මිනිසුන් වශයෙන් අප මුහුණපාන්නා වූ ගැටලු, අභියෝග විවිධාකාර ය. තනි තනි වශයෙන් පමණක් නොව පොදුවේ පිරිසකට මුහුණ පෑමට සිදුවන්නා වූ ගැටලු අභියෝග ඒ අතර සුවිශේෂී ය. මන්ද යත් ඒවායේ කටුක බව සහ ප්‍රතිඵල සියල්ලන්ට අත් විඳින්නට ලැබෙන බැවිනි.
රටක් තුළ පළාතක් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් මෙන්ම ග්‍රාමීය මට්ටමින් මිනිසුන්ට විවිධාකාරයේ ගැටලු සහ අභියෝග වලට මුහුණ පෑමට සිදු වේ. සමස්ත රටේ ම ප්‍රශ්න බොහෝ පාර්ශ්වයන්ගේ අවධානයට ලක්වුව ද පළාත් දිස්ත්‍රික්ක මට්ටමෙන් පවතින ගැටලු ද තරමක් දුරට අදාළ අංශවල අවධානයට ලක් වේ. නමුත් ග්‍රාමීය ප්‍රජාව ගේ නොවිසදුණ ගැටලු කලාන්තරයක් විසදුම් නැති ප්‍රශ්න ලෙස ම පවති. ඔවුන් ගේ පොදු ප්‍රශ්න නිලධාරින්ගේ ඇස ගැටෙන්නේ කලාතුරකිනි. ගැටලුව අවධානයට ලක් නොවීම ම නොව ඒ වෙනුවෙන් ඉදිරිපත් නොවීම යි.
ගම්වල මිනිස්සු ගෙවන්නේ සරල ජීවිත ය; කටුක බවට හුරු ජීවිත ය. ඒ ජීවිත තුළ එදිනෙදා ඔවුන් මුහුණපාන ගැටලු අභියෝග ඔවුන්ට මෙන්ම අනෙකුන්ට නොදැනීම කණගාටුදායක ය. මෙම ලිපිය එවන් කණගාටුදායක තත්ත්වය මුහුණපා සිටින අනුරාධපුර, රඹෑව ගිනිකටුවැව ගම්මානයේ ජනතාවගෙන් මතු වූ කතාවකි.
නිසි කලට නොලැබෙන රජයේ පොහොර සහනාධාරය
ගොවිතැනින් ජීවත්වන ඔවුන්ගේ මැසිවිලි අතර වූයේ තම ගොවිතැන් අස්වැන්න ඵලදාව සරු කර ගන්නට යොදන පොහොර කලට වෙලාවට යෙදිය යුතු බවයි. එසේ වුවත් රජයෙන් ලබා දෙන පොහොර සහනාධාරය කලට වෙලාවට නොලැබෙන බවයි ඔවුන් මැසිවිලි නගමින් කියා සිටියේ.
"ගොවිතැන් කාලෙට පොහොර සහනාධාරය ලියනවා. ඒ උනාට ඒවා ලැබෙන්නේ පොහොර ඔ්න වෙලාවට නෙවෙයි. මඩ පොහොර ඔ්න වෙලාවට මඩ පොහොර නෑ. එක්කෝ මඩ පොහොර ලැබෙන්නේ බණ්ඩි කාලෙට, එතකොට ඒ පොහොර වැඩක් නෑ. ඉතින් පොහොර නැතිව ඔහේ හැදෙන හින්දා සාරවත් නෑ. අසවැන්නත් අඩුයි. මේ ගැන හොයලා බලලා හරියට වෙලාවට පොහොර ටික දෙනවා නම් එහෙම වෙන්නේ නෑ. ඒ් උනත් නිළධාරින්ගේ උනන්දුවක් නෑ.
