වුල්වර්හැම්ප්ටන් නඩුවට නීතිය ඉදිරියේ සිදුවන්නේ කුමක් ද...?

වුල්වර්හැම්ප්ටන් නඩුවට නීතිය ඉදිරියේ සිදුවන්නේ කුමක් ද...?

“ආරාධනාව නිලයි” කී විශ්වවිද්‍යාල ලිපියෙන් මතුවන නෛතික යථාර්ථය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක ‘වුල්වර්හැම්ප්ටන්’ (Wolverhampton) නඩුවේ සමස්ත පදනම සුනුවිසුනු කරන අතිශය තීරණාත්මක සාක්ෂියක් ඩේලි මිරර් (Daily Mirror) පුවත්පත මගින් පසුගිය 16වන දා අනාවරණය කළේ ය.

ranil1

ආරාධනයේ ඇත්ත නැත්ත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය බී-වාර්තාව (B-Report) ගොඩනගා තිබුණේ “මෙය කිසිදු නිල ආරාධනාවකින් තොරව සිදුවූ පෞද්ගලික ගමනක්” යන තනි බොරුව මත ය. එහෙත්, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් (Christine Fraser) විසින් නිකුත් කරන ලද ලිපිය මගින් හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ භාර්යාවට සහ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේනට “නිල වශයෙන්” (Officially) ආරාධනා කර තිබූ බව දැන් තහවුරු කර ඇත.

නඩු විභාගය මුහුණ දෙන දැවැන්ත නෛතික අර්බුදය

මෙම තීරණාත්මක සාක්ෂියත් සමග, ලබන අප්‍රේල් 29 වන දින කැඳවීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණ (Trial-at-Bar) නඩු විභාගය මුහුණ දෙන දැවැන්ත නෛතික අර්බුදය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ නීති සංග්‍රහයන්ට අනුකූලව මෙසේ විච්ඡේදනය කළ හැකි ය.

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(h) ව්‍යවස්ථාව: රාජ්‍ය නායකයාගේ ජාත්‍යන්තර නියෝජනය

මෙම නෛතික තර්කය සෘජුවම බැඳී පවතින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟිනි.

*33(h)ව්‍යවස්ථාව (ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන්): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව “ජාත්‍යන්තර නීතිය,චාරිත්‍ර හෝ භාවිතයන් මගින් ජනාධිපතිවරයා විසින් කරනු ලැබීමට බලය දී ඇති හෝ නියම කරනු ලැබ ඇති යම් ක්‍රියාවක් කිරීම” විධායක ජනාධිපතිවරයෙකුගේ ව්‍යවස්ථාපිත කාර්යයකි.

paulLord Swraj Paul

*නෛතික යථාර්ථය:බ්‍රිතාන්‍යයේ පිළිගත් විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙකුගේ (Lord Swraj Paul) 25 වැනි සංවත්සර උත්සවයට රාජ්‍ය නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ට “නිල ආරාධනයක්” ලැබුණු විට, ඊට සහභාගී වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමේ නිල කාර්යයකි (Official Function). එවැනි නිල සංචාරයකට රජයේ මුදල් යෙදවීම නීත්‍යානුකූල වන අතර, එය කිසිසේත්ම “අවභාවිතයක්” ලෙස අධිකරණයක් ඉදිරියේ තර්ක කළ නොහැකි ය.

අරමුදල් නිදහස් කිරීම පරිපාලන වගකීම

2. පොදු දේපළ පනත සහ බිඳ වැටෙන “අපරාධ චේතනාව” (Mens Rea)

මෙම නඩුව පවරා ඇත්තේ 1982 අංක 12 දරන පොදු දේපළවලට එරෙහි වැරදි පිළිබඳ පනත (Offences against Public Property Act, No. 12 of 1982) යටතේය.

*නීතිමය පදනම:මෙම පනතේ 5 වන වගන්තිය යටතේ වරදක් ඔප්පු කිරීමට නම්, අදාළ මුදල් “සාවද්‍ය ලෙස” සහ “වංචනික චේතනාවෙන්” (Dishonest Misappropriation) පරිහරණය කළ බව ඔප්පු කළ යුතුය. එනම්, අපරාධ නීතියේ මූලිකම අවශ්‍යතාවය වන ‘අපරාධ චේතනාව‘ (Mens Rea / Guilty Mind) පැවතිය යුතු ය.

