Language Switcher

V2025

ලංකාවේ හොරු ඇල්ලීම කියන්නේ අපිට දෙන පොඩි ආතල් එකක්..! 

(පළමු කොටස)

පැන්ඩෝරා පේපර්ස්වලින් කර ඇති හෙළිදරව් ගැන මොනවා හරි ලියන්නේ නැත්තේ මොකද කියලා බොහෝ දෙනා අහනවා. පළමු කරුණ ඒ ගැන දැනට ටක්කෙටම දෙයක් කියන්න බැරිකම.

කොහොම වුණත් ලංකාවේ මිනිස්සුන්ට ඔය වගේ ලොකු මිනිස්සු කරන ලොකු හොරකම් දැනෙන්නේ නැහැ. ගනන් ගන්නෙත් නැහැ. වැඩකුත් නැහැ. ඒ ලොකු හොරු කවදාවත් වැරදිකරුවන් වී දඬුවම් නොලබන බවත් මිනිස්සු දන්නවා. හැබැයි දේශපාලකයොම යම් හොරකමක් ගැන පොඩි මිනිස්සු අතරට හරියටම ගෙන ගියහොත් දැනෙනවා. (මහ බැංකු බැඳුම්කර සිද්ධිය වගේ)

එහෙම නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට දැනෙන්නේ යම් කෙනෙක් අල්ලපු වත්තෙන් කොස් ගෙඩියක් කඩා ගත්ත එක, කවුරු හෝ පන්සලේ පිං කැටේ කඩපු එක, සිල්ලර බඩු කඩේකට ගොස් සැමන් ටින් එකක් රෙද්ද අස්සේ ගහගෙන එන එක, සාප්පුවකින් බඩුවක් උස්සන හැටි CCTV කැමරාවකට හසුවී තිබුණු හැටි වගේ දේවල්.

පස්සේ දවසේ කාර්යාලයේ, කඩමණ්ඩියේ වගේම ලංකාවේ ප්‍රධාන මාධ්‍යවලත් ජාතික ප්‍රශ්නය හැටියට ඔය පොඩි සොරකම් ගැන සාකච්ඡා කෙරෙනවා. එම වැරදි කළවුන් උල තිබිය යුතු බවට ගෝරනාඩු කරනවා.

එසේ නොමැතිව වරාය හා අධිවේගී මාර්ග ගනුදෙනු, භූත මැණික් මල්ල, ක්‍රිෂ් වරදාන, මල්වානේ නිවස, බැඳුම්කර වංචා, සීනි වංචා, සුදු ළූණු වංචා ආදී දඩාර ඒවා එතරම් වැදගත් මාතෘකා බවට පත්වන්නේ නැහැ. ඒවා කළ අය හොරුත් නොවෙයි. මහත්වරු. ඒ නිසා මහජනතාව ඔවුන් ඡන්දෙදි රටේ උත්තරීතරම තැන ගිහිල්ලා හිඳුවනවා.

හම්බන්තොට රාජපක්ෂලා, මහනුවර අළුත්ගමගේලා, කළුතර අබේගුණවර්ධනලා, කුරුණෑගල ප්‍රනාන්දුලා වගේ අය දිස්ත්‍රික්කයේ අංක එකට තෝරා එවීමෙන් මේක ඔප්පු වෙනවා. (කොළඹ කරුණානායකලා, ගාල්ලේ අබේවර්ධනලා මෙවර නම් දේශපාලන කුනාටුවක් නිසා අතරමං වුණා.)

මොවුන්ට මහත් ධනස්කන්ධයක් තිබුණත් හතර මහා නිධානයක් පහළ නොවූ බව මිනිස්සු සක් සුදක් සේ දන්නවා. එහෙත් "අපේ හොරා අපිට හොඳා. අපේ දේවල් මේපාර තවත් වැඩියෙන් හොරා කන්න" යැයි ආශිර්වාද කරමින් ඔවුන් යළි පාර්ලිමේන්තුවට එවනවා.

ආණ්ඩුවත් ඔවුන්ටම ලොකුම කැබිනට් ඇමතිකම් දෙන පුදුම රටක් මේක. මේ අය රැස්කර ගෙන ඇති ධනස්කන්ධය ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. විපක්ෂයේ ඉන්න අය විපක්ෂයේ වීම නිසා පමණක් ප්‍රශ්න නගනවා.

මහා වංචා, දූෂණ ගැන නැගෙන හඬට ප්‍රතිචාර ලෙස රටේ නායකයා හැමදාමත් බොරු පරීක්ෂණ සඳහා නියෝග දෙනවා. ලංකාවේ කොමිෂන් සභා පත්කිරීම්, අල්ලස් කොමිසමට භාරදීම නොව නඩු දැමීම පවා වැඩක් ඇති දේවල් නොවෙයි.

