ලංකාවේ පළමු කතානාද චිත්‍රපටය 'කඩවුණු පොරොන්දුව' නොවේ

ලංකාවේ පළමු කතානාද චිත්‍රපටය 'කඩවුණු පොරොන්දුව' නොවේ

ලංකාවේ පළවෙනි චිත්‍රපට තුනට ම මගේ සීයා 40-50 දශකයේදී මුදල් යොදවා ඇත.

ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ භාණ්ඩාගාරික ධුරය ද දරා ඇත. එතුමා ගේ නම සුබසිංහ ආරච්චිගේ තියදෝරිස් අප්පුහාමි වන අතර, සීයා: එඩී ජයමාන්න සහ බී. ඒ. ඩබ්ලියු. ජයමාන්න යන කලාකරුවන් ගේ මස්සිනා ය.

thiyadorisor1 තියදෝරිස් අප්පුහාමි

චිත්‍රපට මුදල් ගෝණි ගණන්

නිව් හඩ්සන් කාර් යොදවමින් ශ්‍රී ලංකා වරායේ පළමු කුලී රථ සේවය ආරම්භ කළේ මගේ සීයා ය. ඒ කාලයේ චිත්‍රපටිවල සල්ලි ගෝනිවලින් ගෙනවිත් පැදුරු එළා සමහර දවස්වලට මුළු රාත්‍රියේ ම: එඩී ජයමාන්න සහ බී. ඒ. ඩබ්ලියු. ජයමාන්න සහ රුක්මණී දේවිය යන කලාකරුවන් ගෙදර සේවකයින් ද එක්ව ගණින බව මගේ ආච්චි අම්මා කියනවා මා අසා තිබෙනවා.

පළමු චිත්‍රපටය 'කැලෑ හඳ'යි

ලංකාවේ පළමු කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව නොවේ. එය පළමුවරට තිරගත වූ චිත්‍රපටය යි. පළමු චිත්‍රපටය 'කැලෑහඳ' චිත්‍රපටය යි. නමුත් කිසිම ලාංකිකයෙක් එය නරඹා නැත. ලංකාව නැරඹුවේ දෙවන වර නිෂ්පාදනය කළ 'කැලෑහඳ ' චිත්‍රපටය යි. මගේ සියා මේ චිත්‍රපට සියල්ල ම නිෂ්පාදනය සඳහා ජයමාන්න පවුලේ අය සම එක්ව මුදල් යොදවා ඇත.

'හෝ ගියේ මේ ගංගා ජලාශේ ' ගීතයට නිමිත්ත

සීයා කඳවල කටානේ මීගමුවේ ය, ආච්චි සමග විවාහයෙන් පසු මාදම්පෙ  පදිංචියට ගොස් ඇත. මගේ සීයා ගේ අක්කා (නුවර ඇන්ටි) කසාද බැන්දේ එඩී ජයමාන්න ගේ සහ බී. ඒ. ඩබ්ලියු. ජයමාන්න ගේ වැඩිමහල් සොයුරු ඔස්ටින් ජයමාන්න ය. නුවර ඇන්ටී ගේ දියණිය (රාන්ගි ජයමාන්න) මහනුවර මහවැලි ගඟේ ගසාගෙන ගියතම සොයුරාව බේරාගන්නට ගොස් දියේ ගිලී මිය ගියා ය.

එම හේතුවෙන් සත් දවසේ දානය පැවති මොහොතේ සියල්ලෝ ම මද්දහනයේ දී ගුවන්විදුලියට සවන් දුන් රුක්මනී දේවිය ගයන 'හෝ ගියේ මේ ගංගා ජලාශේ ' ගීතය නිර්මාණය කර නිකුත් කළාය .ඇය එය ගයා පසුව දවල් දානයට පැමිණි බව මගේ පියා මා සමග පවසා ඇත. මගේ තාත්තා පැවසුවේ 'කැලෑ හඳ' චිත්‍රපයට ද මුලින් කළ නිර්මාණය ඉන්දියාවට ගෙවිය යුතු බදු මුදලක් ගෙවීමට අපොහොසත් වී ලංකාවේ පෙන්වීමට නොහැකි වූ බව යි. එවකට රුක්මණී දේවි, එඩි ජයමාන්න ඇතුළු පිරිස හොරෙන් කෝච්චියෙන් පලා ආ බව කිය යි.

