Language Switcher

V2025

මිහිකතම හඬවන ශ්‍රී ලංකාවේ වන විනාශය !

මිහිතලයේ ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යාවශ්‍ය වේ. වනාන්තර මඟින් ජීවින් මිලියන ගණනකට වාසස්ථාන සපයනු ලබන අතරම, මිනිසා ජීවත් වන පරිසරයෙහි  ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට  විශාල මෙහෙයක් සිදුකරයි.

මේ අතර   

1,ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම,   

2,ගංගා, ඇළ දොළ ආදියෙහි ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය,  

3,ජල චක්‍රය හා පාංශු චක්‍රය පාලනය කිරීම.  

4, දේශගුණික සමතුලිත භාවය රැකගනීම යනාදිය  වැදගත් වේ.   

5, ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍යම ජලය H2O නිර්මාණය.

IMG 20210128 WA0002කෙසේ වෙතත් මානව කටයුතු සංකීර්ණ ආත්මාර්ථකාමී ලෙස අක්‍රමත්වත් වීමත් සමග මිනිසා පරිසරයට සිදුකරන මැදිහත්වීම හේතුවෙන් වනහරණය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර තවද, සංස්කෘතික, සමාජීය හා ආර්ථික තත්වයන්ගේ විවිධත්වය මත වන විනාශයට හේතුවන සාධක ඒ ඒ රටවලට අනුව වෙනස් වේ.   ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි ප්‍රධානතම  පාරිසරික ගැටලුවක් ලෙස වන විනාශය දැක්විය හැකිය.                 

කාබන් චක්‍රය සමතුලිතව පවත්වා ගැනීමට  වනාන්තර මඟින් ඉටු කරණු ලබන කාර්යභාරය අති විශාල සංකීර්ණ ක්‍රියාවලියකි.                     

කාබන් ඩයොක්සයිඩ් යනු, හරිතාගාර ආචරණයට දායක වන ප්‍රධානතම වායුවයි. වායුගෝලයේ අනෙකුත් වායූන් වලට සාපේක්ෂව වඩා වැඩි තාපයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් ඊට ඇත. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී ශාක වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් මුදාහරිමින් වාතය පිරිසිදු කරමින් ජීවයේ පැවැත්ම ස්ථාපිත කරයි. එමනිසා, වනාන්තර කාබන් ඩයොක්සයිඩ් රැස්කර තබාගන්නා සංචිත ලෙස ද හැදින්විය හැකි අතර, වනවැස්ම ඉවත්කලහොත්  එහි  ගබඩා කර ඇති සියලුම කාබන් ඩයොක්සයිඩ් නැවතත්  වායුගෝලයට මුදා හැරෙනු ඇත.

මේ අනුව, දේශීය හා කලාපීය දේශගුණික තත්ත්වයන් අසමතුලිත වීම හා  හරිතාගාර ආචරණය වැඩි වීමට වන  විනාශය හේතු වන ආකාරය ඉතා සරලව  ඕනෑම මානවයකුට අවබෝධ කරගත හැක.   ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති 65,525km2 ක භූමි ප්‍රමාණයකින් සමන්විත දුපත් රාජ්‍යයකි. දැනට ලොව හඳුනාගෙන ඇති ජෛව විවිධත්ව උණුසුම් කලාප (Biodiversity Hotspot) 34න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.                       

මින් අදහස් වන්නේ ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක දක්නට නොලැබෙන ශ්‍රීලක්කාවටම පමණක් ආවේණික ශාක හා සත්ත්ව විශේෂ අති විශාල සංඛ්‍යාවක් මේ මනරම් දූපතේ ඇති බවත්, මෙම විශේෂ වාසය කරන ස්වභාවික වාසස්ථාන වලින් අවම වශයෙන් 70% ක් පමණ දැනටමත් එහි වාසය කරන සමස්ථ ජීවීන් හට අහිමිව ගොස් ඇති බවත් ය.   විවිධාකාර උඩුවියන් හා ඇතැම් අවස්ථාවන්හි  යටි වියන් ද නිර්මාණය කරමින් වැඩුණු දැවැන්ත වෘක්‍ෂලතා වලින් ගහන වු සුවිසල් භූමි ප්‍රදේශ  වනාන්තර ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය.                     

IMG 20210128 WA0001අප ජීවත්වන පරිසරයේ මනා පැවැත්ම රඳා පවතිනුයේ එම පද්ධතියේ වෙසෙන ජීවි, අජීවි සංඝටකවල තුලනාත්මක පැවැත්ම මතය. ඒ අනුව ස්වභාවික වනාන්තර ජීවින්ගේ පැවැත්මට අත්‍යවශ්‍යය. ඕනෑම රටක අවම වශයෙන් 35% ප්‍රමාණයක වන වැස්මක් තිබිය යුතු වුවත්, අවාසනාවට මෙරට වර්තමානය වනවිට පවතින්නේ 20% ක පමණ වන ප්‍රමාණයක් වන අතර එය සීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතී.   සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, “දැව මත පදනම් වූ කර්මාන්ත” ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.               