මෙතෙක් කර ඇති දඩාර හොරකම්වලට දඬුවම් ලැබූ කී දෙනෙක් ඉන්නවද? මේවා, කලින් සිදුවීම්/සොරකම් අමතක කර දැමීමට උපස්ථම්භක වන කාලෙන් කාලෙට අපට දෙන "ආතල්" කිව්වට වැරදි නෑ.

දැන් පැන්ඩෝරා පේපර්වලින් එළියට ආව අයගේ ගනුදෙනු ගැනත් ජනාධිපතිවරයා පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මීට අදාළව ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් උපදවා ගත හැකි තොරතුරු ප්‍රකාශයට පත්ව තිබීම පරීක්ෂණවලට පහසුවක් වනු ඇති.

එහෙත් රටේ නායකයාට හා ආණ්ඩුවට දේශපාලන පක්ෂපාතීත්වයක්, ලැදියාවක් ඇති ආයතනවලින් හා නිලධාරීන්ගෙන් කවර නම් ස්වාධීන පරීක්ෂණද? හොරාගේ අම්මාගෙන් පේන අහන, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ රටක් මේක..!

වර්තමානයේ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ "ගිං නිල්වලා ව්‍යාපෘතිය" ගැන කතා කළා. ඔහු කීවේ ජනාධිපතිවරණයට දින දෙක තුනකට කලින් අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය නිකුත් කළ රුපියල් මිලියන 3000 ක චෙක්පත කොහේ ගියේ දැයි නොදන්නා බවයි. එකී කොන්ත්‍රාත්තුව මේ පැන්ඩෝරා ලයිස්තුවේ සිටින තිරු නඩේසන්ට සම්බන්ධතාවක් ඇති බව එකලද කියවුණා. ජවිපෙ අනුර කුමාර දිසානායකද ඉකුත්දා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නේ ගිං නිල්වලා ව්‍යාප්තිය වෙනුවෙන් මහජන මුදල් මිලියන 4000 ක් ගෙවා ඇති බවයි.

කවුරුන් හෝ තිරු නඩේසන් ප්‍රශ්නයක් කරගන්නා විට ඔහුට තම ව්‍යාපාරික ලේබලය යටතේම සැඟවීමට අවස්ථාවක්ද තිබෙනවා. එමෙන්ම ලංකාවේ දේශපාලකයෙකුට සිය මුදල් හෝ වත්කම් හංගන්න විදෙස් බැංකු වගේම සමීප ඥාති ව්‍යාපාරිකයෙකු සිටීමත් ඉතාම ප්‍රයෝජනවත් බව නඩේසන් හා බැඳී ඇති දේශපාලන ඥාති සබඳතා මනාව පසක් කරනවා.

"නෙළුම් කුළුණ" ඉදිකිරීම සඳහා අත්තිකාරම් ලෙස 2012 වසරේ ලබා දී තිබූ මිලියන 2000 ක මුදලක්ද ආගිය අතක් නොමැති බව එය විවෘත කරන අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියූ බව මතකයි. ඊට ප්‍රතිඋත්තර බැඳුනද ලංකාවේ ලොකු ලොකු ටෙන්ඩර්, කොන්ත්‍රාත්වල කිසිදු විනිවිදභාවයක් නොමැති බවට මෙවැනි ගනුදෙනු සාක්ෂි දරනවා.

මෑත ඉතිහාසයට අදාළව ගත්තම පැන්ඩෝරාවලින් මෙහා ශ්‍රී ලංකාවේ කොතරම් නම් හොරුන්ට දඬුවම් කළ හැකිද? වෙනස් පාරක යනවා යැයි කියූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඕනෑකමක් තිබේ නම් එය කළ හැකි දෙයක්. අදත් ඔහු කියූ පරිදි වැඩ අතපසු වී ඇත්නම් හොරුන් ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමේ සිට බොහෝ වැඩ ඔහුට ඉතා පහසුවෙන් කළ හැකි දේවල්.

2010 - 2015 කාලය තුළ සිදුවූ මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් "බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම සභාව" පත්කෙරුනා. එම වාර්තාව අදත් ජනාධිපති මන්දිරයේ ඇති. ගෝඨාභය ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මේ වැඩේ එතනින් පටන් ගන්නත් පුළුවන්.

පිටු දහසකින් පමණ සමන්විත වාර්තාව අතට ගත්තත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නම් මොනවත් කළේ නෑ. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව නම් දේශපාලන එදිරිවාදිකම් නිසාම එළියට දැම්මා.

ඉතිරිය......

|මහින්ද රුබසිංහ

(ඡායාරූපය-සොරකමට සහාය දෙන ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙක්)