අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක පොතක් ගන්න යන වියදමෙන් එදා යුරෝපයේ ලොකු මිදි වත්තක් නැත්නම් මාලිගාවක් වගේ ලස්සන ගෙයක් ගන්න පුළුවන්කම තිබුණා.
"ඇයි ඒ..?"
මොකද එදා පොත් අච්චු ගැහුවේ නැහැ. හැම අකුරක් ම, හැම පේළියක්ම අතින් ලියන්න වුණා. උදාහරණයට එක බයිබලයක් අතින් පිටපත් කරන්න එක ලේඛකයෙකුට අවුරුදු තුනකට වඩා කාලයක් ගතවුණා. ඉතින් දැනුම කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති දෙයක් නෙවෙයි, ඒක ප්‍රභූ පෙළැන්තියටයි, පල්ලියටයි විතරක් සීමා වුණු රන් වගේ වටිනා "සුඛෝපභෝගී" භාණ්ඩයක් වුණා.
අන්න ඒ අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු එක්තරා මිනිසෙක් ගැනයි මේ කතාව. ඒ ජර්මනියේ මේන්ස් නුවර ජීවත් වුණු රන්කරුවෙක්!
වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම

ගුටෙන්බර්ග් කියන්නේ නිකම්ම නව නිපැයුම්කරුවෙක් නෙවෙයි. ඔහු දැවැන්ත දැක්මක් තිබුණු මිනිසෙක්. ප්‍රභූවරුන් කියන දේ විතරක් අහගෙන, අඳුරේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ට දැනුම බෙදා දෙන්න ඔහුට ලොකු වුවමනාවක් තිබුණා. මේ වෙනුවෙන් ඔහු තමන් සතු හැම දෙයක්ම පරදුවට තැබුවා. විශාල වශයෙන් ණය ගත්තා. තමන්ගේ නම වගේම ජීවිතයම මේ වෙනුවෙන් කැප කළා. ඔහු කළේ පුදුම දෙයක්.
එදා මිදි යුෂ මිරිකන්න පාවිච්චි කරපු "Wine Press" එක නැත්නම් වයින් පීඩන යන්ත්‍රය, ඔහු තොරතුරු මුද්‍රණය කරන මැෂිමක් බවට පත් කළා! ඒක ලේසි වැඩක් වුණේ නැහැ. වතුර පදනම් කරගත් තීන්ත හරියන්නේ නැති නිසා ඔහු තෙල් පදනම් කරගත් විශේෂ තීන්ත වර්ගයක් හැදුවා. ඊට පස්සේ ලෙඩ්, ටින් සහ ඇන්ටිමනි එකතු කරලා විශේෂ ලෝහ මිශ්‍රණයකින් අකුරු අච්චු හැදුවා. ඒත් හැම අකුරක් ම එක සමාන ප්‍රමාණයේ වෙන්න ඕනෙ. යොදන පීඩනය නිවැරදි වෙන්න ඕනෙ. අවුරුදු ගණනාවක අසාර්ථකවීම්වලින් පස්සේ, 1455 දී ඔහු ලෝකයේ පළමු වතාවට අච්චු ගැසූ බයිබලය නැත්නම් 'Gutenberg Bible' එළිදැක්වූවා.
ඔන්න මීට කලින් ලේඛකයෙක් අවුරුදු 3ක් තිස්සේ ලියපු පොත, දැන් ගුටෙන්බර්ග්ගේ වැඩපොළේ සති කිහිපයකින් පිටපත් සිය ගණනක් විදිහට එළියට ආවා. මේක නිකම්ම පොතක් මුද්‍රණය කිරීමක් නෙවෙයි, ඒක "හැකියාවන්" මුද්‍රණය කිරීමක්!
