස්ටාලින්ගේ අනුප්‍රප්තිකයා වූ නිකාටා කෘෂ්චෙව් හමුවීමට චීන දූත පිරිසක් 1963 දී මොස්කව් බලා පිටත් වූ අතර ,එහි නායකත්වය ගනු ලැබුවේ ඩෙන් ෂියාඕපිං ය.

ස්ටාලින්ගේ මරණයෙන් පසුව චීනය හා රුසියාව අතර,සබඳතා පිරිහී තිබුණු අතර, මෙම මොස්කව් ගමණේ දී පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව චීන සෝවියට් සබඳතා බිඳ වැටී අවසන් විය. ඒ අනුව ලොව පැවැති මහා කොමියුනිස්ට් පාලන තන්ත්‍ර දෙකේ සියළු සබඳතා අවසන් විය.

මාඕ ආරම්භ කළ " මහා ඉදිරි පිම්ම " නමැති ප්‍රතිපත්තිය ආපසු හැරවීම අරමුණු කර ගත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මහජන ජනරජයේ සභාපති ලියූ ෂාවෝකි සමඟ එකතු වී ඩෙන් ෂියාඕපිං කටයුතු කළේ ය.

මාඕ සංස්කෘතික විප්ලවය දියත් කරණු ලැබුවේ ලියූ ෂාවෝකි සහ ඩෙන් ෂියාඕපිං ඇතුළු , පක්ෂය තුළට රිංගා ගත් ධනවදී දක්ෂිණාං ශිකයන් තුරන් කිරීමට ජනතාව දිරිමත් කිරීමටය.

1968 දී ඩෙන් සහ ඔහුගේ බිරිඳ ෂුවෝ ලිං බීජිං හී නිවාස අඩස්සියේ තැබූ මාඕ, 1969 පැවැත් වූ පක්ෂ සම්මේලනයේ දී ඩෙන් ට පවරා තිබූ සියළු කටයුතු වලින් ඔහුව ඉවත් කළේය.

ඩෙන් ෂියාඕපිං ගේ හැරවුම් ලක්ෂය ආරම්භ වූයේ , මාඕ ගේ අනුපාප්තිකයා වූ ලින් බියාඕ ගේ අභාවයෙන් පසුවය. ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවන්ට සමාව ඉල්ලා ඩෙන් ෂියාඕපිං, පක්ෂයට ලිපියක් යැවූ අතර, පක්ෂය එය භාර ගෙන ඩෙන් ව පුනුරුත්ථාපනය කිරීමට යොමු කළේ ය.

පිලිකාවක් වැළඳී සිටි අගමැති ෂෝ එන්ලායි තම බලතල ටිකෙන් ටික ඩෙන් ෂියාඕපිං ට පැවරීය. 1976 ජනවාරි 08 ෂෝ එන්ලායි මිය ගිය අතර, ඊට මාස 9 කට පසුව මාඕ සේතූං ද මිය ගියේය.

මාඕ ගේ අනුප්ප්‍රාප්තිකයා වූ හුවා ගුෆෙන්ග් ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සිව් දෙනාගේ කණ්ඩායමට , ඩෙන් ෂියාඕපිං දිගටම පහර දෙන්නට විය.

චීනය මාඕවාදී ප්‍රතිපත්ති වලින් ඉවත් විය යුතු බව සිතූ බොහෝ දෙනෙක් පක්ෂය තුළ සිටියහ. ඔවුන්ගේ සහාය ලැබුණේ ඩෙන් ෂියාඕපිං ට ය.

1977 දී ඩෙන් ෂියාඕපිං නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්‍යංශයේ උප සභාපති සහ හමුදා කොමිෂන් සභාවේ උප සභාපති ලෙස පත් විය.

මාඕගේ අනුප්ප්‍රාප්තිකයා වූ හුවා ගුෆෙන් හමුදාවේ ප්‍රධානියා සහ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස තබා ගනිමින් ඩෙන් ෂියාඕපිං චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය සියතට ගත්තේ ය.

1978 දී ඩෙන් විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණය පකෂය පිළිගත් අතර, චීනයේ සැබෑ නායකයා බවට ඩෙන් ෂියාඕපිං පත් විය.

1979 වන විට ලිබරල් ආනුභාව ලත් ප්‍රතිසංස්කරණ වේගවත් කරමින් , කොමියුනිස්ට් ක්‍රමය ක්‍රමක්‍රමයෙන් විසුරුවා හළ ඩෙන් ෂියාඕපිං , ගොවියන්ට තම ඉඩම් කළමණාකරණය කිරීමට සහ සිය නිෂ්පාදන වෙළඳපල තුළ අලෙවි කිරීමට වැඩි නිදහසක් ලබා දුන්නේය.

1979 දී චීන ආර්ථිකය පිටතට විවෘත කෙරුණු අතර, ඇමරිකාව තායිවානය අතහැර චීන සමූහ ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගත්තේය.

1979 දී ඇමරිකා එක්සත් ජනපදයේ නිළ සංචාරයකට සහාභාගී වූ ඩෙන් ෂියාඕපිං , වොෂින්ටනයේ දී ජනාධිපති ජිමී කාටර් සහ කොන්ග්‍රස් නායකයන් හමු වූ අතර, චීනය තුළ විද්‍යුත් චුම්භක බුද්ධි පදනමක් පිහිටුවීමට ඇමරිකාවට බලය පවරනු ලැබීය.

හූස්ටන් හී නාසා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටත්, සියැටල් සහ ඇට්ලන්ටා හි පිහිටි බෝයිං සහ කොකා කෝලා මූලස්ථානයටත් ගිය රැඩිකල් කොමියුනිස්ට්වාදියා " ධනවත්වීම ඉතා හොඳයි " යන පණිවිඩය චීන ජනතාවට ලබා දුන්න්නේය.

ධනනවාදී " රතු චීනා " ගේ අසූවේ දශකයේ ගමන් මඟ පසුවට විමසමු.

ppසුනිල් ගාමිණී