සමූපකාර ගොඩනැගිල්ලක් දෙන්න
''ඒ වගේම තමයි ගමේ මිනිස්සු ගන්න ඇස්වැන්න ටික එකතු කරන්න තැනක් නෑ. අතරමැදියන්ට තමයි දෙන්නේ, අඩුවට තමයි ගන්නේ. එහෙම නැතුව රජයෙන් ම සමූපකාර ගොඩනැගිල්ලක් වගේ තැනක් හදනවානම් අපිට පුළුවන් එතෙන්ට ගිහින් දෙන්න එතකොට අර වගේ අලාභයකුත් නෑ. මේ ගම්වල එහෙම එව්වා නෑනේ.''

නිලධාරින් දකින්නත් නෑ
''අපි වී ගොවිතැනට අමතරව බඩ ඉරිඟු, මුං, කවුපි, රටකජු, කුරක්කන් වගේ දේවලුත් වගා කරනවා. ඒත් ඒවට සාධාරණ මිලක් නෑ. ඒ වගේම වන සත්තුන්ගෙන් කරදර හරියට. අලි, රිලව්, වඳුරෝ, ඌරෝ, මොනරු මේ හැම සතාගෙන්ම මේවා බේරගන්න ඕන, මේවලට කවුරුත් විසඳුම් දෙන්නේ නෑ. විනාශ කරනවා කියලා සත්තු මරන්නත් නෙමෙයි. සත්තු කනවා කියලා වගා නොකර ඉන්නත් නෙවෙයි. ඒත් මේව හොයලා බලලා මේවට විසඳුම් දෙන්න නිලධාරින් ඉදිරිපත් වෙන්න එපැයි. සමහර නිලධාරීන් උපදෙස් දෙන්න තියා දකින්නෙත් කලාතුරකින්."

අස්වැන්නෙන් ලොකු ලාභයක් නෑ
“ඒ වගේම තමයි තෙල්, පොහොර, බීජ මිල වැඩියි. වැඩි මිලට අරගෙන කුලි ගෙවාගෙන වගා කරාම අස්වැන්නෙන් ලොකු ලාභයක් නෑ. ඒට වැස්සෙන් සත්තුන් ගෙන් වෙන හානි අයින් කරිම ඇත්තටම ලාභයක් නැති තරම්”
මේ රඹෑව, ගිනිකටුවැව ගමේ ජනතාවගේ ප්‍රධාන ජීවිකාව සම්බන්ධයෙන් මතුවූ මැසිවිල කිහිපයක් පමණි.
ගමට ම බස් රථ දෙකයි
ඒ ගමේ මිනිස්සු දෛනික ජීවිතයේ දි ගමනාගමනය වෙනුවෙන් ද මහත් කටුකත්වයක් අත්විදියි. ප්‍රධාන පාරට කිලෝමීටර් දෙකක් පමණ යා යුතු ය. මෝටර් සයිකලයක් ත්‍රීවිලරයක් හෝ හෝ පාපැදියක් ඇති ඈයෝ ඒවායේ ගමන් කෙරුවත් එහෙමවත් නැති උන්දැලා ගාටන්නේ පයින්ම ය. එහෙම නැත්නම් දවසට ම දෙතුන් වතාවකට වඩා ධාවනය නොවන තනි දොරේ CTB බස් රථයේ ය. ගමටම තිබෙන්නේ බස් දෙකකි. ඒ, අනුරාධපුර - රොටවැව සහ අනුරාධපුර - කොණකුඹුක්වැව බස්රථ දෙක ය. CTB එකම රථයකි ගමටම තිබෙන්නේ. පාසල් ළමුන් පාසල් යන්නේ එම තනිදොරේ CTB බස් රථයේ ය.
"එකම CTB බස් එකයි ගමටම තියෙන්නේ. ඒකත් එක දොරේ බස් එකක්. උදේ නමයට, නමය හමාරට ටවුමට යන බස් එක ආයෙ එන්නේ හවස තුනට. උදේ ටවුමට යන මනුස්සයා ආපහු ගෙදර එන්න බස් එක එනකම් හවස තුන වෙනකම් ටවුමේ ඉන්න ඕනේ. නැත්තං මැදවච්චිය හරි, ශ්‍රීපුර හරි, වවුනියාව හරි යන බස් එකක නැගලා රඹෑව, වැලිඔය හන්දියෙන් බැහැලා පයින් එන්න ඕනි."