ආදායම ඉහළ නැංවීම සඳහා දැව විකිණීම මෙරට  ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 1998 දී ශ්‍රී ලංකා වන අංශය විසින්  ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 15 ක් පමණ දායක වූ අතර එය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් (දළ දේශීය නිෂ්පාදිතයෙන්) 2% කි. 1800 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 70% ක් වූ නමුත් එය ක්‍රමයෙන් 2015 දී 29% දක්වා අඩු වී ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) ට අනුව, 2005 වසරේ අග භාගයේ සිට සෑම වසරකදීම ප්‍රාථමික වනාන්තරයන්ගේ වන ආවරණය 1% ප්‍රමාණයකින් අහිමි වන  රටවල් අතර සිව්වන ස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

මෙවැනි හේතූන් මත වන විනාශය පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාව තුළ වර්ධනය වී තිබෙන අතර එය දේශපාලන අධිකාරියේ පූර්ණ ආශිර්වාදය මත සිදුවෙමින් පවතී.   පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත සමයේදී වාණිජ කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා  වනාන්තර කපා දමා ඇත. වසර 100 කට පමණ පසු බ්‍රිතාන්‍යයන් මෙරටින් ඉවත්ව යන විට, වන ආවරණය කළින් තිබූ ප්‍රමාණයෙන් 50% ක් පමණ  දක්වා පහත වැටී තිබිණි.

IMG 20210128 WA0003එමෙන්ම, 1948 වර්ෂයේදී  ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යක් වූ පසු දැව නිෂ්පාදනය වැඩි වී ඉන්ධන සඳහා මාධ්‍යයක් බවට පත්විය. තවද, ඊසානදිග වියළි කලාපයේ විශාල ප්‍රදේශයකට වාරි ජලය සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද “මහවැලි ව්‍යාපාරය ” වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සිදුවූ ආර්ථික හා කාර්මික සංවර්ධනය වනාන්තර විනාශය වේගවත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින් වනාන්තරයේ කිලෝමීටර 2430 ක පමණ ප්‍රමාණයක්  ප්‍රතිස්ථාපනය කර ඇත.   සංවර්ධන ව්‍යාපෘති නිසා පමණක් නොව, ආරක්ෂක හේතූන් මතද වනාන්තර ප්‍රදේශ ඉවත් කිරීමට සිදුවිය.

ඒ අනුව, සිවිල් යුධ  සමයේදී මෙරට රජය විසින්  සතුරාට අඩු ආවරණයක් සැපයීම සඳහා වනාන්තරය උපායමාර්ගිකව ඉවත් කිරීමට කටයුතු කරන ලදී.   පසුගිය වසර 100ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ ස්වාභාවික වන ආවරණය, ප්‍රතිශතයක් ලෙස ගෙන  සළකා බැලීමේදී 80% සිට 16% දක්වා අඩු වී ඇත. 19 වන සියවස අවසානයේදී රටෙන් 80% කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී තිබුණද 20 වන ශතවර්ෂය ආරම්භයේදී මෙම අනුපාතය 70%ක් දක්වා අඩු වී තිබේ.      

ශ්‍රී ලංකාව තුළ වන විනාශයට ප්‍රධානතම හේතු  මෙහෙදී මූලික වශයෙන්  

© කෘෂිකර්මාන්තය, 

© මැණික් කැණීම්, 

© ජනාවාස හා යටිතල පහසුකම් 

© සංවර්ධන ව්‍යාපෘති, 

© වාණිජ කෘෂිකාර්මික ව්‍යාපාර 

© හේන් ගොවිතැන සඳහා වනාන්තර ගිනි තබා විනාශ කිරීම.   

එසේම, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නිවර්තන වියළි වනාන්තර ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන කැලෑ ගිනිගැනීම් මෙරට වන විනාශය සිදු වීමට බලපානු ලබන තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය.  මෙසේ වනාන්තර ගිණි ගැනීම්වලට ඍජුව මිනිස් ක්‍රියා කාරකම් බලපාන අතර එතුලින් වන ගහනය අක්කර දසදහස් ගනනින් විනාශ වී යන්නේ වන සම්පත පමණක් නොව ආවේනික වන සතුන්ද විනාශ කර ආහාර දාම ක්‍රියාවලියද බිඳ හෙලමිනි.  

දශකයක පමණ කාලයක් සිට මෙරට තුළ සෑම වසරකම පාහේ විවිධ ප්‍රදේශවල කැලෑ ගිනිගැනීම්  වාර්තා වන අතර එමඟින් පසේ සාරවත් බව, ජෛව විවිධත්වය හා පරිසර පද්ධති යනාදියට හානි සිදුවීමට මෙන්ම ඇතැම් වනාන්තරවල ගුණාත්මකභාවය අඛණ්ඩව පහත  වැටීමට  ද හේතු වී ඇත.  

ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව වැඩි වීම හා මානව අවශ්‍යතා වැඩි වීමත් සමඟම වනාන්තරවලට එල්ල වන බලපෑම් වැඩි වී තිබේ. ජනසංඛ්‍යා වර්ධනයට සාපේක්ෂව ඇති වෙමින් පවතින වන විනාශය නිසා දේශගුණයට, පරිසරයට හා ජන ජීවීතයට ඉහත දක්වන ලද ආකාරයෙන් අහිතකර බලපෑම් රාශියක් ඇති වී තිබේ.

එම නිසා වන සම්පත් හා වනජීවින් ආරක්ෂා කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. එනම්,  

© ජාතික රක්ෂිත හා අභයභූමි පවත්වාගෙන යාම   © වන වගා ව්‍යාපෘති ඇති කිරීම   

© වන සංරක්ෂණ උපාය මාර්ග අනුගමනය කිරීම (තෙත් බිම් රැක ගැනීම, කඩොලාන රැක ගැනීම)  

© ප්‍රජා සහභාගීත්ව වන වගාව දිරි ගැන්වීම   

© රුක් රෝපණය සහ වනාන්තරවල ඵලදායීතාවය වර්ධනය කිරීම   

© වන විනාශයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම   

© පරිසර සංවේදී කලාප ඇති කිරීම   

තවද අන්තර්ජාතික පාරිසරික සංවිධාන සමඟ එක්ව  ශ්‍රී ලංකා රජය විසින් වසර ගණනාවක් පුරා ජාතික වනෝද්‍යාන, රක්ෂිත සහ අභයභූමි පිහිටුවීමෙන් මෙම ගැටලුව විසඳීමට පියවර කිහිපයක් ගෙන තිබේ. නිදසුනක් ලෙස, සිංහරාජ වන රක්ෂිතය 1988 වසරේදී ලෝක උරුම ස්ථානයක් (UNESCO World Heritage Site) ලෙස නම් කිරීම දැක්විය හැකිය. එහෙත් වර්ථමානය එනම් පසුගිය වසරේ සිට දැවැන්ත පාරිසරික වන විනාශයක් ඉතිහාසය පුරා නොවූ විරූ ආකාරයෙන් සිදු වෙමින් පවතින අතර, 

ඇමසන් වනාන්තරයේ කොටසක් තුළද දැනට අක්‍රමවත් වී ඇති උඩු රෝපණ හා යටි රෝපණ ස්වභාවික ක්‍රියාවලිය පාළනය කර නොහැකි පසුබිමක අප මනරම් දූපතේ සිංහරාජ සදාහරිත වනාන්තරයේ පමණක් එය අති ස්වාභාවික සිදුවීම ලෝක අවධානය දිනා ගැනීමට සමත් ඇතත් එකී මිහිකතටම ආභරණයක් වන සිංහරාජය අදවන විට දේශපාලන බලපුලුවන්කාරයින්ගේ අතින් සංහාරීය ලෙස ඝාතනය වෙමින් පවතී..  

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනය හා ඊට සමගාමීව සිදුවන මානව අවශ්‍යතා ඉහල යාමත් සමඟම වනාන්තරවලට එල්ල වන බලපෑම් ද ඉහල ගොස් ඇති බවයි . මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශගුණය, පරිසරය හා ජන ජීවීතය ද විවිධ විපර්යාසයන්ට ලක්වෙමින් පවතී. මීට අමතරව ගංවතුර, නායයෑම් වැනි  ස්වභාවික ආපදා  ශ්‍රී ලංකාව තුළ ඇතිකිරීමට වනහරණය හේතු වී ඇත. සිදුවන විනාශය අවම කිරීම සඳහා නීති සම්පාදනය කොට, විවිධ පියවරයන් රාශියක් ගෙන තිබුනද, ඒවා ප්‍රයෝගික නොවීම හෝ ක්‍රියාත්මක කිරීමේදී සිදුවන අඩුපාඩු හේතුවෙන්  නිසි ප්‍රතිපලයක්  තවමත් ලැබී නැත. එමෙන්ම  අවශේෂ වනාන්තර චක්‍රලේඛය 5/2001 අවලංගු කිරීමේ දරුණු විපාකයන් නුදුරු අනාගතයේ අත්විදීමට නිමිතව ඇත.    

මින් තහවුරු වන්නේ,  මෙම පාරිසරික ගැටලු අවම කිරීම සඳහා තිරසාර විසදුමක් සෙවීමටත්, නීතිය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමටත් කාලය එළඹ ඇති නමුත් වර්ථමාන පාලකයන් ගෝලීය උණුසුම වැනි මාතෘකා කරලියේ ඇති මොහොතක අත්තනෝමතික ලෙස සිදුකරන මහා වනස්පතී සංහාරය මිහිකතම කම්පාකර වීමකි…

( මූලාශ්‍ර අන්තර්ජාලයෙන් )  

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ 

ඉතාලිය

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found