වනාන්තර - අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය

වනාන්තර - අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය

වනහරනය, මිනිස්-සත්ව ගැටුම සහ ගෝලීය අත් දැකීම්

වනහරනය සහ මිනිස්-සත්ව ගැටුම ස්වාභාවික වාස භූමි හැකිළී යෑමත් සමග අනතුරුදායක ලෙස එකට බැඳී පවතී. වනජීවීන්ට මිනිස් ජනාවාස වෙත සමීප වෙන්නට නිරන්තරයෙන් බල කෙරේ.

සංඛ්‍යාලේඛනවලින් දක්වන්නේ බියකරු චිත්‍රයකි. 2024 දී, මිනිත්තුවකට ක්‍රිකට් පිටි 4 සිට 5 දක්වා වන භයානක අනුපාතයකින්, නිවර්තන ප්‍රධාන වැසි වනාන්තර අක්කර මිලියන 16.6 ක් ලොවට අහිමි විය.

ගෝලීය අර්බුදය

2025 අවසන් වන විට, මෙම විනාශයට ප්‍රධානව දායක වන්නේ කවුරු දැයි යන්න ඉතා පැහැදිලි විය. විශේෂයෙන් සෝයා, පාම් තෙල් සහ ගව පට්ටි යනාදි වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා වාණිජ කෘෂිකර්මාන්ත මෙම විනාශයේ නායකත්වය උසුලයි. ආදිවාසී ජන ප්‍රජාවෝ ලොව භූමි ප්‍රදේශයෙන් සියයට 25 සිට 28 දක්වා ප්‍රමාණයක් තිරසාර ලෙස කළමනාකරණය කරති. වනහරනය හේතුවෙන් ඔවුන්ට සංක්‍රමණය වන්නට බල කෙරේ. එහි ප්‍රතිඵලය වන්නේ සංස්කෘතික සෝදා පාළුව සහ ඉහළ නැගෙන දරිද්‍රතාවය යි. ඛේදනීය අන්දමට, ගෝලීය වශයෙන් මරා දැමූ පාරිසරික රැකවලුන් ගෙන් සියයට 40ක් ද ආදිවාසීහු වෙති. ඔවුහු, අප සියලු දෙනා නොනසා පවත්වා ගන්නා වනාන්තර රැක ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් ඝාතනයට ලක් වූවෝ වෙති.

බිලියන 1.6කට අධික ජනතාවක් සෘජුවම රඳා පවතින්නේ වන සම්පත් මත ය. ප්‍රාථමික වනාන්තර අහිමි කිරීමෙන් ඖෂධීය පැළෑටි සහ සාම්ප්‍රදායික ආහාරවල මූලාශ්‍ර අනතුරේ හෙළයි. එය, පරම්පරා ගණනාවක් පුරා මෙම පරිසර පද්ධති මත යැපුණ ජන ප්‍රජාව තුළ මන්දපෝෂණය සහ සෞඛ්‍ය අර්බුද ඇති කිරීමට හේතු වේ.

36949400340 030e4ae5f9 oab4ccd35 fd6a 4230 bd2e f0113f50357d

 

පාරිසරික දාම ප්‍රතික්‍රියාව

වනහරනය විනාශකාරී අන්දමින් පාරිසරික සමතුලිතතාව බිඳ දමයි. වනජීවි මං පෙත් වෙන් කර දැමීම හේතුවෙන් ආහාර සහ ජලය සොයා මිනිසුන් වසන ප්‍රදේශවලට ඇතුළු වන්නට සතුන්ට බල කෙරේ. මෙහි ප්‍රතිඵලය වන්නේ බෝග ආක්‍රමණය කිරීමත්, පශූ සම්පත කොල්ලකෑමත් ය. මෙම වැඩි වුණු අන්තර්ක්‍රියාකාරිත්වය, සතුන් ගෙන් මිනිසුන් වෙත රෝග පැතිරීමේ අවදානම ඉහළ නංවයි. වනාන්තර, ලෝකයේ සත්ව විශේෂීන් ගෙන් තුනෙන් දෙකකට පමණ වාසස්ථාන සපයයි. ඒවා විනාශ කර දැමීම වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින ක්ෂීරපායි සතුන්ගෙන් අඩක් පමණ මුළුමණින් වැනසී යෑම දෙසට තෙරපා දමයි.

