Language Switcher

V2025

37 ක් වැඩි නැද්ද ?

ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයක් පිළිබඳ, මීට අවුරුදු කිහිපයකට පෙර මුල්ම අනතුරු ඇඟවීමකළේ රනිල් වික්‍රමසිංහය. ලක්ෂ 15 කට වැඩි රාජ්‍ය සේවය රාජ්‍ය භාණ්ඩාගාරයට එල්ල කරන පීඩනය ගැනත් කිව්වේ රනිල් වික්‍රමසිංහය. මිනිස්සු පාරට බැස්ස අවස්ථාවේ සිස්ටම් චේන්ජ් කරන්න යෝජනා කළේත්, නැත්නම් කාලෙන් කාලෙට තෙල් නැතුව, ගෑස් නැතුව, කන්න නැතුව, කරුවලේ, බෙහෙත් නැතුව, මැරෙන්න හිත හදාගමු කිව්වේත් රනිල් වික්‍රමසිංහය.

එහෙම කියපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් පත්කළේය.

"රාජ්‍ය ඇමතිවරුන් 37ක් කොස් කොටන්නද ?", " එළවපු එවුන්ව සනිල් ඇමතිලා කරලා නේද ?", " රාජ්‍ය සේවය අඩු කරන්න කතා කරේ ඇමතිලා වැඩි කරන්නද ?", "දැන් සට සට ගාලා රට හැදේවිද ?" රට්ටු ඊට ප්‍රතිචාර දැක්වූයේ එහෙමය. සමාජ මාධ්‍ය තුළත් , එළියට පහළට ගියත් වික්‍රමසිංහ ජනාධිපතිගේ මේ තීන්දුව ගැන එල්ලවූ විවේචන ප්‍රමාණය වැඩිය. එනිසා එය සුළුවෙන් තැකීමටත් නොහැක. නමුත් එසේ කියා ඇත්ත මඟහැර විවේචන භාරගත යුතුද ? නැත. කිසිසේත් එසේ කළ යුතු නැත. අවශ්‍ය වන්නේ ඇත්ත අනාවරණය කිරීමය.

🔴 වික්‍රමසිංහ ජනාධිපතිගේ අභියෝගය !

මේ මොහොතේ වික්‍රමසිංහ ජනාධිපති මුහුණදී සිටින අභියෝගය නම් සර්ව පාක්ෂික එකඟතාවකින් යුතු ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමය. ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඊට සහය නොදෙන්න තීරණය කර ඇත. පොදුජන පෙරමුණේ බහුතරය වික්‍රමසිංහ ජනාධිපති සමඟ සිටියද , ඔහුගේ අපේක්ෂාව වූයේ , ඉතිහාසයේ දරුණුම අර්බුදයට සර්ව පාක්ෂික සාමුහිකත්වයක් තුළින් ශක්තිමත්ව මුහුණදීමය. නැතිනම් හොඳම දේ එළියට ගන්නය.

තවදුරටත් පැහැදිළි කරනවා නම්, වික්‍රමසිංහ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනේ ප්‍රශ්නයක් තිබුණේ නැත. ඉතා පැහැදිළිව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ජන්දය අවස්ථාවේ ඔහු තම බලය උරගා පෙන්වාදී තිබිණ.

නමුත් වික්‍රමසිංහ ජනාධිපති උත්සාහ කළේ , පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක මේසයකට ගෙන සකසාගනු ලබන පොදු එකඟතාවක් මත, රටේ ජාතික අභිලාශ සාක්ෂාත් කරගන්නා අතරම, ඒ ඒ පාර්ශව වල වුවමනාවන්ද බල ගැන්වෙන, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්, සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් යුතු ව බිහිකර ගැනීමටය.

🔴 සර්ව පාක්ෂික ආණ්ඩුව මොකටද ?

එහෙත් පටු දේශපාලන අභිමතාර්ථ නිසා විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (මෛත්‍රී පාර්ශවය ) , දෙමළ ජාතික සන්ධානය, ජාතික ජනබලවේගය මෙන්ම ස්වාධීන යැයි සඳහන් කරන කණ්ඩායම් එය ප්‍රතික්ෂේප කර ඇත. නමුත් එම පක්ෂ සහ කණ්ඩායම් වල සිටි යම් පිරිසක් ජනාධිපතිවරයාගේ ඇරයුම පිළිගෙන ද ඇත.

