වික්ටර් අයිවන් නොහොත් ‘පොඩි අතුල’ ඔහුගේ මාධ්‍යවේදී භාවිතාව තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් ම මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මූලිකත්ව ගණනාවක් දියත් කළ පුරෝගාමී චරිතයකි.
රජුන් තනන්නා
ඔහුගේ ‘රජුන් තැනීමේ භූමිකාව’ සහ මෙම ප්‍රතිසංස්කරණවාදී භූමිකාව අතර පැහැදිලි ප්‍රතිවිරෝධයක් පැවති බව ද ඒ තරමට ම සැබෑ ය. සිවිල් සමාජීය බලපෑමේ දේශපාලනය වෙනුවට වික්ටර් සිය අවසාන කාලයේ දී රජුන් තැනීමට මුල් තැනීමට මුල් තැන දුන්නේ ය. ඔහු ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය එම භූමිකාව තුළ දියවී යෑම අභ්‍යාගයකි.
තෙරපුම් දේශපාලනයේ ඇරඹුම

මා දන්නා තරමින් වික්ටර් අයිවන්ගේ තෙරපුම් දේශපාලනය ආරම්භ වූයේ සිර ගෙදරදී ය. අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ හත්වැනි විත්තිකරු සිර දඬුවම් ලැබීමෙන් පසු ද ඊට පෙර 1971 අප්‍රේල 03 දා අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් සිරකරුවකු ලෙස සිටි කාලයෙහි ද වික්ටර් අප්‍රේල් කැරලිකරුවන්ට යුක්තිය ඉටු කිරීම පිණිස පුළුල් මතයක් ගොඩ නැගීමට වෙර දැරුවේය. ඒ සඳහා ඔහු උපයෝගී කර ගත්තේ ඔහු සමග දේශපාලන එකඟතාවක් තිබූ නිදහස් වී ගිය කැරලිකරුවන් ය. ඔහු ලියුමක එක් පිටපතක් පමණක් රහසිගතව එවැනි හිතවතකුට යැවූයේ ය. එමෙන්ම එම ලිපිය යැවිය යුතු විවිධ පුද්ගලයින් ගේ නම් ලැයිස්තුවක් ද එ් සමග යැවීය. එම ලැයිස්තුවේ සිය ගණනාවක් නම් තිබුණි.
මෙම ලියුම් වල තිබූ කරුණු කාරණා මා දන්නා කරමින් වික්ටර් ලියූ කිසිඳු පොතක සඳහන් වන්නේ නැත. සමහර විට තවමත් එලෙස යැවූ ලිපිවල පිටපත් කවරකු හෝ වෙත තිබෙන්නට ද පුළුවන.
අයිවන් තුළ තිබූ දෘඪ ලක්ෂණය
කැරැල්ලට ආසන්න සමයෙහි වික්ටර් ජවිපෙ නායක විජේවීර ගේ ප්‍රධාන පෙළේ විශ්වාසවන්ත සගයකු බවට පත්ව සිටියේ ය. විජේවීර සහ ව්‍යාපාරයෙහි දෙවැනි නායකයා වූ සනත් බොරළුකැටිය අතර ඇති වූ දේශපාලන සහ පුද්ගලික ගැටුමෙහි දී වික්ටර්, විජේවීර ගේ සූක්ෂ්ම වැඩකරු බවට පත් විය. එසේ නමුත් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු ජවිපෙ මතවාදයෙන් කැඩී වෙන් විය. මේ බෙදීම දේශපාලන මතවාදයකින් ඔබ්බට ගොස් පුද්ගලික මට්ටම කරා වර්ධනය විය.

මා දන්නා අන්දමට විජේවීර සහ වික්ටර්, එකිනෙකා සමඟ ඉන් පසු කිසි දවසක කතා බහ කළේ නැත. එම නඩුවෙහි පස් වන විත්තිකරු වූ මම ද ජවිපෙ දේශපාලනයෙන් මතවාදී ලෙස කැඩී වෙන් වූ නමුත් විජේවීර සමග ඉඳහිට හෝ කතා බහ කිරීමට ඉඩකඩ තබා ගත්තෙමි.
