පසුගිය සතිය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ අයහපත් කාළගුණ තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් අනපේක්ෂිත ලෙස මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධවයි.
පක්ෂ නායක රනිල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම් බොහෝමයක මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබුණි.

ජනතාව දැනුවත් කරන්න රනිල් ගත් පියවර
විශේෂයෙන් ම මෙවැනි ආපදා තත්ත්ව එක්සත් ජාතික පක්ෂ පාලන කාල තුළදීත් රටට මුහුණදීමට සිදුවූ අතර ඒවා කළමනාකරණය කරගත් ආකාරය පිළිබඳව මෙහි දී කතා බහ වී ඇත. එවැනි අවස්ථාවලට මුහුණ දී ලබාගත් අත්දැකීම් මේ අවස්ථාවේදී ද ප්‍රයෝජනයට ගත යුතු ආකාරය පිළිබඳ නායක රනිල් දැනුවත් කෙරිණි.
මෙම සාකච්ඡාවලින් අනතුරුව නායක රනිල් සිය කණ්ඩායමට පවසා තිබුණේ මෙම තත්ත්ව කළමනාකරණය කරගැනීම සඳහා තම පක්ෂය සතු දැනුම ආණ්ඩු පක්ෂයට ලබාදෙන ලෙසයි. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් ඊට සෘජුව ඇහුන්කන් දීමට බලාපොරොත්තුවක් නොවන නිසා මාධ්‍ය සාකච්ඡා මගින් එය ආණ්ඩුවටත් සමස්ත ජනතාවටත් අවබෝධ කරවන ලෙස යි.
ඒ අනුව මෙම මාතෘකාව කතා කිරීමට විශේෂ මාධ්‍ය සාකච්ඡා වාර කිහිපයක් ම කැඳවන ලෙස නායක රනිල් පක්ෂයේ නිලධාරීන්ට පැවසූ අතර මෙහි පළමු මාධ්‍ය සාකච්ඡාව සභාපති වජිර ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙස උපදෙස් දුන්නේ වජිර හිටපු රාජ්‍ය කළමනාකරණ ඇමතිවරයා වශයෙන් මෙවැනි ආපදා තත්ත්ව කිහිපයක් ම මනා ලෙස කළමනාකරණය කර ඇති අත්දැකීම සහ පළපුරුද්ද නිසාවෙනි.
ඒ අනුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාව සඳහා වජිර ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
වැදගත් වන්නෙ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර
මෙහි දී ප්‍රධාන වශයෙන් ම මෙවැනි ආපදාවක් කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික තනතුරේ ඇති වැදගත්කම වජිර පෙන්වා දුන්නේ පසුගිය ආපදා තත්ත්වය කළමණාකරනය කිරීම සඳහා එවැනි තනතුරක අඩුව හොඳට ම දැනුනු බැවිනි.
“ඕනෑම දරුණු ආපදාවක් ඇති වන අවස්ථාවක දී, එනම් ආපදා කළමණාකරනයේදී ඉතා වැදගත් වන්නෙ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරයි. විශාල ආපදාවල දී ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් ඒ අංශ පැත්තෙන් නායකත්වය දිය යුතුව තිබෙනවා. ඊට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ත්‍රිවිධ හමුදාව අයිති වෙන්නෙ නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය යාන්ත්‍රණයට. අපිට මතකයි 2003 මහ ගං වතුර ආපු අවස්ථාවේදීත්, 2016 මහ ගංවතුර ආපු අවස්ථාවේදීත්, CDS කියන තනතුර කොච්චර වැදගත් වුනා ද කියලා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, සියලු අමාත්‍යංශවල ලේකම්වරු, දිසාපතිවරු, රාජ්‍ය යාන්ත්‍රණය සමග මුසුකොට ක්‍රියා කළ විට තමයි මහජනයාට විශාල සහනයක් ලබා දෙන්න පුළුවන්. මෙවන් තත්ත්වයක් ඇති වන බව ඒ විශේෂඥයින් දැනුම් දෙනවිට ආරක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය කැඳවන්න ඕන, ඉන්පසුව ආපදා කළමණාකරන කමිටු රැස්වෙන්න ඕන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ අවශ්‍ය කරන අනෙක් සංවිධාන සියලු දෙනාම ඒ සඳහා කැඳවන්න ඕන. එතකොට තමයි මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ඊ) යන්නේ සඳහන් වන්නේ, “ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීමද“ යන්නයි. එම වගන්තිය අනුව මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කිරීම ඉතා වැදගත්.
නමුත් අපිට පේනවා විවිධ අදහස් ප්‍රකාශ කරනවා. කිසිම ආණ්ඩුවක් කිසිම දෙයක් කළේ නෑ කියනවා. මං හිතන්නේ ඒක එහෙම කියන්න හොඳ නෑ. සෑම ආණ්ඩුවක් ම මේ වැඩකටයුතු කළා. අපි පාලනය කරන අවස්ථාවල මෙවැනි ප්‍රශ්න ආවම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුවත් ඇවිල්ලා වැඩ කළා. අපි ඒ සඳහා ඉඩ දුන්නා. අපි ඒකට බාධා කළේ නෑ. ඒ සියලු දෙනා ගේ සහය මෙවැනි අවස්ථාවල ඉතා වැදගත්.”

