Language Switcher

V2025

තෙල් ජනසතුවේ චූන් එක !

ලංකාවේ ආර්ථිකය විනාශ මුඛයට යන්න එක ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ මිනිසුන්ට වාමාංශික ප්‍රතිපත්ති සමග බැඳුණු ඉතා ම අතාර්කික, රොමෑන්තික ආසාවක් තිබීමයි.

1950-60 දශකවල ජීවත් වූ මිනිසුන්ට මේ රොමෑන්තික ආසාව විශාල ආශ්වාදයක් ගෙනදුන්නත් ඉතිහාසය දෙස නැවත හැරී බලනකොට පෙනී යන්නේ ඒ නිසා ලංකාවට සිදු වූයේ අති විශාල අනර්ථයක් බවයි.

මේ සඳහා හොඳ ම උදාහරණයක් වූයේ 1961 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව විසින් සිදුකළ තෙල් සමාගම් ජනසතුවයි.

මේ යටතේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු තෙල් සමාගම් වූ ෂෙල්, Esso සහ කැල්ටෙක්ස් කියන සමාගම් තුන සිරිමාවෝ ගේ ආණ්ඩුව ලංකාවෙන් පිටමං කළා.

එම සමාගම්වලට අයත්ව ලංකාවේ තිබුණු දේපල ආණ්ඩුවට පවරා ගත්තා.

මේ "තෙල් ජනසතුවෙන්" මාස කිහිපයකට පසුව සිරිමාවෝ ගේ ආණ්ඩුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවූවා.

ඒ කාලයේ මේ තෙල් ජනසතුව ලංකාවේ මිනිසුන් ගේ රොමෑන්තික 'වමේ සිහිනය' සන්තර්පණය කළා.

මෙයින් සිදු වුණු එක ම වෙනස වුණේ ඔපෙක් රටවල්වල තෙල් ඒකාධිකාරයෙන් මිදී සෝවියට් දේශය වැනි සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන මිලදී ගන්නට හැකියාව ලැබීමයි.

ඒත් ඒ වෙනුවෙන් අපට දිගුකාලීනව ගෙවන්න සිදු වූ පිරිවැය ඉතා විශාලයි.

ලංකාවෙන් පිටමං කළාට පසු Esso වැනි සමාගම් සිංගප්පූරුවේ තමන් ගේ මෙහෙයුම් ඉතා ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කළා.

ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය තෙල් සමාගම් පන්නලා දාලා ස්ථාපිත කරපු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද එක දවසකට රුපියල් බිලියනයක් පාඩු ලබන තැනකට ඇවිල්ලා තියෙනවා.

අපේ රටේ තිබුණු සමාගම් සිංගප්පූරුවට එළවූ අපි අද සිංගප්පූරුවෙන් වසරකට ඩොලර් මිලියන 360ක පමණ පිරිපහදු තෙල් ගෙන්වනවා.

අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ආර්ථිකයට විශාලත ම බරක් වූ රාජ්‍ය ආයතන තුනෙන් එකක්.

කොටින් ම මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් එක තෙල් කඳුළක් නැතුව ඉන්ධන පිරවුම්හල් අසල දවස් ගණන් පෝලිම් ගැසී අපා දුක් විඳිනවා.

සිරිමාවෝ ගේ "වාමාංශික ප්‍රතිපත්තිවල" අග්‍ර ඵලයක් ලෙස සැළකෙන තෙල් ජනසතුවෙන් අවුරුදු 61 ගත වූ තැන අප නතර වී සිටින තැන එතැනයි.

මා මෙතැනදී ඇඟිල්ල දිගු කරන්නේ සිරිමාවෝට පමණක් නෙවෙයි.

එහෙත් අඩු තරමේ පසුකාලීනව සිටි පාලකයන් හෝ මේ තීරණයේ අනර්ථකාරී ප්‍රතිඵල දැකලා එය ආපසු හැරවිය යුතුව තිබුණා. ඒත් ඔවුන් සියලු දෙනා ම කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන් ගේ හෙංචයියන්ට රැකියා දෙන, තමන් ගේ ගෝලබාලයන් ගේ බවුසර් කුලියට ගන්න, වංචාව සහ දූෂණය ඉහවහා ගිය 'දූෂිතයන් ගේ කෙම්බිමක්' විදියට දිගින් දිගට ම පවත්වාගෙන යාමයි.