මා මේ කාරණය සඳහන් කරන්නේ වික්ටර් අයිවන්ගේ තිබූ එක් දෘඪ ලක්ෂණයක් පැහැදිලි කිරීමට යි. එනම් ඔහු කවර හෝ අදහසක එල්බ ගත්තේ නම් එය අවසානය දක්වා ම ගෙන යාමට ඔහු තුළ වූ අධිෂ්ඨානය යි. තමා දරන අදහස සියයට සියයක් ම නිවැරදි යැයි සැලකීම යෝග්‍ය නොවන්නේ එකම කාරණයට පැති ගණනාවක් තිබෙන නිසා ය. එමෙන්ම සිදුවීමක් සම්බන්ධයෙන් එකම එක සත්‍යයක් ද නැත. එබැවින් වඩා නිවැරදි වන්නේ ස්වකීය මතය නම්‍යශීලී ලෙස හැසිරවීම ය.
තමාට සිදු වූ අගතියට එරෙහිව
එ අනුව ම යමින් වික්ටර් 1999 දෙසැම්බර් 19 වන දින තමන්ට එරෙහිව පවරා තිබූ සාපරාධී අපහාස නඩු තුනක් සම්බන්ධයෙන් යුක්තිය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එය ජය ගත්තේ ය. ඔහු වෙනුවෙන් මෙම නීති කෘත්‍ය කළේ මානව හිමිකම් නීතිඥයකු වූ සුරංජිත් හේවාමාන්න ය.
වික්ටර් තර්ක කළේ, නීතිපතිවරයා මහේස්ත්‍රාත්වරයෙකු විසින් විභාග කළ හැකි සුළු වරදක් උඩ කෙළින් ම මහාධිකරණයේ සෘජු අධි චෝදනා ගොනු කිරීමට තීරණය කිරීම තමන්ට වූ අගතියක් බව යි. ඔහුට එවැනි නඩු තුනක් පවරා තිබුණි. 1980 සිට, රාජ්‍ය පාර්ශ්වයේ රජයේ ක්‍රියාවන් විවේචනය කළ අයට අපහාස කිරීම සඳහා නඩු පැවරීම මගින් වැදගත් නිලධාරීන්ට අනුග්‍රහය දැක්වූ බවටද වික්ටර් තර්ක කළේය. වික්ටර් මෙම කාරණය මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ද ගියේ ය. එනමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට මෙම අධි චෝදනා මහාධිකරණයට යැව්වේ මන්දැයි පැහැදිලි කිරීමට කැඳවුවේ නැත. විකටර්ගේ අයදුම්පත ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව එමඟින් සමානාත්මතාව සහ ප්‍රකාශනයේ නිදහස ඔහුට අහිමි වූ බව පිළිගත්තේ ය. කතුවරයාගේ ප්‍රකාශන නිදහසේ අයිතිය ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ලෙස සීමා කරන ලද බිය ජනක බලපෑමක් ඇති වූ බවද කමිටුව කියා සිටියේ ය. ICCPR පනතේ විකල්ප සම්මුතට යටතේ රාජ්‍ය පාර්ශ්වය කතුවරයාට සුදුසු වන්දි ඇතුළුව ඵලදායී පිළියමක් ලබා දීමට බැඳී සිටින බවටත් අනාගතයේ දී සමාන උල්ලංඝණයන් වැළැක්වීමට ද රාජ්‍ය පාර්ශ්වය බැඳී සිටින බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව 2004 ජූලි මාසයේ දී සිය තීන්දුවෙන් කියා සිටියේ ය. කිසිඳු රජයක් වික්ටර්ට නාමික වන්දියක් හෝ ලබා දුන්නේ නැත.
වික්ටර් ගේ මූලිකත්වයෙන් ලබා ගත් අයිති
තමන්ට කරන ලද අවනඩුවට සාධාරණය ඉෂ්ට කරන ලෙස ලංකාණ්ඩුවට බල කරන සේ ඉල්ලා 2005 වර්ෂයේදී වික්ටර් යුරෝපා සංගමය වෙත ලිපියක් යවමින් කියා සිටියේ GSP බදු සහන ලබා දීමට පෙර මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ආණ්ඩුවට බල කරන ලෙස යි. අන්තර් ජාතික මානව හිමිකම් යන්ත්‍රණයෙන් සමග එක්ව මෙරට මානව හිමිකම් රැක ගැනීමට වික්ටර් දිගටම ලිපි සම්පාදනය කළේය.