රටා කලාපය අනුව වෙනස් වන නමුත් ඊට පාදක වූ තේමාව නොවෙනස්ව පවතී. කොලොම්බියාවේ සාම ගිවිසුම්වලින් පසු ඇති වූ බල රික්තය මැද්දේ කොකෝ වගාව සහ ගව තණබිම් සඳහා කළ නීති විරෝධී එළි පෙහෙළි කිරීම් අතිශයින් ඉහළ නැංගේය. බ්‍රසීලයේ, කෘෂි ව්‍යාපාර ව්‍යාප්තිය, ඇමසන් වනහරනයෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් සඳහා හේතුකාරක වේ. මාර්ග, ජල විදුලි වේලි, පතල් කැණීම් යනාදි සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දුරස්ථ වනාන්තර පෙදෙස් එළි පෙහෙළි කිරීම දිගටම සිදු වෙයි. අධික නියඟය විසින් උග්‍ර අතට හරවන ලද දේශගුණ විපර්යාස හේතුවෙන් හට ගන්නා ලැව් ගිනි බ්‍රසීලයේ සහ බොලිවියාවේ වනාන්තර අහිමි වීමට සැලකිය යුතු ලෙස දායක වී ඇත. විවිධ කලාපවල සිදු වන සන්නද්ධ ගැටුම්, වනහරන අනුපාත තවත් වේගවත් බවට පත් කර තිබේ.

image 7e7cc435e2

ඉන්දියාවේ වනජීවි අර්බුදය: කලාපීය අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ආසන්නව ඉන්දියාව තීරණාත්මක වනජීවි අර්බුදයකට මුහුණ දෙයි. අධික වනහරනය සහ වාසස්ථාන කැබලිවලට වෙන් කිරීම එයට හේතුකාරක වේ. මෙය: මිනිස්-සත්ව ගැටුම්, විශේෂයෙන් අලි ඇතුන් සහ වඳුරන් සමග ගැටුම් උත්සන්න බවට පත් කරයි. ඉතිරිව ඇත්තේ මුල් වනාන්තර ආවරණයෙන් සියයට 20කටත් වඩා අඩු ප්‍රමාණයක් බැවින්, ආහාර සොයමින් මිනිසුන් බහුල ප්‍රදේශවලට ඇතුළු වන්නට වන සතුන්ට වැඩි වැඩියෙන් බල කෙරේ.

සංඛ්‍යාලේඛන කණගාටුදායක ය. අලි ඇතුන් දැන් වාසය කරන්නේ ඔවුන් ඓතිහාසික ව වාසය කළ ප්‍රදේශවලින් සියයට 3.5ක ප්‍රමාණයක පමණි. 2011 සහ 2021 කාලය අතරතුර, ගැටුම් හේතුවෙන්, විශේෂයෙන් ඔඩිෂා, ජාර්කන්ඩ්, බටහිර බෙංගාලය සහ කර්ණාටක වැනි අධි අවදානම් සහිත ප්‍රාන්තවල, ආසන්න වශයෙන් පුද්ගලයින් 3,200කට සහ අලි ඇතුන් 1,150ට දිවි අහිමි විය. කේරළයේ පමණක්, 2021 සිට 2025 දක්වා කාලය තුල, මිනිස්-වනජීවි ගැටුම් නිසා සිදු වූ මරණ 344න් 103කට අලි ඇතුන් දායක විය.

මෙම ගැටුම් උග්‍ර කරන ප්‍රධාන සාධකය වන්නේ සංක්‍රමණික මං පෙත් කැබලි කර දැමීමයි. මෙම කැබලි කර දැමීම ඇති කරන්නේ දේශගුණික වෙනස් වීම සහ ආක්‍රමණශීලී සත්ව විශේෂීන් ස්වාභාවික සම්පත් ක්ෂය කර දැමීමත් සමග සිදු වන රේඛීය යටිතල පහසුකම් සහ කෘෂිකාර්මික සංවර්ධනය විසිනි. ගැටුම් ප්‍රදේශවල අලි මරණවලට ප්‍රධාන හේතුව වශයෙන් විදුලි සැර වැදී මිය යෑම ඉස්මතු ව ඇත. දුම්රිය අනතුරු සහ පළි ගැනීම සඳහා වස දීම ඊළඟ ආසන්න හේතුව වශයෙන් පවතී.