බිඳ වැටෙන CID තර්කය: විශ්වවිද්‍යාලයේ නවතම ලිපියෙන් මෙය ‘නිල සංචාරයක්’ බව තහවුරු වීමත් සමග, අපරාධ චේතනාව පිළිබඳ තර්කය මුළුමනින් ම පුස්සක් බවට පත්වේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ ලිපිගොනුවක “Private” යන්න වෙනස් කර “Official” ලෙස සටහන් කිරීම, රජයේ මූල්‍ය රෙගුලාසි (Financial Regulations – FR) අනුව කළ පරිපාලනමය ක්‍රියාවක් පමණක් බවත්, එහි මුදල් සොරකම් කිරීමේ චේතනාවක් නැති බවත් මින් සනාථ වේ. “නිල ආරාධනයක්” සහිත ගමනකට අරමුදල් නිදහස් කිරීම පරිපාලන වගකීමක් මිස අපරාධයක් නොවේ.

ද්වේෂසහගත සහ තෝරාගත් නීතිය

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය: තෝරාගත් නීතිය (Selective Prosecution)

නඩුවේ දේශපාලන දඩයම් ස්වභාවය නිරුවත් වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තුළිනි.

*12(1)ව්‍යවස්ථාව (සමානාත්මතාවය):“සෑම තැනැත්තෙක්ම නීතිය ඉදිරියේ සමාන වන අතර, නීතියේ සමාන රැකවරණයට හිමිකම් ලබයි.” (All persons are equal before the law and are entitled to the equal protection of the law).

සරෝජා ගේ මුක්තිය සහ නීතියේ විකෘතිය: විශ්වවිද්‍යාල ලේකම්වරියගේ ලිපිය පැහැදිලිව කියන්නේ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේනට ද නිල වශයෙන් ආරාධනා කළ බවයි. බී-වාර්තාවට අනුව පවුම් 40,000කට අධික ඇස්තමේන්තුව සෑදුවේ සහ වියදම් කළේද ඇය යි. ඇයට නිල ආරාධනාවක් තිබිය දී “මම එහෙම එකක් දැක්කේ නෑ” කියා ඇය බොරු සාක්ෂි දෙනවිට, CID ය ඇයව සාක්ෂිකාරියක් කර, කොළඹ සිටි ජනාධිපතිවරයාව සහ ලේකම්වරයාව පමණක් අත්අඩංගුවට ගනී. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සෘජුවම උල්ලංඝනය කරන, ද්වේෂසහගත සහ තෝරාගත් නීතිය ක්‍රියාත්මක කිරීමකි (Malicious and Selective Prosecution).

බී-වාර්තාවට එල්ල කළ මාරාන්තික නෛතික ප්‍රහාරය

4. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය අවභාවිත කිරීම

*1979අංක15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත (Code of Criminal Procedure Act): මින් පෙර අධිකරණයට කරුණු දක්වමින් CID ය ඉල්ලා සිටියේ මෙම පනතේ 124 වන වගන්තිය යටතේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු ලබාගැනීමටයි. ඒ ඔහු විසින් ලිපිගොනුවේ “Official” කියා ලියා ඇතිදැයි සෙවීමට ය.

*එහෙත්,ගමන සැබැවින්ම “නිල (Official) සංචාරයක්” බව විශ්වවිද්‍යාලයම පිළිගෙන ඇති පසුබිමක, ලේකම්වරයෙකු එය නිල සංචාරයක් ලෙස තම අත්අකුරින්ම අනුමත කිරීම ගැන අත්අකුරු පරීක්ෂා කරන්නේ ඇයිද යන හාස්‍යජනක නෛතික අර්බුදයට (Absurdity of Investigation) නීතිපතිවරයාට දැන් මුහුණ දීමට සිදුවී ඇත.

ඩේලි මිරර් පුවත්පත මගින් හෙළි කරන ලද ක්‍රිස්ටීන් ෆ්‍රේසර්ගේ නිල ලිපිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොතන ලද “වුල්වර්හැම්ප්ටන්” බී-වාර්තාවට එල්ල කළ මාරාන්තික නෛතික ප්‍රහාරයකි.

daily

රාජ්‍ය නායකයෙකුගේ ව්‍යවස්ථාපිත වගකීමක් (Article 33), අපරාධ චේතනාවක් (Mens Rea) නොමැති පරිපාලන ක්‍රියාවලියක්, පොදු දේපළ පනත අවභාවිත කරමින් අපරාධ නඩුවක් ලෙස ගෙතීමේ භයානක දේශපාලන කුමන්ත්‍රණය දැන් නීතිය ඉදිරියේ නිරුවත් වී හමාර ය.

අප්‍රේල් 29 වන දා මහාධිකරණය හමුවේ මෙම “නඩුවක් නැති නඩුව” කුණු කූඩයට යාම පමණක් නොව, ආණ්ඩුවට සහ මෙම බොරු නඩුව නිර්මාණය කළ විමර්ශකයින්ට දැවැන්ත දේශපාලන සහ නෛතික වන්දියක් ගෙවීමට ද සිදුවන බව නියත ය.

 

නිරෝමි සුබ්‍රමනියම්

මූලාශ්‍ර - harideshaya.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න