ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හඳුන්වා ඇත.
‘පීරිස් පියතුමාණෝ ධර්මධර ව, විනයධර ව, ඥානවෘද්ධ ව, චිරකාලඥ ව, ශාස්ත‍්‍ර සාගරයේ නිමග්න ව අපිස් සතොස් ගුණයෙන් ශෝභමානව වාසය කරති, පීරීස් පියතුමාණන් ශ‍්‍රී ලාංකේය ශාස්ත‍්‍රාලෝකයේ ඥාන විද්වජ්ජන ප‍්‍රදීප මාලාවේ අවසන් සිළුවකැයි පැවසීම සපුරාම අර්ථවත් ය’
දැනුමෙන් සන්නද්ධ පඬිරුවනක්

සිය පූජක දිවියේ 50වෙනි ජයන්තිය සමරණු ලබන ජේසු නිකායික ගරු මහාචාර්ය ඇලෝසියස් පියතුමා (ඇලෝයි පියතුමා) මේ වන විට 81වන වියෙහි පසුවේ. 1953 දෙසැම්බර් මස 23 වැනි දින ජේසු නිකායට ඇතුළු වූ මෙතුමා 1965 ජූලි මස 4 වැනි දින පූජක පුතෙකු ලෙස සිය එඬේරික කාර්‍යය ආරම්භ කලහ. ජේසු නිකායික පියවරුන් විසින් කරනු ලබන අම්පිටිය සා මරියා විදුහලෙත්, ගාල්ල සා. ඇලෝසියස් විදුහලෙත් මූලික අධයාපනය හදාරණ මෙතුමා ඉන්පසුව L.Ph (S.H.C., Shembaganur), S.T.L. (Pontifical Theology Faculty, Naples), Ph.D (Sri Lanka Univercity), ThD (Tilburg), Diploma in Prepolyphonic Music (Venice). සහ ලන්ඩන්, කේම්බි‍්‍රජ්, ඔක්ස්ෆර්ඞ් යනාදි සරසවි ගණනාවක කථිකාචාර්යවරයකු ලෙසද, සුදුතුම් පියාණන් යටතේ පාලනය වන සරසවිවල මෙන්ම රෙපරමාදු සභාවලට අයත් සරසවිවල ද දේවධර්ම පීඨ හෙබ වූ මහාචාර්යවරයකු ලෙස ද, භාෂා නවයකින් පළවුණු ශාස්ත‍්‍රීය ලිපි සහ ග‍්‍රන්ථ සංඛ්‍යාවක කතුවරයකු ලෙස ද, පෙර අපරදිග තෘතීය අධ්‍යාපන සේවයේ නියුක්තව ජාත්‍යාන්තර කීර්තිය දිනාගත් පඩිවරයෙකි. එමෙන්ම දෙවන වතිකාන මන්ත‍්‍රණ සභාවෙන් පසු එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට රදගුරුවරුන්ට දේවධර්මාචාරීවරයකු ලෙස සහාය දීම සහ ආසියාතික රදගුරු සම්මේලනයට දේව ධර්මයේ ප‍්‍රායෝගික සහ න්‍යායාත්මක කරුණුවලින් රදගුරුවරු දැනුවත් කිරීම සඳහා ද එතුමාව පත් කර තිබුණි.
තව ද එතුමා පාලි සහ සංස්කෘත සම්බන්ධව ප‍්‍රථම පංතියේ ගෞරව උපාධියක් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා අතර, විද්‍යෝදය විශ්වවිද්‍යාල පිරිවෙනින් බෞද්ධ දර්ශනය පිළිබඳ දර්ශන විශාරද (Ph.D) උපාධිය ලබා ගත් පළමු ලාංකීක කිතුනු පූජකවරයා ද වන්නේ ය. කැලණිය සරසවියේ පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ පරීක්ෂකයකු සහ උපදේශකයෙකු ලෙස ද, පාලි හා බෞද්ධ විශ්ව විදයාලයේ තුලනාත්මක ආගම් පිළිබඳ කථකාචාර්ය ලෙස ද සේවය කර ඇති අතර, පාලි භාෂාව සහ සාහිත්‍යය පිළිබද සහ ආභිධාර්මික චින්තනය පිළිබඳ මෙතුමා විසින් මෙතෙක් පළ කරන ලද ශාස්ත‍්‍රීය ලිපි එකතුවක් ද එළි දක්වා ඇත. බෞද්ධ ධර්මායතනයට එතුමා ගෙන් ලද දායකත්වය ඇගයීමක් වශයෙන් ශ‍්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමය මගින් එහි (SLABS) ගෞරව සාමාජිකත්වය ද වසර කිහිපයකට පෙර එතුමාට පිරිනමන ලදි. එතුමා සම්බන්ධයෙන් දැනගන්නට ලැබෙන නවතම තොරතුර නම් ඉතා කලාතුරකින් කෙනෙකුට පිරිනමනු ලබන කැලණිය විශ්ව විද්‍යාලයේ ‘සාහිත්‍ය චක‍්‍රවර්ති’ සම්මානය ද එතුමාට පිරි නැමීම ය.