වානර ගැටුම් මෙම අර්බුදයේ තවත් මානයක් ඉදිරිපත් කරයි. රීසස් මැකාක් (Rhesus macaques) සහ ලැන්ගුර් (Langurs) බඳු වානර විශේෂීහු තෙලන්ගානා සහ හිමාචල් ප්‍රදේශ් යනාදි ප්‍රාන්තවල සෑහෙන කෘෂිකාර්මික අලාභ හානි ඇති කරයි. නාගරික ප්‍රදේශවල, විශේෂයෙන් නව දිල්ලියේ, වාර්ෂිකව වාර්තා කරන බොහොමයක් පහර දීම් හේතුවෙන් ඔවුන් ගේ පැවැත්ම ආරක්ෂක තර්ජන එල්ල කරයි. මෙම සතුන්ගේ ගහනය කළමනාකරණය කිරීම අරමුණු කර ගෙන නිල තහනම් කිරීම් පනවා තිබුණ ද, සංස්කෘතික වශයෙන් ඔවුන් වෙත වන්දනා මාන කිරීම, මිනිස් වාස භූමිවල දී ඔවුන් පෝෂණය කිරීම ද, එක් රොක් වීම ද දිරිමත් කරයි.

ele4

 

ශ්‍රී ලංකාවේ ඉහළ නැගෙන අර්බුදය

ශ්‍රී ලංකාව වර්තමානයේ, දැඩි වනහරනය සහ උත්සන්න වන මිනිස්-සත්ව ගැටුම් හේතුවෙන් පැන නැගෙන තීරණාත්මක පාරිසරික හා සමාජීය අර්බුදයකට මුහුණ දී සිටී. 1881 දී සියයට 84 ක් වූ ජාතික වන ආවරණය මෑත දශක කිහිපය තුළ සියයට 29.7 ක් දක්වා පහත වැටී ඇත. මෙම විපත්ති දායක අහිමි වීම සිදු වන්නේ ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික, විශේෂයෙන් තේ සහ කෝපි වගා ව්‍යාප්තිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සහ නාගරීකරණය හේතුවෙනි. මේ සියල්ල ස්වාභාවික වාසස්ථාන කැබලි කර දමා ඇත.

අලි ඇතුන් සමග පවතින ගැටුම භයානක මට්ටම් කරා එළඹ ඇත. ශ්‍රී ලංකාව දැන් වැඩිම ගෝලීය අලි මරණ අනුපාතය වාර්තා කරයි. 2025 දී, මෙම ගැටුම් නිසා ආසන්න වශයෙන් අලි ඇතුන් 408ක් සහ මිනිසුන් 149 දෙනකු ගේ ජීවිත අහිමි වූයේ ය. ගැටුම්වලට බොහෝ දුරට හේතුකාරක වන්නේ කෘෂිකාර්මික යෝජනා ක්‍රම සහ මත්තල ගුවන් තොටුපළ බඳු යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් වාසස්ථාන කැබලි කර දැමීම යි. මෙය, ආහාර සොයමින් මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ඇතුල් වන්නට අලි ඇතුන්ට බල කෙරුණි. අලි මරණ සඳහා ප්‍රධාන වන හේතූන් අතරට වෙඩි තැබීම්, විදුලි සැර වැද්දීම් සහ දුම්රිය අනතුරු මෙන් ම, "හක්ක පටස්" නමින් හඳුන්වන වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍යවලින් සිදු කරන තුවාල ද ඇතුළත් වේ.

toque macaque shutterstock 621797099 resize

ටෝක් මැකාක් වර්ගයේ වානරයින් සහ මොනරුන් සම්බන්ධයෙන් වන ගැටුම් ද උත්සන්න වී ඇත. සැලකිය යුතු ආර්ථික පාඩුවලට මං පාදමින් මැකාක් වානරයෝ වැඩි වැඩියෙන් බෝග සහ නිවාස ආක්‍රමණය කරති. මෙයට හේතු කාරක වන්නේ වාසස්ථාන විනාශය සහ මිනිසුන් වසන පරිසරවලට ඔවුන් අද්දා ගන්නා අනිසි අපද්‍රව්‍ය බැහැර කිරීම යි.