අපිට අවශ්‍ය මේ අය ඉක්මනින් නැගිට්ටවන්න
ඒ වගේම වජිර මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී රටට ලැබෙන ආධාර කළමණාකරනය කළ යුතු ආකාරය ද පෙන්වා දුන්නේ තමන් ආණ්ඩු නියෝජනය කරන සමයේ ඒවා කළමණාකරනය කළ ආකාරය ද උදාහණ සහතිව පෙන්වාදෙමිනි.
“උදාහරණයක් හැටියට අපි දකිනවා සමහර අය කියනවා මෙහෙම සල්ලි කවදාවත් දීලා නෑ කියලා. නමුත් මම දන්නවා අපි ආණ්ඩු කරන සමයේ විශේෂයෙන් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා මහා ගං වතුරින් විනාශ වුනා. ඒ අය රක්ෂණයෙනුත් මුදල් ගත්තා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා තෑගි මුදලුත් ලබා දුන්නා. සමහර කර්මාන්ත ශාලාවලට ලක්ෂ 100 ය, 200 ය දුන්නා. ඉල්ලනවා නම් මට පුළුවන් ලැයිස්තු දෙන්න කොයි කර්මාන්තශාලා ද ඒ මුදල් අරන් දියුණු වුනේ කියලා.
ඇතැම් අය රක්ෂණයෙනුත් සල්ලි ගත්තා, තෑගි මුදලුත් ගත්තා, කෙසේ හෝ ඉක්මනින් ඒ අය යළි නැගිට්ටා. අපිට අවශ්‍ය කරන්නෙත් මේ අය ඉක්මනින් නැගිට්ටවන්න එවිට තමයි රට යළි පණගන්වන්න පුලුවන් වෙන්නේ. රක්ෂණයෙන් පමණක්ම මේ අයට නැගිටින්න බැහැ. රක්ෂණය කරන්නෙ සම්පූර්ණ ප්‍රමාණය නෙමේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙලාවේ ගබඩාවල තිබුණු තේ කිලෝ 40,000 ක් පමණ පෑලියගොඩ පැත්තේ අහිමි වෙලා තිබෙනවා. රක්ෂණයෙන් කොටසක් ලැබෙයි. අනෙක් ආයතනත් ඒවා දිහා බලන්න තිබෙනවා.”

