විධාන ප්‍රාග්ධනය විසින් මෙහෙයවන නව පාලක පන්තියක්

විධාන ප්‍රාග්ධනය විසින් මෙහෙයවන නව පාලක පන්තියක්

ගූගල් මැප්ස් (Google Maps) සහිත අපේ ස්මාට් ජංගම දුරකතනය රැගෙන අපි එහා මෙහා යන සෑම අවස්ථාවක ම, අප සිටින්නේ කොතැන දැයි ගූගල් ආයතනය දැනගනී.

එය ඔවුන් ගේ ප්‍රාග්ධනය (Capital) වැඩි කරයි. අප ඔවුන් වෙනුවෙන් වැඩ කරන බව අපටවත් නොදැනෙන අයුරින්, අපව වැටුප් නොලබන ශ්‍රමිකයන් බවට පත් කරමින් ඔවුන් ගේ ප්‍රාග්ධනයේ කොටසක් නිෂ්පාදනය කරවා ගැනීමට ඔවුන්ට බලය ඇත.

ධනවාදය අවසන් වෙමින් පවතී

පසුගිය වසර දෙක තුන පුරා මා තුළ තිබූ දැඩි උනන්දුවක් ඔබ සමග බෙදා ගැනීමට මම ඉතා උනන්දුවෙන් බලා සිටියෙමි. මගේ ඒ උනන්දුව නම්, අප දැන් ජීවත් වන්නේ 'ධනවාදය' (Capitalism) ලෙස නිසි ලෙස අර්ථ දැක්විය හැකි ක්‍රමයක නොවන බවයි. අප කොතැන බැලුවත් පෙනෙන්නට තිබෙන්නේ ප්‍රාග්ධනය, ශ්‍රමය මත, සමාජය මත සහ අප ගේ ප්‍රජාතන්ත්‍රවාදය මත ජයග්‍රහණ අත්කර ගන්නා ආකාරය යි. නමුත් ධනවාදය දැන් අවසන් වෙමින් පවතින බවට මම මෙහි දී අතිශය ආන්දෝලනාත්මක මතයක් ඉදිරිපත් කරමි. මම මෙය පවසන්නේ කුමන පදනමකින්ද? අපි මුලින්ම ප්‍රාග්ධනය (Capital) යනු කුමක්දැයි විමසා බලමු. ප්‍රාග්ධනය යනු හුදෙක් මුදල් හෝ කිසියම් දිව්‍යමය දෙයක් නොවේ; එය පැහැදිලිවම ස්පර්ශ කළ හැකි දෙයකි. මමත් මෑතක් වන තුරුම ආර්ථික විද්‍යාඥයෙකු වූ අතර, ආර්ථික විද්‍යාඥයන් ප්‍රාග්ධනය අර්ථ දක්වන්නේ "විවිදාකාර වූ භාණ්ඩ නිෂ්පාදනයට සහාය වීම සඳහා නිපදවන ලද භාණ්ඩ" ලෙසයි. වෙනත් වචනවලින් කිවහොත්, එය නිපදවන ලද නිෂ්පාදන මාධ්‍ය යි.

ca

බලය, ඉඩම් හිමියන් වෙතින් ප්‍රාග්ධන භාණ්ඩ හිමි අය වෙත

රොබින්සන් කෲසෝ ජිවිතය බේරාගැනීම පිණිස ගොඩ නැගු මසුන් ඇල්ලීමේ ආම්පන්න, පුරාණ හෝ වැඩවසම් යුගයේ ගොවියකුගේ නගුල, අද කාලයේ ලෝහ උදුනක් හෝ මිටියක් යන මේවා ප්‍රාග්ධනය යි. මේවා වැඩි මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීමට, වැඩි ආහාර ප්‍රමාණයක් නිපදවීමට හෝ දිලිසෙන වානේ මෙවලම් සෑදීමට උපකාරී වන නිෂ්පාදිත භාණ්ඩ යි. ප්‍රාග්ධනය සැමවිටම පැවති දෙයකි. ඇත්ත වශයෙන් ම ප්‍රාග්ධනය, ධනවාදයට පෙර සිටම පැවතුණි. ධනවාදය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රමයකි. එහිදී අන් අයට යම් යම් දේ කිරීමට බල කිරීමේ බලය පැවරී ඇත්තේ එහි අයිතිය හිමි පුද්ගලයින් වෙත ය. වැඩවසම් ක්‍රමය යටතේ පැවති නිෂ්පාදන ක්‍රමයේදී බලය රඳා පැවතුණේ ඉඩම් අයිතිය මතයි. වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදය දක්වා වූ මහා පරිවර්තනයේ දී, බලය ක්‍රමක් ක්‍රමයෙන් ඉඩම් හිමියන් ගෙන් ප්‍රාග්ධන භාණ්ඩ හිමි අය වෙත මාරු විය.