ආසියානු දෙව් දහමක් ගැන පර්යේෂණ
ආසියාතික දෙව් දහම පිළිබඳව පර්යේෂණ රැසක් කරමින් එය ලෝකයාට හඳුන්වා දෙමින් දේශීය ජන වන්දනාවේ පුරෝගාමියකු ලෙස කටයුතු කරනු ලබන ගරු ඇලෝයි පියතුමා දේශීයකරණය යනු හුදු සංස්කෘතිය පමණක් නොව ඉන් ඔබ්බට ගිය එ් සඳහා සංස්කෘතිය සමග බැඳුණු තවත් බොහෝ කාරණා ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර පෙන් වූ පර්යේෂකයෙකි. එසේම අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය මහ නාහිමියන්, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්, මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, මහාචාර්ය කාකපල්ලියේ අනුරුද්ධ ආදී වියත් හිමිවරුන් රැසක් ඉතා සමීපව ඇසුරු කරමින් දැනුම පරිශීලනය සහ බුද්ධිය පුළුල් කර ගනිමින් අන්තර් ආගමික සංහිදියාව සම්බන්ධව හැදෑරී ය. ලංකාවේ සහ ආසියාවේ විවිධ පන්සල් තුළ උපාසකයකු ලෙසත් ඉන්දියාවේ හින්දු දහම ආශ‍්‍රිත ස්ථානවල හින්දු අනුගාමිකයකු ලෙසත් පෙන සිටිමින් ප‍්‍රායෝගිකව සිය පර්යේෂණ කටයුතු සිදු කළ මෙතුමා ආසියාවේ විවිධ ආගම් සමග කිතු දහම සංවාදයකට යා යුතු බවට අදහස් පළ කළ අතර, 70 දශකයේ සිට ම එ් වෙනුවෙන් පර්යේෂණ කරමින් වෙහෙස මහන්සි විය. මෙතුමා විසින් මේ සම්බන්ධයෙන් ලියා පළ කරනු ලැබූ පර්යේණ ග‍්‍රන්ථ ද රාශියකි. මේ සියල්ල හුදු න්‍යායාත්මකව ලියූ කරුණු නොව ප‍්‍රායෝගිකව වෙහෙස මහන්සිව ලබා ගත් අත්දැකීම් හා දැනුම න්‍යායක් බවට පත් කරමින් කරනු ලැබූවකි.
එලෙසම කැලණිය ‘තුලන’ පර්යේෂණ ආයතනය තුළින් විද්‍යාර්ථයින් රැසකට සිය පර්යේෂණ සදහා ම`ග පෙන්වීම ලබාදීම සුවිශේෂ වේ. භාෂා 13 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිපුණයෙකු වන මෙතුමා විවිධ පර්යේෂණ ග‍්‍රන්ථ සහ ලිපි ලේඛණ රැසක් ලියා ඇත.
ආසියාවේ දිළිඳුකම සහ දේශපාලනය
ආසියාතික ආගම් සහ වෙන් නොකළ හැකි ලෙස බද්ධ වී ඇති ආසියාතික දිළිඳුකම සම්බන්ධයෙන් ද ප‍්‍රබල ලෙස හඬ නැගූ ගරු ඇලෝයි පියතුමා දිළින්දන් වෙනුවෙන් වැඩි වැඩියෙන් සිය දූත කාර්‍යය යොමු කරලී ය. යුද්ධයෙන් අවතැන් වූවන් සහ විශේෂයෙන් අසරණයින් ගැන උණූ වූ සිතක් ඇති මෙතුමා ගේ මූලිකත්වයෙන් වසර විසි පහකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ කැලණිය ශ‍්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය ශ‍්‍රව්‍ය හා කථන ආබාධිත දරුවන් හට ශ‍්‍රවණඋපකරණ ලබාදී ඔවුන්ට කථනය පුහුණු කර සාමාන්‍ය දරුවන් ලෙස සමාජයට හුරු කිරීම සඳහා ඇති කළ අපූරු ප‍්‍රාතිහාර්‍යයක් බඳු ය. මේ සියල්ල සඳහා ම පසුපස සිටිමින් මූල්‍ය සහ උපදේශකත්ව සහාය ලබාදීමට ගරු ඇලෝයි පියතුමන් ගත්තේ විශාල පරිශ‍්‍රමයකි.