thiya1සියා, ආච්චී සහ මිත්තනිය, සියා ගේ සහ ආච්චි ගේ පළමු දරුවා සමග

කඩවුණු පොරොන්දුව කඩනොවුණු විදිය

මා ඉන්දියාවේ සිටි සමයේ දිනක් මෙම චිත්‍රපටියේ කොපියක් ඇත්දැයි සෙවීමට 'මදුරෙ ' ප්‍රදේශයට මිතුරන් පිරිසක් සමග ගිය ද එම චිත්‍රපට සමාගම දැන් නැති බව දැනගන්නට ලැබුණි. මුල් 'කැලෑහඳ' අසාර්ථක වුණු පසු මගේ සීයා අත්‍යවශ්‍ය මොහොතක දී කඩවුණු පොරොන්දුව චිත්‍රපටියට මුදල් ආයෝජනය කොට එයට අත්‍යවශ්‍ය අරමුදල් නොසැපයුවේ නම් ශ්‍රී ලාංකීය සිනමාවේ කතාව බොහෝ වෙනස් විය හැකිව තිබුණු බව එවකට ජීවත්ව සිටි වැඩිහිටියන් සහ මගේ ඥාතීන් කතාබහ කරනු කුඩා කල සිට මට අසන්නට ලැබුණි. අවාසනාවට මා එක දවසක් හෝ මගේ සියා දැක නැත. ඔහු මියගියේ 1969 දී ය; මා ඉපදෙන්නේ 1979 දී ය.

ed1දිනේශ් ගේ මව සහ පියාගේ විවාහ උත්සවයට පැමිණි රුක්මණී - ජයමාන්න යුවළ

 

නිවුණු මිනිසෙක්

ජනප්‍රිය සංගීතවේදීන් වන ජය ශ්‍රි රෝහිත /රොහාන් මගේ සීයාගේ දියණියකගේ පුත්‍රයන්ය .ඔවුන් දෙදෙනා පුංචි බයිසිකලයක සෙල්ලම් කරමින් සිටිනු දැක සතුටු වෙමින් සිට ටික වෙලාවක් යන විට සීයා දෑස පිය ගත්තේය ,එවිට ඔහුගේ නහරයක් පුපුරා ගොස් ඇති බව ඥාතීන් මට කියා ඇත. සියා දශමයක හෝ දුකක් නොමැති, ඉතා සුබ මරණයක් ලැබු බව මගේ දෙමාපියෝ සහ ඥාතිහු පවසති.

මගේ සීයාට දේවමාතාවන් වහන්සේ සියැසින් දර්ශනය වීමක් පිළිබඳව ද බොහෝ අය පවසති. රාත්‍රියක දේවතා එළියක් පැමිණි බවත්, ඔහු එය බැලීම සඳහා හැම දෙනාට ම 'වරෙල්ලා මෙහෙ වරෙල්ලා,' යැයි කියන විට එය නැතිවී ගිය බව බොහෝ දෙනා පවසති. ඔහු කතෝලික දේව මාතා භක්තිකයෙකි. කෙසේ හෝ එම පළාතේ දේවතා එළියක් හෝ කිසියම් දෙයක් ඔහු දක්නට ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි.

මගේ සියා ද මගේ පියා මෙන් ම ඉතා නිවුණු මිනිසෙකි. කිසිම දිනක රණ්ඩු දබරවලට නොගියේ ය. අද මට මෙය ලාංකීය සමාජයට ගෞරවයෙන් ගෙනහැර දැක්වීමට හැකිවීම සියා වෙනුවෙන් මා හට කළ හැකි මහා පිංකමකි. චිත්‍රපට සංස්ථාවේ දී මෙවර 79 වන සිනමා උළෙල පැවැත්වූ මොහොතේ සියා පිළිබඳ මේ පුවත පළමු වරට හෙළි කිරීමට මට හැකි විය.

 

 

dinesh1 දිනේෂ් සුබසිංහ

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න