ඒ නිසාම වික්‍රමසිංහ ජනාධිපතිට සිදුව ඇත්තේ , සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට, බහුපාර්ශ්වීය එකඟතාවකින් යුතු ආණ්ඩුවක් බිහිකර ගැනීමටය. ඒ හරහා පාලනය ස්ථාවර කරගන්නටය.

දැන් නැගෙන ප්‍රශ්නය නම් වික්‍රමසිංහ ජනාධිපතිට , ස්ථාවර පාලනයක් වෙනුවෙන් බහු පාර්ශ්වීය එකඟතාවක් මොකකටද යන්නය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා සාර්ථක කර ගැනීමට මෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව , පැරිස් සමාජය , යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට සහ එකඟතාවන් අනුව කටයුතු කිරීමට නම් රට තුළ ප්‍රබල දේශපාලන ස්ථාවරත්වයක් පවත්වගෙන යෑම අනිවාර්ය තත්වයක් වී ඇත.

ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නැත්නම් ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීම දුෂ්කර ය.

ජාත්‍යන්තර සහය මේ මොහොතේ වැදගත් වන්නේ, ජාත්‍යන්තරයේ සහය නොමැතිව අප රටට මේ වැටී ඇති ආඝාධයෙන් එක පියවරක් හෝ ඉහළට ඒමට නොහැකි නිසාය. එසේ නම් රට මුහුණ දී තිබෙන ආර්ථික සහ සාමාජීය අර්බුදයන්ගෙන් ගලවා ගැනීමට සහ රටේ ආර්ථිකය ස්ථාවර කරගත් වැඩ පිළිවෙලක් සමඟ අනාගතයට මුහුණ දීමට නම්, මේ මොහොතේ ජාත්‍යන්තර සහය සාමාන්‍ය කාල වකවානු වලට වඩා කිහිප ගුණයක් තිබුණත් වැඩි නැත.

🔴 විපක්ෂයේ දේශපාලනය !

බිංදුවට බංකොලොත් වූ රටකට යළි ගොඩ ඒමට වෙනත් විකල්ප නැත. සර්ව පාක්ෂික පාලනයකට එරෙහිව සිටින පක්ෂ කිසිවක් මේ වන තුරුත් කුමන හෝ විකල්පයක් යෝජනා කරද නැත. සැබවින්ම ඒ පිරිස් කරන කියන දෙයින් තේරුම් යන්නේ , රට මේ අර්බුදයයන්ගෙන් මුදවාගැනීමට තබා, අර්බුදය කුමක්ද යන්නවත් ගැන ඔවුන් නිවැරැදි තක්සේරුවක නැති බවය.

ඒ හමුවේ වුවත් ඔවුන් උත්සාහ කරන්නේ , තවදුරටත් ජනාධිපතිවරයාගේ පාලනය පවත්වාගෙන යෑමට ඉඩ නොදීමය. රජය දුර්වල කර ජනතාව තවතවත් පීඩාවට පත් කරලීමය. ඒ ඔස්සේ ආණ්ඩු පෙරළියකට වටපිටාව සකසා ගැනීමය. ඒ තුළ මහ මැතිවරණයක් ලබා ගනිමින් තමන්ගේ මන්ත්‍රී ආසන ප්‍රමාණය වැඩි කරගැනීමය.

මේ තුළ ජාතික අවාසනාවක් ද ඇත. ඒ මහ මැතිවරණයකින් පසුව, ස්ථාවර ආණ්ඩුවක් බිහිවනු ඇති බවට කිසිසේත් අපේක්ෂා කළ නොහැකි නිසාය.

🔴 මහ ජන්දේ ජය කාටද ?

පාර්ලිමේන්තු අභ්‍යන්තරයේ ඇති දේශපාලන සැකැස්ම ඊට හොඳ සාක්ෂියක් ය. එක් එක් පක්ෂ වල මන්ත්‍රී ධූර ප්‍රමාණයේ සුළු වෙනසක් මිස, වත්මන් දේශපාලන සැකැස්ම හමුවේ , මහ මැතිවරණයකින් පසුව වැඩිම සම්භාවිතාවක් ඇත්තේ, රට තවදුරටත් මේ දරුණු අගාධයේ පතුලට යාමය. පවතින අර්බුදය හමුවේ රට තවත් දික්ගැස්සුණු, ව්‍යාකූල වූ සහ විනාශකාරී අන්තයකට තල්ලුවී යාමය.

එය වලක්වා ගැනීමට නම් මේ මොහොතේ ඇති යතුර වන්නේ, පොදුජන පෙරමුණ ප්‍රමුඛව බහුපාර්ශ්වීය එකඟතාවකින් යුතු ආණ්ඩුවක් බිහිකර ගැනීමට සහය දෙන සියලු පාර්ශ්ව එක්කර ගැනීමය.