ඉහළ නගින මිනිස්-මොනර ගැටුම, වනහරනය සහ වාසස්ථාන වෙනස් කිරීම හේතුවෙන් සැලකිය යුතු පාරිසරික හා කෘෂිකාර්මික ගැටලුවක් ලෙස ඉස්මතු වී ඇත. මෙය, සාම්ප්‍රදායික වාසස්ථානවල සිට ජනාකීර්ණ ප්‍රදේශ වෙත කෙරෙන මොනර සංක්‍රමණය පහසු කරවා ඇත. මොනරු, සංස්කෘතික වශයෙන් වැදගත් වුවද, භෝගවලට හානි කරමින් සහ දේශීය පරිසර පද්ධති කඩාකප්පල් කරමින් ප්‍රධාන කෘෂිකාර්මික උවදුරක් බවට පත්ව තිබේ. යටිතල පහසුකම් පුළුල් කිරීම, ගුවන් ගමන්වල දී මොනරුන් හා සම්බන්ධ පක්ෂි ගැටුම් ආපදා උත්සන්න කර ඇත.

හැඩ ගැසෙන ජාත්‍යන්තර විසඳුම්

2025 දී, වනහරනය සහ මානව-සත්ව ගැටුම් ආමන්ත්‍රණය කිරීම සඳහා වන උපාය මාර්ග, සොබා දහම පාදක කර ගත් දේශගුණික ක්‍රියාමාර්ග සමාජ-ආර්ථික බල ගැන්වීම සමග ඒකාබද්ධ කිරීම අවධාරණය කිරීම ආරම්භ කළේ ය.

කුන්මිං-මොන්ට්‍රියාල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (The Kunming-Montreal Global Biodiversity Framework), 2030 වන විට ලෝකයේ ගොඩ බිමෙන් සහ මුහුදෙන් සියයට 30 ක් රැක ගැනීම සඳහා රටවල් 190ක් කැප වී සිටින ප්‍රධාන මුල පිරීමක් නියෝජනය කරයි. WHO වසංගත ගිවිසුම (The WHO Pandemic Agreement) නීත්‍යනුකූලව බැඳ තබන ගිවිසුමක් ලෙස 2025 මැයි මාසයේ දී සම්මත කළේ ය. මූලාශ්‍රයේ දී ම `සතුන් සහ මිණිසුන් අතර ස්වභාවයෙන් බෝවෙන රෝග වැළැක්වීම ආමන්ත්‍රණය කරමින්, වනහරනය සහ අධි අවදානම් සහගත වනජීවි වෙළඳාම හා සම්බන්ධ "පිටාර ගැලීමේ" හේතු සාධක අවම කිරීම එහි අරමුණයි.

image770x420cropped

යුරෝපීය වනහරන නියාමනය (The EU Deforestation Regulation - EUDR), 2026 දෙසැම්බර් වන විට ප්‍රධාන ක‍්‍රියාකාරිකයින් අනුකූල විය යුතු රාමුවක් ස්ථාපිත කළේ ය. බ්‍රසීලයේ ඩොලර් බිලියන ගණනක වැදගත් මුල පිරීමක්, වන පරිසර පද්ධති නඩත්තු කිරීම වෙනුවෙන් රටවලට ත්‍යාග පිරිනමයි. මෙසේ කරන්නේ ආදිවාසී ජනතාවට සහ දේශීය ජන ප්‍රජාවට සෘජු ලෙස ම සහයෝගය ලබා දීමෙනි. ‘නිවර්තන වනාන්තර සදාතන පහසුකම’ (The Tropical Forests Forever Facility - TFFF) ද, ඒ හා සමානව, දේශීය ජන ප්‍රජාව වෙත යොමු කරන ලද මූල්‍ය මාර්ග තුළින් වන සංරක්ෂණය දිරි ගන්වයි.

බාබඩෝස් බඳු රටවල් "දේශගුණික වශයෙන් ඔරොත්තු දීම වෙනුවෙන් ලබා දෙන ණය" හුවමාරු කර ගැනීම් සමග නව සොයා ගැනීම් සිදු කරමින් සිටිති. එය දේශීය සංරක්ෂණ පරිශ්‍රම සඳහා කරන කැප කිරීම් වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරිපත් කරයි. වෙළඳපොළ පාදක කර ගත් මූල්‍යකරණය, මූලික ප්‍රදානවල සිට විශේෂීන් සුරැකීම  සහ සංරක්ෂණ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරන "බලපෑම් ආයෝජන" කිරීම දක්වා පරිණාමය වෙමින් පවතී.