මෙම නඩුව සාපරාධී අපහාස නීතිය අහෝසි කළ යුතු බවට මාධ්‍ය සංවිධාන විසින් ගෙන යමින් තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයට මහත් පිටුබලයක් විය. මේ හා සමග ම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනමාධ්‍යවේදීන්ට දඩුවම් කිරීමේ නීතිය අහෝසි කිරීමට ද වික්ටර් මූලිකත්වය ගත්තේ ය. එම පනත තව ම අහෝසි කර නැති නමුත් එම ව්‍යාපාරය දෙකෙහි ම වික්ටර් ඉදිරියෙන් ම සිටියේ ය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි අද අප භුක්ති විදින අයිතීන් ගණනාවක් දිනා ගැනීමට වික්ටර් ද මූලිකත්වය ගත්තේ ය. විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාරක සභා එනම් ස්ථාවර කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ජනමාධ්‍යට විවෘත කළ යුතු බවට දිගටම ඉල්ලා සිටි කතුවරයකු වූයේ වික්ටර්ය. අද එම අයිතිය මගින් මහජනයාට වැදගත් බොහෝ තොරතුරු සමාජයට ලැබෙනු අපි අත්දකිමු.
මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ මහා පිම්ම
වික්ටර් ගෙන ගිය තවත් සටනක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රසිද්ධ කිරීම යථාර්තයක් කර ගැනීමට ය. ඔහු එම වත්කම් ඉල්ලා ලිපි ගණනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යැවීය. වත්මන් මන්ත්‍රීවරු අතර විප්ලවවාදී කෝටිපතියන් සිටින බවත් මාසිකව එක් කෝටි හැටපන් ලක්ෂයක ආදායම ඇති මන්ත්‍රීවරයකු සිටින බවත් අප දන්නේ එම අයිතිය ලැබී ඇති නිසා ය. තොරතුරු නිදහසේ පනත සක්‍රීය කරවා ගැනීමටද වික්ටර් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හරහා දායක විය.
සරත් නන්ද සිල්වා
අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් වික්ටර් එවකට අග විනිසුරු වූ සරත් නන්ද සිල්වාට එරෙහිව ගෙන යන ලද අරගලය අන් කවරකුටවත් තරණය කළ නොහැකි මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ මහා පිම්මකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් 2005 වර්ෂයෙහි දී ‘අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනවත්වයේ අභියෝගය ‘නමින් A4 ප්‍රමාණයේ 60 ලියැවිල්ලක් අන්තර් ජාතික වශයෙන් බෙදා හරින ලදි. එය සකස් කරන ලද්දේ වික්ටර් විසිනි.
පුනරුද ව්‍යාපාරය
වික්ටර් එම අරගලය එතැනින් නතර නොකළ අතර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ ව්‍යායාමය කරා ගෙන ගියේය. ඔහු විසින් සම්පාදනය කරන ලදුව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ඉදිරිපත් කරන ලද දීර්ඝ ලියැවිලි ගණනාවක් පෙන්නුම කරන්නේ එම සමෝදාන ආකල්පය යි.
මා හිතන අන්දමට වික්ටර්ට සක්‍රීය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වූ ඔහුගේ වැදගත්ම මහජන බළමුළු ගැන්වීම ‘පුනරුද ව්‍යාපාරය’යි.

ඔහු එනමින් රට පුරා මහජන සංවාද ජාලයක් නිර්මාණය කිරීම ආරම්භ කරන ලද්දේ 2017 තරම් කාලයේ දී වුව ද ඊට වසර 12කට පෙර ඔහු විසින් ලියා ඉදිරිපත් කරන ලද ලියැවිලි ගණනාවකම එම අදහස් දැකිය හැකි විය.
2005 වසරෙහි දී වික්ටර් විසින් ලියා එකඟතාවය ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරල ලද ලිපයක මෙසේ සඳහන් වේ.
“රාජ්‍යයේ මෙම පරිහානිය සමාජයේ පරිහානියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි අතර, සමාජයේ සාමාජිකයන් ලෙස මම/අපි මෙම තත්ත්වයට වගකිව යුතුය. සමාජ දෘෂ්ටිවාදයේ දක්නට ලැබෙන පටු අදහස් සහ ආත්මාර්ථකාමිත්වය ද එම පරිහානියට දායක වී ඇත. මෙම ජනතා ව්‍යාපාරය ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන සහ ජාතිය, ආගම, කුලය, භාෂාව, පන්තිය සහ ලිංගිකත්වය යන වෙනස්කම් නොසලකා මුළු ජාතියම එක්සත් කරන සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය සහ විනිවිදභාවය මත ක්‍රියා කරන ගාන්ධි මූලධර්ම මත පදනම් වූ අවිහිංසාවාදී ව්‍යාපාරයක් විය යුතු බව අපි/මම විශ්වාස කරමු. එම ජනතා ව්‍යාපාරයේ සහභාගීවන්නන්ගේ ජීවිත අවංක, සත්‍යවාදී, පරමාදර්ශී සහ විනිවිද පෙනෙන විය යුතු බව අපි/මම විශ්වාස කරමු.”