මුද්‍රණය කර්මාන්තයක් ලෙස
ගුටෙන්බර්ග්ගේ මේ සොයා ගැනීම නිසා, විද්‍යාඥයන් ගේ සොයා ගැනීම් ලෝකය පුරා වේගයෙන් පැතිරුණා. මිනිස්සුන්ට තමන්ගේම භාෂාවෙන් ආගමික ග්‍රන්ථ කියවලා ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබුණා. ඇයි නූතන අධ්‍යාපනය! සාමාන්‍ය මිනිහගේ දරුවාටත් අකුරු කියවන්න, පොතක් පතක් ලැබුණේ මේ නිසයි. හැබැයි බොහෝ දෙනෙක් තර්ක කරන දෙයක් තමයි 800 ගණන්වල චීනයේත්, 1200 ගණන්වල කොරියාවේත් මුද්‍රණ ශිල්පය තිබුණා නේද කියන එක?
ඒක ඇත්ත!
ඒත් ගුටෙන්බර්ග් ගේ විශේෂත්වය වුණේ ඔහු මේක "කාර්මික ක්‍රියාවලියක්" බවට පත් කිරීම. චීන භාෂාව වගේ දහස් ගණන් සංකේත තියෙන භාෂාවලට වඩා, අකුරු 26ක් වගේ තියෙන ලතින් හෝ ඉංග්‍රීසි වැනි හෝඩියක් සහිත භාෂාවලට ගුටෙන්බර්ග්ගේ එහා මෙහා කළ හැකි අකුරු අච්චු ක්‍රමය ඉතාම කාර්යක්ෂම වුණා. ඔහු අකුරු අච්චු ලෝහ වලින් හදලා, ඒවා දිය කරලා ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කළා. මේ තාක්ෂණික දියුණුව තමයි අද අපි දකින අධිවේගී මුද්‍රණ යන්ත්‍ර දක්වා විකාශනය වුණේ.
යාචකයකු ලෙස මිය ගිය නිර්මාණකරුවා

ඒක නෙවෙයි, ලෝකයම වෙනස් කරපු මිනිහා අන්තිමට මියගියේ සතේ අතේ නැති හිඟන්නෙක් විදිහට කියලා ඔබ දන්නවද? ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම ඛේදවාචකය..
'ගුටෙන්බර්ග්' මේ පර්යේෂණ කරන්න ණය ගත්තේ ජොහාන් ෆස්ට් කියන සල්ලිකාර ව්‍යාපාරිකයා ගෙන්. බයිබලයේ වැඩ අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, ෆස්ට් විසින් ගුටෙන්බර්ග්ට විරුද්ධව නඩු පැවරුවා තමන්ගේ ණය මුදල් ආපහු ඉල්ලලා.
අන්තිමේදී උසාවිය තීන්දුව දුන්නේ ගුටෙන්බර්ග්ට විරුද්ධවයි. තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරලා හදපු මුද්‍රණ යන්ත්‍ර, අච්චු සහ අර්ධ වශයෙන් නිම කරපු බයිබල් පිටපත් ඔක්කොම ෆස්ට් විසින් අත්පත් කරගත්තා..
තමන් ලෝකයට දායාද කරපු මහා වස්තුවෙන් සතයක්වත් හම්බ කරගන්න ගුටෙන්බර්ග්ට ලැබුණේ නැහැ. ඔහු 1468 දී මියගියේ ඉතාම අසරණව. තමන් පත්තු කරපු මේ පුංචි ගිනි පුපුර දවසක මුළු ලෝකයම ආලෝකමත් කරන මහා පන්දමක් වෙයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති!
සත්‍ය වටහා ගැනීමට විවිර කළ මාර්ගය
අද කාලේ සමහරු හිතනවා පල්ලියෙන් බයිබලය මුද්‍රණය කරන එකට විරුද්ධ වුණා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. ගුටෙන්බර්ග් කියන්නේ දැඩි බැතිමතෙක්. ඔහු මුලින් ම බයිබලය මුද්‍රණය කරන්න පල්ලියේ අනුමැතිය පවා ලබාගත්තා. එදා පල්ලිය දැනුම තමන්ගේ පාලනය යටතේ තියාගන්න උත්සාහ කළා තමයි, ඒත් ඒ කාලේ යුරෝපයේ බහුතරය කතෝලිකයින් නිසාත්, ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ තාම පටන්ගෙන නොතිබුණු නිසාත් බයිබලය මුද්‍රණය කිරීම පල්ලියට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් ගුටෙන්බර්ග් කරපු දේ නිසා මිනිස්සුන්ට පූජකයින් කියන දේ විතරක් නෙවෙයි, තමන්ම කියවලා සත්‍යය වටහාගන්න පාර කැපුණා. ඒක තමයි වැදගත්ම දේ.