මිනිස්-සත්ව ගැටුම් අවම කිරීම

භූ දර්ශන මට්ටමේ කළමනාකරණ උපාය මාර්ග, සාම්ප්‍රදායික ආරක්ෂණවාදී ප්‍රවේශවලින් සහජීවන ආකෘති දක්වා පරිණාමය වෙමින් පවතී. ඉන්දියාවේ "2025 වනජීවි සතිය" තේමාව කර ගත් "මානව-වනජීව සහජීවනය", සීමිත උද්‍යානවලට වඩා පුළුල් භූ දර්ශන මගින් වන ජීවීන් කළමනාකරණය කරන කොටි රක්ෂිතවලින් පිටත කොටි (Tigers Outside Tiger Reserves - TOTR) යනාදි ව්‍යාපෘති ඉදිරිපත් කරයි.

දකුණු අප්‍රිකාවේ සාර්ථක ප්‍රවේශ අතරට තර්ජනයට ලක්ව සිටි අලි රංචුවක් ආරක්ෂිත රක්ෂිතයකට ගෙන යෑම සඳහා 2025 දී ගත් මුල් පිරීමක් ඇතුළත් විය. ඒ සඳහා කර පටි තාක්ෂණය, ප්‍රතිශක්තිකරණ-උපත් පාලන ක්‍රම සහ ප්‍රජා නිරීක්ෂණය යොදා ගත්තේය. රයිනෝසිරස් දඩයමට එරෙහිව AI-සක්‍රීය තාප කැමරා යොදා ගන්නා කෙන්යාවේ අධි තාක්ෂණික විසඳුම් පැහැදිලි ලෙස දැක ගත හැකි ය. ඉන්දියාව තත් කාලීනව කොටි නිරීක්ෂණය කිරීම සඳහා M-STrIPES[i] භාවිතා කරයි.

elephant

ආදිවාසී ජනතාව ගෝලීය ජෛව විවිධත්වයෙන් සියයට 80ක් කළමනාකරණය කරන බැවින්, ඔවුන් ගේ අයිතිවාසිකම් නීතිමය වශයෙන් පිළිගැනීම පිරිවැය-ඵලදායී සංරක්ෂණ උපාය මාර්ගයක් ලෙස ඉස්මතු වේ. වනහරනය සමග සම්බන්ධ නිෂ්පාදන වෙළඳපොළට ඇතුළු වීම වැළැක්වීම සඳහා WWF (World Wide Fund for Nature) බඳු සංවිධාන හරක් මස් සහ සම් සඳහා ප්‍රමිති ගත සලකුණු කළ හැකි ක්‍රම සකස් කරමින් සිටිති.

ඉන්දියාවේ 2025 දී සිදු කළ කැපී පෙනෙන ප්‍රතිපත්ති වෙනස්කම් අතරට කොටු වූ වඳුරන් මිනිස් වාසයෙන් අවම වශයෙන් කිලෝමීටර 10ක දුරින් මුදා හැරීම අනිවාර්ය කළ මහාරාෂ්ට්‍ර නියෝගයක් ද ඇතුළත් ය. වඳුරන්ට එතරම් ආකර්ෂණීය කර නොගන්නා ඉඟුරු, කහ හෝ මිරිස් යනාදි විකල්ප භෝග භාවිත කිරීමට ගොවීන් දිරිමත් කෙරේ. චතිස්ගාර් හි කෘත්‍රිම බුද්ධිය පාදක කර ගත් "හති මිත්‍ර ඇප්" (Hathi Mitra App) එක සහ උත්තරාකන්ඩ් හි සංවේදක ඇඟවීම් යනාදි තාක්ෂණික නවෝත්පාදන මගින් සතුන්ගේ ගමන් බිමන් පිළිබඳව ගම්වැසියන්ට අනතුරු අඟවයි.