ඒ වගේ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ, ප්‍රතිසංස්කරණය කිරීමේ හැම යෝජනාවක් ම ජාතිකවාදයෙන්, වාමාංශික හැඟීම්වලින් ඔද වැඩී ගිය ලංකාවේ මිනිසුන් ප්‍රතික්ෂේප කළා - ඔවුන් අදත් එය ම කරමින් ඉන්නවා.

ඛනිජ තෙල් සංස්ථාව තුළ සිටින අන්ත දූෂිතයන් මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යාම සඳහා මේ හැම ප්‍රතිසංස්කරණයට ම විරුද්ධ වෙනවා.

මේ අතාර්කික වාමාංශික චූන් වීම නිසා ලංකාව තමන්ට පවත්වාගෙන යන්න බැරි තරම් විශාල 'ආණ්ඩුවක්' පවත්වාගෙන යනවා.

ආණ්ඩුවෙන් තෙල් විකුණනවා. කජු විකුණනවා. සම්භාණ්ඩ හදනවා. ලී විකුණනවා. සිමෙන්ති හදනවා. විසිතුරු භාණ්ඩ හදලා විකුණනවා. මැටි බඩු හදනවා. ගුවන් සේවා පවත්වාගෙන යනවා. ටීවී, රේඩියෝ චැනල් පවත්වාගෙන යනවා. පත්තර ගහනවා. චිත්‍රපට පෙන්වනවා. මේ විදියේ මෙකී නොකී ව්‍යාපාර ආණ්ඩුව විසින් කරනවා. මේවායින් බහුතරයක් දැඩි ලෙස පාඩු ලබනවා. බෙල්ල මුලට ම හිරවෙලා ඉන්න ජනතාව පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සියල්ල නඩත්තු කරගෙන යනවා.

කොටින් ම ආණ්ඩුව විසින් තමන් ඇත්තට ම කළ යුතු කාර්‍යයන් හැරෙන්නට අනෙක් හැම දෙයක් ම කරනවා.

මේ විශාල ආණ්ඩුව පවත්වාගෙන යන්න රාජ්‍ය සේවකයන් මිලියන 1.5ක් ඉන්නවා. ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකකට රාජ්‍ය සේවයේ රැකියා ලබා දී තිබෙනවා. මේ වෙනකොට ලංකාව කියන්නේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ විශාල ම රාජ්‍ය සේවයක් තියෙන රටක්.

ලංකාව මේ තත්ත්වයට ඇද වැටෙන්නට මේ කියන අසමත් සහ අතාර්කික වාමාංශික මොඩල් එක ඉතා ම විශාල දායකත්වයක් දැක්වූවා. අද ලංකාව රටක් වැටෙන්න පුළුවන් පහළ ම තැනිනුත් පහළට වැටී තිබෙනවා. දශකයකටවත් ගොඩඑන්න බැරි විදියේ අගාධයකට වැටී තිබෙනවා.

තවමත් ලංකාව ලිබරල්කරණයට බයයි. වෙළෙඳපොළ විවෘත කරන්න බයයි. පුද්ගලික අංශයට බයයි. පුද්ගලික ව්‍යාපාරවලට බයයි. සෘජු විදෙස් ආයෝජනවලට, ධනය උත්පාදනයට බයයි. මේ තරම් විශාල ප්‍රපාතයකට වැටිලත් අපට මේ කරුමක්කාර චින්තනයෙන් ගොඩඒමක් නැහැ.

ලෝකයේ අපට පසුපසින් සිටි බොහෝ රටවල් අප පසුකර වේගයෙන් ඉදිරියට ගියේ අහම්බයක් නිසා නෙවෙයි. ඔවුන්ට එහෙම කරන්න පුළුවන් වුණේ අපේ වළ අප ම කපාගත් නිසයි.

මේ තරම් විශාල ප්‍රපාතයක වැටිලත් ලංකාවේ මිනිසුන් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා යැයි හිතනවා නම් ඔබට විශාල වැරදීමක් සිදුවී තිබෙනවා.

රසික ජයකොඩි ගේ ෆේස්බුක් පිටුවෙනි