අද අපි දැනුම ගොඩක් සුළුවට තකනවා. හැම දෙයක්ම ඇඟිලි තුඩේ තියෙන නිසා අපිට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒත් මතක තබා ගන්න, අද ඔයා ෆේස්බුක් එකේ කියවන එක වාක්‍යයක් පිටුපසත්, 1448 දී තමන්ගේ මුළු ජීවිතයම පරදුවට තියපු ජර්මන් ජාතික රන්කරුවෙකුගේ දහඩිය සහ කඳුළු තියෙනවා.
අතීතයේ මිනිස්සු අඳුරේ හිටියේ දැනුම නැතිකම නිසා. ඒත් අද කාලේ සමහර මිනිස්සු අඳුරේ ඉන්නේ ඕනෑවට වඩා තොරතුරු තිබුණත් ඒවා නිවැරදිව තෝරා බේරා ගන්න දන්නේ නැති නිසා. ගුටෙන්බර්ග් අපිට "කියවීමේ බලය" දුන්නා. ඒ බලය පාවිච්චි කරලා ලෝකය දකින්න උත්සාහ කරන එක අපේ වගකීමක්.
මිදි යුෂ වෙනුවට දැනුම මිරිකා ගැනීම
මේ කතාවේ අපි තවත් ගැඹුරට ගියොත්, ගුටෙන්බර්ග් මුද්‍රණය කළේ "අකුරු" වුවත් දන්නවද? ඔහු ඇත්තටම කළේ විශ්වයේ සැඟවුණු එක්තරා න්‍යායක් ක්‍රියාවට නැංවීම! තාඕ දහමේ පියා වන ලාඕට්සු පැවසුවේ "තාඕ" යනු සොබාදහමේ රිද්මය බව. ඔහු විශ්වාස කළේ බලහත්කාරයෙන් යමක් කරනවාට වඩා, පවතින දේ වෙනත් අරමුණක් සඳහා නම්‍යශීලීව යොදා ගැනීම වැදගත් බව!
ගුටෙන්බර්ග් කළේ ද එයමයි. ඔහු අලුත්ම යන්ත්‍රයක් බිහිකරන්නට වෙහෙසෙනවාට වඩා, මිදි යුෂ මිරිකීමට පාවිච්චි කළ "වයින් ප්‍රෙස්" එකක මෘදු ගලායාම දෙස බැලුවා. මිදි යුෂ වෙනුවට "දැනුම" ඉන් මිරිකා ගත හැකි බව ඔහු තේරුම් ගත්තා.
මහා යෝගිවරයා
ඔව්, ගුටෙන්බර්ග් අන්තිමේදී දිළින්දෙකු ලෙස මියගිය බව දැන් අප දන්නවා. ලෞකික ඇසින් බලන විට ඔහු අසාර්ථකයි. නමුත් ඔහු ලෝකය තුළ මහා "හිස්තැනක්" පිරෙව්වා. ඒ නිසා ගුටෙන්බර්ග් යනු බටහිර ඇසින් කාර්මිකයෙකු පමණයි. ඒත් ඔහු නොදැනුවත්වම පෙරදිග දර්ශනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ මහා යෝගිවරයෙක්. ඔබ අද කියවන මේ සටහන ද නිකම්ම අකුරු පෙළක් නොවේ. මෙය ගුටෙන්බර්ග්ගේ කැපවීමත්, පෙරදිග ඉපැරණි ප්‍රඥාවත් එකට මුණගැසෙන තැනක්.
අපි හැමෝම ජීවිතයේ යම් යම් අවස්ථා වලදී "පීඩනයට" ලක් වෙනවා. රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නැත්නම් පෞද්ගලික සබඳතා. ගුටෙන්බර්ග් එදා වයින් මැෂිමෙන් මිදි මිරිකද්දී දැක්කේ පීඩනය හරහා යම් වටිනා දෙයක් එළියට එන ආකාරයය. අපටත් අපේ මානසික පීඩනයත් "ප්‍රඥාව" බවට පත් කරගන්න පුළුවන්!