මේ තත්ත්වය වසංගත රෝග බෝ වීම දක්වා වර්ධනය වෙයි ද...?
ඉන් අනතුරුව වජිර පෙන්වාදුන්නේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවු මාතෘකාවක් මෙන්ම ආපදාවකින් අනතුරුව මූලිකවම අවධානයට ලක් කළ යුතු කාරණාවක් පිළිබඳවයි.
“දැන් අපි උදාහරණයක් ගත්තම මේ ආපදාව හේතුවෙන් සතුන් කොච්චර මැරුණ ද? දැනගන්න ලැබෙන විදිහට බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් පමණ මිය ගිහින් තිබෙනවා. ඒ වගේම සම්පූර්ණ සතුන් ගණන් බැලුවොත් ලක්ෂ 100 ක් පමණ නැතිවෙලා තිබෙනවා. අපට පේනවා හරක්, එළුවෝ, වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. තවමත් ඡායා රූප දකිනවා. ෆේස්බුක් තුළත් මේ දේවල් සංසරණය වෙනවා.
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු ඇතුළු සියලු දෙනා එකතුවෙලා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න කඩිනමින් පියවර ගන්න ඕන. නැත්තම් මේ තත්ත්වය වසංගත රෝග බෝ වීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්.”

අසරණ වූ අය යළි නැගිට්ටවිය යුතුයි
ඉන් අනතුරුව වජිර රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාව සිටියදී මෙවැනි විපතකට රට මුහුණදුන් විට ඉන් පීඩාවට පත් ජනතාව ගණනය කිරීම පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කරන්නට වුණේ වත්මන් රජයට මේ වනවිටත් ආපදාවට ලක්වූ සමස්ථ පුද්ගලයින් ප්‍රමාණය ගණනය කරගැනීමට නොහැකිව සිටින නිසයි.
“දැන් ගොඩක් අය මිය ගිය සංඛ්‍යාව පිළිබඳව සිතමින් ඉන්නවා. අපිට මතකයි 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා අපේ රටට සුනාමිය ආවා. 28, 29 වනවිට මිය ගිය ප්‍රමාණය නිවැරදිව ඉදිරිපත් කළා. හොඳ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ග්‍රාම නිලධාරින් 14,000 ක්, සංවර්ධන නිලධාරීන් 17,000 ක් පමණ, කෘෂි පර්යේෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරින් ඇතුලු දහස් ගණනක් රාජ්‍ය සේවකයින් අපේ රාජ්‍ය සේවය තුළ කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු ප්‍රධාන කොටගෙන පවුල් සෞඛ්‍ය සේවිකාවෝ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුළු අති විශාල දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණයට නිසි උපදෙස් ලබාදුන්නොත් මිය ගිය සංඛ්‍යාව පැය 72 දී කියන්න ඒ අයට පුළුවන්. ලැයිස්තු තිබෙනවා, ඒ ලැයිස්තු ග්‍රාම නිළධාරී කාර්යාලයත් එක්කම ගහගෙන ගියත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගං වතුරට ගහගෙන ගියත් කොළඹ ඒ සියලු තොරතුරු තිබෙනවා. එසේ නම් මේ තොරතුරු ඉදිරිපත් කරනව ද, නැද්ද යන්න කියන එක බලන්න යන්නේ පැය 72 ක් පමණ කාලයක්. ඒක ඉතාම සරල කාරණයක්. මිය ගිය සංඛ්‍යාව වැදගත් වෙනවා ආධාර ලබා ගැනීමේ දී. ඒ වගේම මින් අසරණ වූ අය යළි නැගිට්ටවන්න තිබෙනවා. මේ තොරතුරු හරියට ඉදිරිපත් කළොත් තමයි ආධාර දෙන කණ්ඩායම්වලට වගේම මීට සමගාමීව ක්‍රියාත්මක වන අනෙක් යාන්ත්‍රණවලටත් ඔවුන්ගේ කටයුතු ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙන්නේ.”

නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ
අවසාන වශයෙන් වජිර පැහැදිලි කරන්නට වුණේ මෙවැනි ආපදාවක් එන බව දැනගන්නට ලැබුණු විට රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධ වී මේ සඳහා මූලික පියවර ගත යුතු ආකාරය පිළිබඳව යි.
“ඒ වගේම තව විශේෂ දෙයක් අපි දකිනවා. උදාහරණයක් හැටියට බොහෝ අය මේ ජලාශ ගැන විවිධ මත පළ කරනව. ඇතැම් අය කියනවා පරාක්‍රමබාහු රජතුමා ඇතුළු අපේ අනෙකුත් රජවරු මේ ජලාශ ඉදි කරපු එක වරදක් කියලා. මුලින් ම මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා. ජල කළමණාකරනය ලෝකයෙත් තිබෙනවා, ලංකාවෙත් තිබෙනවා. ඉතිහාසය ගත්තොත් අපේ රට පාලනය කල රජවරු විශාල ප්‍රමාණයක් රටේ වැව්, ජලාශ ඉදි කළා. ඒ අය මේ දේවල් ඉදි කළේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒ වගේම 1977න් පසුව එක්සත් ජාතික පක්ෂයත් මේ රටේ ජනතාව ගේ සුබසිද්ධිය වෙනුවෙන් ජලය කළමණාකරනය කරමින් විශාල ජලාශ ඉදි කළා. ඊට පසුවත් තවත් ජලාශ ඉදි වුණා. කොහොමහරි මේ අයට තිබුණේ ඒ දේවල් කළමනාකරණය කරන්න විතරයි. ඉතින් මේ සඳහා ජලාශවල ජල කළමණාකරන ඒකක තිබෙනවා. මේ ජල කළමණාකරන ඒකක විවිධ මට්ටමේ තිබෙනවා. මහවැලියේ ජල කළමණාකරන ඒකකයක් තිබෙනවා. වාරි මාර්ගයේ ජල කළමාණාකරන ඒකකයක් තිබෙනවා. ආපදා කළමණාකරනයේ තවත් ජල කළමණාකරන ඒකකයක් තිබෙනවා. නමුත් ඉතිහාසයේ කවදාවත් නැති විදියට අපේ රටට මිමි 300 ට ඒ වගේම මිමි 560ට වැඩි විශාල වර්ශාපනතනයක් ලැබුණා.

ඉතින් මේ නිසා විශාල ජල කඳක් අපේ ජලාශවලට එකතු වුණා. ඉතින් මේ ජල කඳ හසුරුවන්න තනියම මහවැලියට බෑ, තනියම වාර්මාර්ගයට බෑ, ඒවායේ ඉන්න නිලධාරීන්ට දොස් කියලා වැඩකුත් නෑ. එහෙනම් මේ සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. ඒකාබද්ධ මෙහෙයුමේ දී කවුරු හරි පාඩු වෙන ලාභ වෙන තීරණ ගන්න ඉදිරිපත් වෙන්න ඕන. එහෙම ඉදිරිපත් වුණා නම් මීට වඩා ජලය කළමණාකරනය කරගන්න තිබුණා.
කෙසේ හෝ දැන් වුන විනාශය වෙලා ඉවරයි. ඒ විනාශයෙන් නැගිටින්න නිවැරදි පාරේ ගමන් කරන්න ඕන. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපතිතුමා පක්ෂ නායකයන් කැඳවා ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග විරුද්ධ පක්ෂයක් හැටියට සාකච්ඡා කළේ. ඉතින් ඒ අනුව ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ අවස්ථාවේදී බෞද්ධයන් හැටියට මේ ආපදාව හේතුවෙන් මියගිය සියලු දෙනාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
දයා පැල්පොළ ගේ දේහයට ගෞරව දක්වයි

මේ අතර කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා ලෙස වසර 15 ක කාලයක් කටයුතු කළ අභාවප්‍රාප්ත දයා පැල්පොළ මහතාගේ දේහයට වජිර පසුගිය සඳුදා උදෑසන අවසන් ගෞරව දැක්වූහ. ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස ද පක්ෂය ගොඩ නැංවීමේ දැවැන්ත කාර්ය භාරයක් කළ අයෙකි.
යහපාලන සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු දයා පැල්පොළ මහතා (2015-2019) ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපන සබඳතා වර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය. ඔහු කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ද ප්‍රකටය.