වන්දි සහ ආපදා කළමනාකරණ අරමුදල් විධිමත් කරමින් කේරළය සහ උත්තර් ප්‍රදේශ් වැනි ප්‍රාන්ත මානව-වනජීවි ගැටුම "රාජ්‍ය-විශේෂිත ව්‍යසනයක්" ලෙස වර්ගීකරණය කර ඇත. සතුන් ගේ පැමිණීම මාරාන්තික නොවන ලෙස වැළැක්වීමට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි වැටවල් සහ ජෛව වැටවල් ඉදි කිරීමේ ශිල්පීය ක්‍රම බඳු භෞතික ආකාරයේ බාධක වැඩි දියුණු කර ඇත. මිනිස්-සත්ව ගැටුම් අවම කිරීම සඳහා පර්යේෂණ මගින් දැනුවත් කරන ලද උපාය මාර්ග සපයා දීම, මානව-වනජීවි ගැටුම් කළමනාකරණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ (Centre of Excellence for Human-Wildlife Conflict Management) අරමුණ වෙයි.

Elephant human conflicts large

නිගමනය: ගෝලීය විසඳුම් අවශ්‍ය කරන ගෝලීය අභියෝගයක්

වනහරනය සහ මානව-සත්ව ගැටුමේ එකිනෙකට බැඳී තිබෙන අර්බුද අපගේ කාලයේ වඩාත්ම දැවෙන අභියෝගවලින් එකකි. ඇමසන් වනාන්තරයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දක්වා පවතින ගැටුම්වල රටාව, කනස්සල්ලට කාරණයක් වෙමින්, ස්ථාවරව පවතී. වනාන්තර අතුරුදන් වන විට දෙපාර්ශවයට ම මාරාන්තික වන ගැටුම් ඇති කරවමින් වනජීවීන්ට සහ මිනිසුන්ට වඩා සමීප වීමට බල කෙරෙයි.

ජාත්‍යන්තර ප්‍රජාව ‘30x30 මුලපිරීම’ (The "30x30 Initiative")[ii] සහ WHO වසංගත ගිවිසුම (WHO Pandemic Agreement) බඳු මහත් අපේක්ෂාවෙන් යුත් ප්‍රතිපත්ති රාමු යොදා ගනිමින් ප්‍රතිචාර දැක්වීම අරඹා ඇත. මේවායින් නියෝජනය කරන්නේ වනාන්තර සංරක්ෂණය සහ වනජීවි ආරක්ෂාව හුදෙක් පාරිසරික ගැට‍ලු පමණක් නොවන බව පිළිගැනීම යි. ඒවා මානව පැවැත්ම, ආර්ථික ස්ථාවරත්වය සහ ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතතාව සමග අදාළ වන කරුණු වේ.

එහෙත් ප්‍රතිපත්ති රාමු පමණක් ප්‍රමාණවත් නොවේ. බිම් මට්ටමෙන් මතු වන විසඳුම්, ප්‍රජා පාදක කළමනාකරණය, ස්වදේශික ජනයාගේ අයිතිවාසිකම් පිළිගැනීම, පූර්ව අනතුරු ඇඟවීම් සඳහා තාක්ෂණික නවෝත්පාදන යොදා ගැනීම සහ සංරක්ෂණය සඳහා ආර්ථික දිරිගැන්වීම් ලබා දීම මගින් පෙන්වා දෙන්නේ දේශපාලන අධිෂ්ඨානය ප්‍රායෝගික ක්‍රියාමාර්ග හා එකට මුණ ගැසෙන විට සපුරා ගත හැකි දේ යි.

මෙම ගෝලීය රටා පරීක්ෂා කිරීමෙන් උකහා ගත හැකි ප්‍රධාන පාඩම වන්නේ මිනිස්-සත්ව ගැටුම මූලික වශයෙන් වනජීවි ගැටලුවක් නොවන බව යි. එය ඉඩම් පරිහරණය කිරීම පිළිබඳ ගැට‍ලුවක්, සංවර්ධන ගැට‍ලුවක් සහ අවසානයේ මානවයා ගේ ගැට‍ලුවක් වන බව යි. සතුන්ට හැකි හැම තැනක ම ආහාර සහ භූමි ප්‍රදේශ සෙවීමෙන් ඔවුහු සිය වාසස්ථාන අහිමි වීමට සරල ලෙස ප්‍රතිචාර දක්වමින් සිටිති. විසඳුම රැඳී ඇත්තේ වනජීවි ගහනය පාලනය කිරීම තුළ ම පමණක් නොව, වාසස්ථාන ප්‍රතිස්ථාපනය කිරීම, මං පෙත් නඩත්තු කිරීම සහ මානව සංවර්ධනය සියලු ජීවීන් පවත්වා ගෙන යන ස්වාභාවික පද්ධති සමග සහජීවනයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න මූලික වශයෙන් යළි සිතා බැලීම තුළ ය.