සිතුවිලි සමග පැටලීමෙන් වළකින්න
1. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයේ වැදගත්ම දේ තමයි එකිනෙකට වෙනස් අකුරු අච්චු දහස් ගණනක් තිබීම. ඔහුට ඒ අකුරු මිශ්‍ර නොවී වෙන් කර හඳුනාගැනීමේ හැකියාව තිබුණා. ඔබත් ඔබේ හිතට පීඩනයක් දැනෙන වෙලාවට ඇස් පියාගෙන ඔබේ සිතුවිලි දෙස බලන්න. "මම පීඩාවට පත්වෙලා" කියනවා වෙනුවට, ඒ පීඩාව දෙස "අකුරු අච්චු" දෙස බලනවා වගේ බලන්න. බය, කේන්තිය, පසුතැවීම මේවා වෙන වෙනම හඳුනාගන්න. ඔබ මේ සිතුවිලි නොවෙයි, ඔබ මේ සිතුවිලි දෙස බලා සිටින "සාක්ෂිකරුවා" පමණයි. ප්‍රතිඵලය! ඔබ සිතුවිලි සමඟ පටලැවෙන්නේ නැති නිසා සිතේ නොසන්සුන් බව ක්ෂණිකව අඩු වෙනවා.
2. මිදි ගෙඩියක් වයින් මැෂිමකට අහුවුණාම ඒක පීඩනයට විරුද්ධ වෙන්නේ නැහැ, ඒ වෙනුවට තමන් සතු වටිනාම දේ (යුෂ) මුදා හරිනවා. ජීවිතයේ යම් ප්‍රශ්නයක් ආ විට එයට මානසිකව එරෙහි වී තවත් පීඩනයක් ඇති කරගන්න එපා, ඒ ප්‍රශ්නය ඔබේ ජීවිතයට ආ මොහොතේ ඒ පීඩනය ශරීරයේ කොතැනටද දැනෙන්නේ කියලා බලන්න. පපුවේ බරක්ද? ඔළුවේ කැක්කුමක්ද? දැන් එම දැනීමට එරෙහි නොවී, "හරි, මට මේ පීඩනය දැනෙනවා, ඒකට ඉඩ දෙනවා" කියලා හිතන්න. ඔබ පීඩනයට එරෙහි වීම නැවැත්වූ සැණින්, ඒ පීඩනය මානසික ආතතියක් බවට පත්වීම නතර වී, නිර්මාණශීලී විසඳුම් සිතට ගලා එන්න පටන් ගන්නවා.
හිස්බව තුළින් අලුත් පිටුවක්
3. ගුටෙන්බර්ග් එක පිටුවක් මුද්‍රණය කර අවසන් වූ පසු, යන්ත්‍රය නැවත "හිස්" කළ යුතුයි. ඊළඟ පිටුව මුද්‍රණය කළ හැක්කේ එවිටයි. ඔබත් සෑම රාත්‍රියක ම නින්දට පෙර, එදා දවසේ වුණු හොඳ නරක සියල්ල "මුද්‍රණය වී අවසන් වූ පිටුවක්" ලෙස සලකන්න. තාඕ දහමේ පවසන පරිදි ඔබේ මනස හිස් බඳුනක් බවට පත් කරන්න. "අද දවස අවසන්, මම දැන් හිස් අවකාශයක්" යනුවෙන් සිතමින් හුස්ම පිට කරන්න.
4. ඔබ පොතක් හෝ ෆේස්බුක් පෝස්ට් එකක් කියවද්දී, ගුටෙන්බර්ග් ඇතුළු යෝගීන් මේ අකුරු වෙනුවෙන් විඳපු දුක මතක් කරන්න. ඔවුන්ට ස්තුතිවන්ත වන්න. එවිට ඔබ කියවන දේ වඩාත් ගැඹුරින් හිතට කා වදීවි. ඔව් මේ ලිපිය කියවා අවසානයේ, මේ දැන් වුනත් ඒ පුරුද්ද නම් ඔබට ආරම්භ කරන්න පුළුවන්.
Sagara Diyagama