ධනවාදය, ප්‍රාග්ධන හිමියන් වෙත ලබා දුන් බලතල දෙක

ධනවාදය ප්‍රාග්ධන හිමියන්ට නව බලතල දෙකක් ලබා දුන්නේය.

1.තමන් වෙනුවෙන් වැඩ කිරීමට අන් අයට බල කිරීමේ බලය: ප්‍රාග්ධන භාණ්ඩ හිමිකර ගැනීම යනු, ප්‍රාග්ධන භාණ්ඩ නැති, ශ්‍රමය පමණක් පිරිනැමීමට ඇති පුද්ගලයින් කෙරෙහි කේවල් කිරීමේ බලය තිබීම යි. ධනපතියකු වීමේ සම්පූර්ණ අදහස එය යි.

2. සමාජයේ න්‍යාය පත්‍රය සැකසීමේ බලය: ප්‍රාග්ධන භාණ්ඩ බහුතරයක් හිමි ධනපති පන්තියට, සියලු දෙනා වෙනුවෙන් වැදගත් තීරණ ගන්නා විවිධ වේදිකාවල දී න්‍යාය පත්‍රය සැකසීමේ බලය තිබේ. අතීතයේ, වැඩවසම් ක්‍රමය යටතේ, න්‍යාය පත්‍රය සැකසීමේ බලය තිබුණේ ඉඩම් හිමියන්ට ය.

නව ආකාරයේ ප්‍රාග්ධනයක් මතුවෙමින් පවතී

මා ඔබ සමග බෙදා ගැනීමට, පැහැදිලි කිරීමට සහ ඒත්තු ගැන්වීමට උත්සාහ කරන මගේ උපකල්පනය නම්, අපට දැන් නව ආකාරයක ප්‍රාග්ධනයක් ඇති බවයි. "දැන්" යැයි මා පවසන්නේ පසුගිය අවුරුදු 10-15 තුළ යි.

නව ආකාරයේ ප්‍රාග්ධනයක් මතුවෙමින් පවතින බවට මම තර්ක කරමි. එය මතුවෙත් ම, එය නව පාලක පන්තියක්, සම්පූර්ණයෙන් ම නව පාලක පන්තියක්, සහ නව නිෂ්පාදන ක්‍රමයක් පවා නිර්මාණය කරමින් සිටී.

විධාන ප්‍රාග්ධනය (Command Capital) එහි අයිතිකරුවන්ට (මම ඔවුන්ව "ක්ලවුඩිස්ට්වරු" Cloudlists ලෙස හඳුන්වමි.) දෙවන බලයක් ලබා දෙයි. අප ගේ මිලදී ගැනීම් මෙහෙයවන එම

ඇල්ගොරිතමවලට, අපව, එනම් පරිශීලකයින්ව, සෘජුවම අණ කරමින් ක්ලවුඩිස්ට්වරුන් සඳහා නව විධාන ප්‍රාග්ධනයක් නිපදවීමට රහසිගත හැකියාවක් ඇත.

ප්‍රාග්ධනය වර්ධනය විය හැකි එකම මාර්ගය

මම මෙහි වැදගත්කම අවධාරණය කළ යුතුයි: ධනවාදය යටතේ, ප්‍රාග්ධනය ජනනය කළ හැකි, නිෂ්පාදනය කළ හැකි එකම ක්‍රමය වූයේ, ධනපතියකු යටතේ සේවකයින් වැඩ කිරීම තුළින් අතිරික්ත වටිනාකමක් ජනනය කිරීම යි. එම අතිරික්ත වටිනාකමෙන් කොටසක් නැවත ප්‍රාග්ධන භාණ්ඩ සඳහා ආයෝජනය කළේ ය. එබැවින්, ප්‍රාග්ධනය වර්ධනය විය හැකි එකම මාර්ගය වූයේ ශ්‍රම වෙළඳපොළ, ශ්‍රම ක්‍රියාවලිය සහ කර්මාන්තශාලාවේ, කාර්යාලයේ හෝ සුපිරි වෙළඳසැලේ වැටුප් සහිත ශ්‍රමය යොදාගෙන සිදුවන නිෂ්පාදනය තුළින් පමණි.