ශ්‍රී ලංකාවට මෙම ජාත්‍යන්තර ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරු ඇඟවීමක් මෙන්ම බලාපොරොත්තුවක් ද ලැබේ. අනතුරු හැඟවීම වන්නේ තීරණාත්මක ක්‍රියාමාර්ගයකින් තොරව වනාන්තර තවදුරටත් හැකිළී යාමත් සමග ගැටුම් දිගටම උත්සන්න වන බවයි. බලාපොරොත්තුව වන්නේ ප්‍රජා පාදක වැටවල් කළමනාකරණය කිරීමේ සිට වාසභූමි ප්‍රතිස්ථාපනය කිරීම සහ කෘත්‍රිම බුද්ධි-සක්‍රීය පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති දක්වා වන ප්‍රත්‍යක්ෂ වූ විසඳුම් පවතින බවයි. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව, මිනිස් සහ සත්ව යන දෙපාර්ශ්වයේ ම තවත් ජීවිත අහිමි වන්නට පෙර ගෝලීය අත්දැකීම්වලින් පාඩම් උකහා ගෙන මෙම විසඳුම් ක්‍රියාත්මක කරයි ද යන්නයි.

 

ලයනල් බෝපගේ

2025 දෙසැම්බර් 29 වන දා

[1] මෙය සුරතල් සතුන්, පශූ සම්පත් සහ වනජීවීන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට ස්වාභාවික ව පැතිරෙන රෝග හා සම්බන්ධව වේ. බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් සහ දිලීර ඇතුළු රෝග කාරක මගින් සම්ප්‍රේෂණය සිදු වේ. මහජන සෞඛ්‍යයට බරපතළ අවදානම් ඇති කරමින් හා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාමින් එම රෝග සෘජු සම්බන්ධතා, දූෂිත ආහාර හෝ ජලය හෝ පරිසරය මගින් පැතිර යා හැකිය.

[1] කොකා යන්න සාම්ප්‍රදායික වශයෙන් මෘදු උත්තේජනය සඳහා සහ නීති විරෝධී කොකේන් ප්‍රභවයක් ලෙස යොදා ගන්නා, කොකේන් අඩංගු, දකුණු ඇමරිකානු ශාක පවුලක පත්‍ර සමඟ මූලික වශයෙන් සම්බන්ධ වේ.

[1] පාලනයේ බිඳවැටීමෙන් සහ, පැවැත්ම හා යුද මූල්‍යකරණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් මත යැපීම හේතුවෙන් සන්නද්ධ ගැටුම් වනහරනය උත්සන්න කරයි. නියාමනය නොකල වනහරනය සහ පරිසර දූෂණය ඇති කරවමින්, සන්නද්ධ කණ්ඩායම් දැව හා ඛනිජ වැනි සම්පත් උකහා ගනියි. ගැටුම් හේතුවෙන් ඇති වන සරණාගත ජනාවාස හේතුවෙන් දේශීය වනාන්තර පීඩාවට පත් වන අතර, නීති විරෝධී දැව කැපීම් සහ පතල් කැණීම් නියාමනයකින් තොරව දිගටම ප්‍රබල ලෙස සිදු වේ. යුද ක්‍රියා මාර්ග බොහෝ අවස්තාවල දී උපාය මාර්ගික අරමුණු වෙනුවෙන් වනාන්තර ශුද්ධ කර දැමීම් යොදා ගනී. මිනිසුන් ආපසු නිවෙස් බලා පැමිණෙන විට ගොවිතැන් කිරීමේ වුවමනාවන් වර්ධනය වන හෙයින් යුද්ධයකින් පසු වනහරන අනුපාතය ඉහළ යයි. දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීම උත්සන්න කරවන මෙම වෙනස්කම් තිරසාර සංවර්ධනයේ ආපසු හැරීමක් සනිටුහන් කරයි.