බස් රථය ධාවනය රියදුරු ගේ සහ කොන්දොස්තර ගේ අභිමතය පරිදි
"ඉස්කෝලේ ළමයින්ට උදේට ඉස්කෝලෙ යන්න තියෙන්නේ ඒ බස් එක විතරයි. ඔක්කොම ළමයි ටික ඒ බස් එකේ තමයි තට්ටු වෙලා යන්නේ. හිර වෙලා මිරි කියලා තමයි යන්නේ. සතිය දවස්වල උදේ බස් එක යනවා. ආපහු බස් එක හවස තුනට එනකල් ළමයි ඉන්න ඕනි බස් එකේ එන්න, වෙන බස් එකක් නැති හින්දා."
''සති අන්ත දවස්වල බස් එක වැඩ නෑ. ළමයින්ට පන්තියකටවත් යන්න විදිහක් නෑ.ඒ වගේම සති අන්තේ දවසක ටවුමකටවත් යන්ඩ විදිහක් නැහැ. බස් එක වැඩ කරන්නේ නැති නිසා. බෙහෙත් ටිකක් ගන්න ගියත් ක්ලිනික් එකකට ගියත් ටවුමට වෙලා ඉන්න ඕනේ කීයට හරි බස් එක එනකම්. අඩුම දොර දෙකේ ලොකු බස් දෙකක් මේ පාරට දාලා දුන්නනම් ළමයින්ටත් ගමේ මිනිස්සුන්ටත් ඒක පහසුවක්. මේ බස් එකේ ඩයිවර්, කොන්දොස්තර ගමේ අය. ඉතින් එයාලට ඕන විදිහට තමයි බස් එක වැඩ කරන්නේ."
සායනයට රැගෙන නොගිය හෙල්මටය
මේ බස් කතන්දරෙත් එක්ක ඒ සම්බන්ධයෙන් කාන්තාවක් මුහුණ දුන් අත්දැකීමක් විස්තර කර සිටියේ මෙලෙසිනි.
"මම දවසක් බයික් එකේ එද්දි වයසක අම්මා කෙනෙක් එනවා කුදුගැහිලා අව්කාස්ටකේ. මං ඇහුවා ම කිව්වා ක්ලීනික් එකට ගියා එන්න බස් එක නැති නිසා මැදවච්චි බස් එකේ ඇවිත් හන්දියෙන් බැහැලා මේ ටික පයින් යනවා කියලා. මට දුක හිතුණා. ඒ අම්මා දාලා මට බයික් එකේ එන්න හිතුණෙ නෑ. මං ඒ අම්මව දාගෙන ආවා. මඟ දී පොලීසියෙන් ඉඳලා මට දඩ කොළයක් ලිව්වා රුපියල් 1800ක. හෙල්මට් නැතුව අම්මව දාගෙන ආවා කියලා. ක්ලිනික් එකට යන ඒ අම්මා හෙල්මට් අරන් යනව ද? මං දඩය ගෙවලා නිකන් හිටියා."
''දඩ කොලේ ලියන්න පොලිසියෙන් හිටියට ගමේ බස් එක ගැන බලන්න කවුරුත් නෑ. අපේ ආරක්ෂාවට තමයි හෙල්මට් දාන්න කියන්නේ. ඒ උනත් ඒ වෙලාවේ හැටියට හෙල්මට් හොය හොයා ඉන්නේ නෑනෙ. අනික ගමේ බස් එක හරියට තිබුණ නම් මේ වගේ දේවල් වෙන්නෙ නෑ.”