එය මේ මොහොතේ ව්‍යවස්ථාව අනුව කළ යුතුව ඇත්තේ දියවන්නාවට පිටින් නොව , දියවන්නාව තුළින් ය. ඒ අනුව මේ මොහොතේ වික්‍රමසිංහ ජනාධිපති ට එක් පසෙකින් අවස්ථාවාදී විපක්ෂයේ ද්‍රෝහි දේශපාලනය දමනය කිරීමටත්, ජනතා පීඩනය අවම කර රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ලීමත් එකවිට කරන්න සිදුව ඇත.

🔴 අනුන්ගේ පක්ෂවලට අමාත්‍ය ධූර !

ඒ සඳහා කදිම උපාය මාර්ගික එළඹුමක් වෙත වික්‍රමසිංහ ජනාධිපති යොමුව ඇත. ඒ ඇමති වරප්‍රසාද උපරිමයෙන් කප්පාදු කර , හැකිතාක් රජයට බරක් නොවන ලෙස අමාත්‍යවරුන් පත්කිරීම හරහා ය.

මෙහි ඇති ලස්සනම කරුණ වන්නේ , මේ කිසිම අමාත්‍යවරයකු එක්සත් ජාතික පක්ෂයේ නොවීමය. ජනාධිපති වික්‍රමසිංහ අනෙක් පක්ෂ වල මන්ත්‍රීවරුන් ට අමාත්‍ය ධූර දෙන්නේ , තවත් වසර දෙකහාමාරකින් ජාතික මැතිවරණයක් ඇති පසුබිමක ය.

ඒ අනුව මේ සර්ව පාක්ෂික කෙක්කෙන් ගන්න ගිය දේ, දැන් බහු පාර්ශ්වීය "ඇමති" කොක්කෙන් ගන්න වික්‍රමසිංහ ජනාධිපති උත්සාහ කරන්නේ රට වෙනුවෙන් නිවැරදි දේ කරන්නය. ඔහුගේ අවංක කැපවීම රට වෙනුවෙන්ම බවත් පැහැදිලිය.

එසේ නම් ,එලවපු අයට ඇමතිකම් දීමේ සිට ඇමති මණ්ඩලය ලොකු වැඩී කියමින් වික්‍රමසිංහ ජනාධිපතිව විවේචනය කරන විපක්ෂය මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද ? රටට බරපතළම ද්‍රෝහිකම කරන්නේ ඔවුන් ය.

විශාල අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට වික්‍රමසිංහ ජනාධිපති ට සිදුව ඇත්තේ , මේ අයගේ කුහක දේශපාලන අරමුණු නිසාය.

පක්ෂ ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ වී සර්වපාක්ෂික වැඩ පිළිවෙලකට එකඟ කටයුතු කළා නම් , සීමිත අමාත්‍ය මණ්ඩලයකින්, හොඳම තීන්දු තීරණ ගෙන , බිංදුවට ඇද වැටී බංකොලොත් වූ රට , ඉතා ඉක්මනින් නගා සිටුවන්නට අවස්ථාව තිබිණ . සමගි ජනබලවේගය පක්ෂය ඊට සහය දුන්නා නම් වාදයක් නැතිවම ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සමග රට තීරණාත්මක පිම්මකින් ඉදිරියට ගන්න තිබිණ . නමුත් එහි දේශපාලන කුහකත්වය වැඩිවූ නිසා , පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් ඇතුළු බහු පාර්ශ්වික ආණ්ඩුවක් වෙනුවෙන් එකඟ පිරිසක් සමග ඉදිරියට යාමට වික්‍රමසිංහ ජනාධිපති ට සිදුව ඇත.

තිත්තයි කියා කරන්න දෙයක් නැත. රෝගය සුව වෙන්න නම් තිත්ත වුවත් පෙත්ත ගත යුතුය. රාජ්‍ය අමාත්‍යවරුන් 37 වැඩි නැද්ද කියා අසන, මෙන්ම විශාල වන ඇමති මණ්ඩලය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකය.

මේ, විපක්ෂයේ සාහසික කුහක දේශපාලනය ඉස්සරහ , අපායට යන්න ගිය රටක් , ආපසු හැරවීමට යෙදූ වික්‍රමසිංහ උපායක් ය.

කල්ප අනුත්තර ලියනගේ

(දිනමිණ 2022/09/12 )