ක්ලවුඩිස්ට්වරුන් ගේ බලය

නමුත් මා මෙහිදී පවසන්නේ, ක්ලවුඩිස්ට්වරුන්ට මෙතෙක් කිසිදු ධනපතියකුට නොතිබූ බලයක් ඇති බවයි. අප ඔවුන් වෙනුවෙන් වැඩ කරන බව අපටවත් නොදැනෙන අයුරින්, අපව වැටුප් නොලබන ශ්‍රමිකයන් බවට පත් කරමින් ඔවුන්ගේ විධාන ප්‍රාග්ධනයේ කොටසක් නිෂ්පාදනය කරවා ගැනීමට ඔවුන්ට බලය ඇත. ගූගල් මැප්ස් ඇති අපගේ දුරකථනය රැගෙන අපි එහා මෙහා යන සෑම අවස්ථාවකම, අප සිටින්නේ කොහේදැයි ගූගල් දනී. එය ගූගල්හි ප්‍රාග්ධනය වැඩි කරයි. එබැවින්, අපි කිසිදු වෙළඳපොළ ක්‍රියාවලියකින් තොරව, වැටුප් නොලබමින් හෝ ශ්‍රම ක්‍රියාවලියේ කොටසක් නොවී, සෘජුවම ප්‍රාග්ධනයට දායක වෙමු. මෙය ධනපතියන්ට කිසිදා නොතිබූ නව බලයකි.

වඩාත් වැදගත් සිදුවීම

මේ සියල්ල සිදුවෙමින් තිබියදී, (අවම වශයෙන් දැන් වසර 15 ක් තිස්සේ මෙය සිදුවෙමින් පවතී) සමාජ ආර්ථික පද්ධතියක් ලෙස ධනවාදය, දෙවන ලෝක යුද්ධයෙන් පසු විවිධ පරිවර්තන සහ රූපාන්තරණ හරහා ගියේය. එය බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) ගිවිසුම සමග සැලසුම් සහගත පද්ධතියක් බවට පත් විය. බැංකුකරුවන් සහ මූල්‍යවේදීන් මත විශාල, ඉතා හොඳ, සීමා පැනවී තිබුණි. මතක ද, අපට වසර 20-25ක් ප්‍රාග්ධන පාලනයන් තිබුණා. බොත්තමක් එබීමෙන් මිලියන හෝ ට්‍රිලියන ගණන් මුදල් රටවල් අතර ගෙන යාමට මිනිසුන්ට නොහැකි විය.

ඉන්පසුව අපට මූල්‍යකරණය (financialization), නව ලිබරල්වාදය (neoliberalism) සහ ගෝලීයකරණය (globalization) ඇති විය. පසුව, මූල්‍යකරණයේ සහ ගෝලීයකරණයේ මවාගත් තේජසෙන් පසුව,gordonbrownබ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් 2008 දී මහා අර්බුදය, එහි ප්‍රතිඑලගත විපාකය ඇති විය. 2008 වසරේ දී සියලුම බැංකු කඩා වැටුණි. 2009 අප්‍රේල් මාසයේ දී එවකට බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් නුවර පැවැති G7, G10 සහ G20 රටවල රැස්වීමේ දී, ලෝකයේ ප්‍රධාන මහ බැංකු (Federal Reserve, Bank of England ආදිය) සම්බන්ධීකරණය කරමින් විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීමට තීරණය විය. ඔවුන් එම මුදල් මගින් මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගූ අතර, එහි අනෙක් පැත්ත වූයේ සාමාන්‍ය ජනතාව මත පටවන ලද දැඩි අරමුදල් සීමා කිරීම ය.මෙය සාධාරණද නැද්ද යන්න හෝ අසමානතාවය වැඩි කළාද යන්න ගැන මම අවධානය යොමු නොකරමි. නමුත් ධනවාදය තුළ ලාභය ඉටුකළ කාර්යභාරය වෙනුවට මහ බැංකු මුදල් ආදේශ වීම මෙහිදී සිදු වූ වඩාත් වැදගත් සිදුවීම යි.