[1] වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) විසින් මෙහෙයවන ලද කේරළයේ ප්‍රගතිශීලී ආණ්ඩුව 2021 දී යලි තේරී පත් විය. එය ක්‍රියාත්මක වන්නේ ඒකීය රාජ්‍යයකට වඩාත් නැඹුරු වූ ඉන්දියාවේ අර්ධ හෝ අර්ධ-ෆෙඩරල් ක්‍රමය යටතේ ය. එය ෆෙඩරල් සහ ඒකීය ක්‍රමය යන දෙකෙහි ම ලක්ෂණ අඩංගු කර ගනී. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන වගන්තියේ සඳහන් වන්නේ ඉන්දියාව හෙවත් භාරතය ප්‍රාන්ත රාජ්‍ය සංගමයක් වන බවයි.

[1] ශ්‍රී ලංකාවේ, "රිලව්" (රිළව්) යන යෙදුම විශේෂයෙන් ඉන්දියාවේ දක්නට ලැබෙන රීසස් මැකේක් වානරයන්ගෙන් වෙන් කර හඳුනා ගත හැකි ටෝක් මැකේක් (මැකාකා සිනිකා) වානරයන් හා සම්බන්ධව වෙයි. "රීසස්" යන නම මිථ්‍යා කථා තුල මුල් බැස ගෙන ඇති බව සැලකේ. ඊට අමතරව, ලැන්ගුර් ලෙස හඳුන්වන ආසියානු කොළ කන වඳුරන් පැරණි ලෝක වඳුරු පවුල තුළ වන කොලොබිනේ නමැති උප පවුලේ කොටසකි. ශ්‍රී ලංකාවේ, සුවිශේෂ වානර විශේෂීන් අතරට හැලි වඳුරා හෝ අළු වඳුරා ලෙසින් හඳුන්වනු ලබන ටෆ්ටඩ් ග්‍රේ ලැන්ගුර් සහ කළු වඳුරා ලෙස හඳුන්වන දම් පැහැති මුහුණැති ලැන්ගුර් ද ඇතුළත් වේ.

[1] M-STrIPES (කොටින් සඳහා යොදා ගන්නා අධීක්ෂණ පද්ධතිය - දැඩි ආරක්ෂණ සහ පාරිසරික තත්ත්වය) යනු සංරක්ෂණය උදෙසා මුර සංචාර සහ වනජීවි දත්ත නිරීක්ෂණය කිරීමට GPS/GIS භාවිතා කරමින් කොටි රක්ෂිතවල කොටි සහ වාසස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාවේ යොදා ගන්නා ඉතා වැදගත් ජංගම දුරකථන පාදක කර ගත් පද්ධතියකි.

[1] "30x30 මුල පිරීම", වසර 2030 වන විට ගොඩ බිම සහ සාගරවලින් සියයට 30 ක් රැක ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාන්තා නියෝජනය සියයට 30 දක්වා ඉහළ නැංවීම යන වැදගත් ගෝලීය ව්‍යාපාර දෙකකින් සමන්විත වේ. මෙම මුල පිරීම්, පුළුල් ජාත්‍යන්තර ගිවිසුම් සමඟ, විශේෂයෙන් කුන්මිං - මොන්ට්‍රියල් රාමුව සමග සම්බන්ධ වන්නේය.

 

[i] M-STrIPES (කොටින් සඳහා යොදා ගන්නා අධීක්ෂණ පද්ධතිය - දැඩි ආරක්ෂණ සහ පාරිසරික තත්ත්වය) යනු සංරක්ෂණය උදෙසා මුර සංචාර සහ වනජීවි දත්ත නිරීක්ෂණය කිරීමට GPS/GIS භාවිතා කරමින් කොටි රක්ෂිතවල කොටි සහ වාසස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාවේ යොදා ගන්නා ඉතා වැදගත් ජංගම දුරකථන පාදක කර ගත් පද්ධතියකි.

[ii] "30x30 මුල පිරීම", වසර 2030 වන විට ගොඩ බිම සහ සාගරවලින් සියයට 30 ක් රැක ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාන්තා නියෝජනය සියයට 30 දක්වා ඉහළ නැංවීම යන වැදගත් ගෝලීය ව්‍යාපාර දෙකකින් සමන්විත වේ. මෙම මුල පිරීම්, පුළුල් ජාත්‍යන්තර ගිවිසුම් සමඟ, විශේෂයෙන් කුන්මිං - මොන්ට්‍රියල් රාමුව සමග සම්බන්ධ වන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න