පාසලට ගොඩනැගිල්ලක් දෙන්න
මේ ප්‍රශ්න විතරක් නෙවෙයි ඔවුන්ට තවත් ප්‍රශ්න මේ ගමේ තිබෙනවා. දරුවන්ට උගන්වන එක දෙමාපියන් ගේ ලොකුම හීනයක් ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ කැප කිරීම් කරනවා. රඹෑව, ගිනිකටුවැව ප්‍රාථමික පාසලකි. මුළු පාසලට ම එකම ශාලාවයි තිබෙන්නේ. ළමුන් 47ක් හා ගුරුවරුන් 7ක ප්‍රමාණයක් සිටිනවා. නමුත් පන්ති කාමරවලට තිබෙන්නේ එකම ශාලාවක් පමණි. අර පන්ති පහම උගන්වන්නේ ඒ ශාලාවේ. ඒක කොච්චර අමාරුද? ඒක ඒ වගේම බාධාවක් සහ ඝෝෂාවක්.

"අපිට වෙන මොනවා නැතත් කමක් නෑ. ඒ ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න මේ ඉස්කෝලෙට තව ගොඩනැගිල්ලක් වත් හදලා දෙනවා නම් ඒ ඇති"
එ් ගමේ දෙමාපියන්ගේ ඉල්ලීම වූයේ එපමණෙකි. මෙවැනි ප්‍රශ්න සෑම ගමකම පාහේ දක්නට අසන්නට ලැබෙන ප්‍රශ්නය. නමුත් මේ රටේ මේ වගේ ප්‍රශ්න ගැන හොයන්නට බලන්නට ගම් මට්ටමින් නිලධාරීන් පත් කර ඇත. එක් එක් වශයෙන් බෙදී ගිය අංශ ඇත. ඒවා අනුව ගම්මුන්ගේ මේ දුක් අදෝන ඔවුන්ගේ ඇසට ගැටිය යුතුම ය.
නිලධාරිහු රාජකාරි පැහැර හරිති
මේ ප්‍රශ්න ගැන සොයා බලන්නට, මැදිහත්වන්නට, සාකච්ජා කරන්නට, උපදෙස් දෙන්නට නිලධාරින් පත්කර සිටියත් උපදේස් දීමට තබා ඔවුන් දකින්නටවත් ලැබෙන්නේ කලාතුරකින් බවයි ඔවුන් සඳහන් කර සිටියේ.
ග්‍රාමීය මට්ටමේ ඉතාම කුඩා වපසරියකට පත් කරන ඒ නිලධාරීනුත් තමන්ට පැවරෙන කුඩා වගකීම් කොටස මගහරිනවා නම් නොසලකා හරිනවා නම් ගම්මුන් මුහුණපාන මේ ගැටලු ඉහළ අංශ වෙත දැනුවත් කරන්නේ කෙසේද?
කෘෂිකර්මාන්තයට, ප්‍රවාහනයට, අධ්‍යාපනයට මේ සෑම අංශයක්ම ආවරණය වන දෙපාර්තමේන්තු හා සේවාවන් මේ රටේ ක්‍රියාත්මක වෙද්දි ඒවායේ සේවයට යොදවන නිලධාරීන් මාසෙ වැටුපට පමණක් නිලධාරියා වී සේවයට නිලධාරියා නොවීම නම් ඛේදනීයය. මේ රටේ පරිපාලනය පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් නිසි පරිදි කළමනාකරණය නොවන්නේ නම් මේ රටේ මෙවන් නොවිසඳුනු ප්‍රශ්න ඉදිරියටත් එලෙසම පවතිනු ඇත.
නමුත් අපේ අපේක්ෂාව වන්නේ බලාපොරොත්තුව වන්නේ එය නොවේ. මේ රටේ සෑම මනුෂ්‍යයකු ම ස්වයංපෝෂිත ජීවිතයක් ගත කිරීමත් අනාගතය යහපත් වනු දැකීමත්ය. එනිසා රඹෑව ගිනිකටුවැව ජනතාවගේ පොදු ගැටලු පමණක් නොව මේ රටේ මෙවන් ගම්මානවල තවත් මේ හා සමානව ඇති ප්‍රශ්න සියලු නිලධාරීන්ගේ අවධානයටත් සැලකිල්ලටත් ලක් වවිය යුත යයි අවධාරණයෙන් සඳහන් කල යුතු ය.

නිර්මලා දිසානායක