පුනරුද ව්‍යාපාරය පිළිබඳ අදහස වික්ටර්ගේ ලොකුම සිහිනය විය.
2017 වසරෙහි ඔහු විසින් ලියා පළ කරන ලද පුනරුද ව්‍යාපාරයේ අරමුණ මෙසේ විය. “පුනරුද ව්‍යාපාරය බලය අල්ලා ගැනීමට පොරකන තවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීමට අපේක්ෂා කරන්නේ නැත. ඒ වෙනුවට අපේක්ෂා කරන්නේ මහජනයා ජාලගත කරමින් ඔවුන්ට අධ්‍යාපනයක් ලබා දෙමින් ජාතිය ගොඩනගා ගැනීමට පුළුවන්කම ලැබෙන දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන සමාජය හා රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන බුද්ධිමය සමාජ වටාපිටාවක් ඇති කිරීම ය. පුනරුද ව්‍යාපාරයේ අවම ඉලක්කය සාමාජිකයන් දස ලක්ෂයකි.”
පෙයාර්ස් ගෙඩියක රසය දැන ගැනීමට අවශ්‍ය නම්...
රට පුරා යම් පිබිදීමක් ඇති කළ පුනරුද ව්‍යාපාරය නායකත්ව සහ පාරදෘශ්‍යතා ප්‍රශ්න මත ඇණ හිටියේය. සාමාජික සාමාජිකාවන් දශ ලක්ෂයක් යනු සිතිය නොහැකි තරම් සුවිසල් සංවිධාන රටාවකි. මා මෙයට පෙර ද ලියා ඇති පරිදි 1969 මුල් කාලයෙහි දවසක අම්බලන්ගොඩ, බටපොළ පැවැති ගාලු දිසා ජවිපෙ කමිටු රුස්වීමක දී මා තුළ ඊයම් බරුවක් මෙන් කා වැදී ගිය වික්ටර්ගේ ලකුණ පුනරුද ව්‍යාපාරය තුල ද තිබුණි. එනම් අසීමිත ආත්ම විශ්වාසය සහ ලොකුවට සිතීම යි. ඔහු යථාර්ථය වෙනස් කිරීමට පොර බැදුවේ, එයට පිටින් සිටීමිනි.
“ඔබට පෙයාර්ස් ගෙඩියක රසය දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබ එය ඔබ ම අනුභව කිරීමෙන් පෙයාර්ස් ගෙඩිය වෙනස් කළ යුතුය. විප්ලවයේ න්‍යාය සහ ක්‍රම දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබ විප්ලවයට සහභාගී විය යුතුය.” යැයි මා ඕ සේතුං කීවේ ය.
මා ඕ සේතුං
විප්ලවය පමණක් නොව සමාජය ද වෙනස් කිරීමට නම් අප එම ක්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුය.
2022 ජන අරගල ව්‍යාපාරය තුළ එකී පුනරුද ව්‍යාපාරයේ අදහස් සහ අරමුණ බලවේග ද ජීවමාන විය. ඔහුගේ දේශපාලන ජීවිතයේ ද අරමුණ වූ සාධාරණ යුක්තිගරුක සමාජයක් පතා දශ ලක්ෂයක් ජනයා වීදි බට අවස්ථාවෙහි වික්ටර් ඊට පිටු පෑවේ මන්ද?
පිළිතුර ඇත්තේ හමන සුළඟෙහි ය.
ඒ කෙසේ වෙතත් වික්ටර් සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සමඟ බැදී සිටි හුය එමගින් සහමුලින්ම කපා හැරීමට නොහැක.
ඔහු එක්තරා කාලයක ප්‍රදීපස්තම්භයක් විය.
මූලාශ්‍රmidpoint.lk

සුනන්ද දේශප්‍රිය