 

globalization

දෙවන කුලුන වන වෙළඳපොළ දැන් අවසන්

ධනවාදයේ සෑම ආකාරයකටම පොදු කුළුණු දෙකක් තිබුණි:

පෞද්ගලික ලාභය: පද්ධතිය ඉදිරියට ගෙන ගිය එන්ජිම මෙයයි.

වෙළඳපොළ: ශ්‍රමය, බලශක්ති සහ මූල්‍ය වැනි සෑම වටිනාකමක්ම හුවමාරු වූයේ වෙළඳපොළ හරහා ය.

මගේ තර්කය නම්, 2009 සිට ධනවාදයේ එන්ජිම වූ ලාභය වෙනුවට මහ බැංකු මුදල් ආදේශ වූ බවයි. පසුගිය වසර 15 පුරා Uber, Airbnb, Netflix, Spotify හෝ Tesla වැනි ප්‍රමුඛ සමාගම් දෙස බැලුවහොත්, ඔවුන් සැබෑ ලෙස ලාභ ලබන්නේ ඉතා අඩුවෙනි. ඔවුන්ව මෙහෙයවන්නේ කොටස් වෙළඳපොළයි. මහ බැංකු මුද්‍රණය කරන මුදල් මූල්‍ය වෙළඳපොළට ගලා එන නිසා ඔවුන්ගේ කොටස් මිල ඉහළ යයි.

දෙවන කුලුන වන වෙළඳපොළ ද දැන් අවසන් වෙමින් පවතී. විධාන ප්‍රාග්ධනය (Command Capital) කොතරම් බලවත් වීද යත්, එය අපට අවශ්‍ය දේ තීරණය කරනවා පමණක් නොව, ඒවා මිලදී ගැනීමට අවශ්‍ය වේදිකාවන් (platforms) ද නිර්මාණය කරයි. ඔබ Amazon.com වෙත ඇතුළු වූ මොහොතේ ඔබ ධනවාදයෙන් බැහැර වේ. මන්ද ඇමසන් යනු වෙළඳපොළක් නොව, එක් පුද්ගලයකු ගේ ඇල්ගොරිතමයකින් පාලනය වන, ඔබ දැකිය යුතු සහ මිලදී ගත යුතු දේ තීරණය කරන ඩිජිටල් වැඩවසම් බිමකි (digital fiefdom).

ama

විධාන ප්‍රාග්ධනයේ බලය

මෙම නව තත්ත්වය තුළ "ක්ලවුඩිස්ට්වරු" (Cloudlists) නම් නව පාලක පන්තියක් බිහි වී ඇති අතර සාම්ප්‍රදායික ධනපතියන් ඔවුන්ගේ සේවකයන් බවට පත්ව ඇත. නිදසුනක් ලෙස, එලොන් මස්ක් වැනි අයෙකු ගේ බලය රඳා පවතින්නේ ලාභය මත නොව, මහ බැංකු මුදල් මගින් පෝෂණය වන ඔහු ගේ කොටස්වල වටිනාකම සහ ඔහු සතු විධාන ප්‍රාග්ධනය මතයි. ඔබ ටෙස්ලා රථයක් මිලදී ගත්ත ද, එම

සමාගමට බොත්තමක් එබීමෙන් ඔබේ මෝටර් රථය අක්‍රිය කළ හැකිය. එය විධාන ප්‍රාග්ධනයේ බලයයි.

අවසාන වශයෙන්, ප්‍රාග්ධනය සෑම තැනක ම ජයග්‍රාහී ලෙස පැතිරෙමින් තිබුණ ද, අප දන්නා ධනවාදය දැන් අවසන් වෙමින් පවතී. ඒ වෙනුවට වෙළඳපොළෙන් තොර, පෞද්ගලික ලාභය මත නොව රාජ්‍ය මුදල් මත යැපෙන, විධාන ප්‍රාග්ධනය විසින් මෙහෙයවන නව පාලක පන්තියක් සහිත නව පද්ධතියක් බිහිවෙමින් පවතී.

යානිස් වරුෆාකිස්ගේ Technofeudalism: What Killed Capitalism සාකච්චාවක් ඇසුරින්.

 

Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න