කලාවේ සහ සෞන්දර්‍යයේ දෙව් දහම

සංගීතය, සිනමාව, චිත‍්‍රකලාව යනාදි සෞන්දර්‍යාත්මක විෂය කෙරෙහි ප‍්‍රවීණ දැනුමකින් සමන්විත ඇලෝයි පියතුමා කලාවට සහ සෞන්දර්‍යයට දක්වන්නේ දැඩි ළැදියාවක්. එයට කදිම උදාහරණය වන්නේ එතුමා ජීවත්වන ජේසු නිකායික අසපුව වන කැලණිය, කොහොල්විල, ‘තුලන’ ආරාමය යි. එය තුළ එතුමා ගේ සංකල්පයට අනුව විවිධ කලාකරුවන් විසින් නිමවන ලද මූර්ති, චිත‍්‍ර ඇතුළු කලා කෘති විශාල ප‍්‍රමාණයකි. එ් අතරින්, සතර පෙර නිමිති, ජේසු කුඩා කළ දේවමාලිගයේ දේශනා කිරීම, ක‍්‍රිස්තුන් වහන්සේ ශ‍්‍රාවකයින් සමග පිඬු සිඟා වැඩීම, යුද්ධය මැද ක‍්‍රිස්තුන් වහන්සේව ළයට තුරුළු කරන් සිටින මරියාවන්ගේ පිළිරුව, යුද්ධයේ අතුරුදහන් වුවන් සංකේතවත් කරන මිනිස් රූප සහිත තාප්පය, යුද්ධය සහ මර්දනය පිළිබිඹු කරන කටුකම්බි අතර ඇති මුහුණු, විවිධ මිනිස් චෛතිසික මිදියුෂ බඳුන් තුළ ගර්භාෂගත කළ බඳුන් පේළිය, හුදෙකලා වූ නග්න මිනිස් රුව, මරියා සහ ජේසු බිළිඳු සංකේතවත් කරන සරස්වතී පිළිරුව, අතීශය මනස්කාන්ත ලෙස නිමවා ඇති ජේසුතුමා සමාරීය ස්ත‍්‍රිය ගෙන් වතුර පානය කිරීමේ දැවැන්ත පිළිරුව සහ පූජ්‍ය භාතියගම්මන උත්තරානන්ද හිමියන් විසින් අදින ලදි ක‍්‍රිස්තු චරිතයේ විවිධ අවස්ථා ඇතුළත් සිතුවම් රැසක් සහ උන්වහන්සේ ම සති කිහිපයකට පෙර අඹන ලද වත්මන් දේශපාලන භීෂණයට බියෙන් පලා යන ජේසු බිළිදු වඩාගත් මරියතුමිය ගේ මූර්තියද මේ අතර විශේෂිතය. තවත් කලාකෘති විශාල ප‍්‍රමාණයක් මේ අතර වෙයි. පූජ්‍ය භාතියගම්මන උත්තරානන්ද හිමියන් හට නිර්මාණකරණයට විශාල අත්වැලක් වූයේ ගරු ඇලෝයි පියතුමන් බව ද පැවසේ. එසේම සම්භාව්‍ය සංගීතය සම්බන්ධව විශේෂ හැදෑරීමක් සහ දැනුමක් ඇති මෙතුමා සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමේ හැකියාව ඇති වාදය නිපුණයෙකුද වේ. එසේම ‘තුලන’ මාධ්‍ය සහ සිනමා අංශය තුළින් බිහිකරනු ලැබූ නවක සිනමාකරුවන් රැසකි. මේ ලිපිය ලියන ලියුම්කරුවන මා පවා ‘තුලන’ සිනමා අංශයේ වසර දහයකට වැඩි කාලයක් පුරා මාගේ පළමු කෙටි චිත‍්‍රපටයේ සිට මේ දක්වා ජාත්‍යන්තරයට දොරටු විවර කර ගනු ලැබුවේ ඇලෝයි පියගේ සහායෙනි. එලෙස ජාත්‍යන්තර තලයට යෑමට ‘තුලන’ හරහා බිහි වූවෝ විශාල ප‍්‍රමාණයකි. ගුවන් විදුලි මාධ්‍යය, නාට්‍ය හා රංග කලාව, ජනමාධ්‍ය යනාදි අංශ රැසක් ‘තුලන මාධ්‍ය අංශය’ හරහා ක‍්‍රියාත්මක වේ.
දේශීය කිතුනු ජනවන්දනාවේ පුරෝගාමියා
ගරු ඇලෝයි පීරිස් පියනම බටහිර දේවධාර්මික චින්තනයෙන් මිදී ඉඳුරුදිග හීබෲ සංස්කෘතිය තුළින් බිහි වූ බයිබලයෙහි දැනුම සහ හරය උරාගෙන එය ආසියානු හා ශ‍්‍රී ලාංකීය හැඩයකට නිමවමින් දේශීය විමුක්ති දේව ධර්මය ගොඩනැගීමේ කාර්‍යයේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ ය. විශේෂයෙන් එතුමා විසින් කිතුනු ජනවන්දනාවට දේශීය හැඩය ලබාදෙමින් දේව ධාර්මික චින්තනයන් ඔස්සේ බිහිකළ නව ජනවන්දනා ක‍්‍රම රාශියක් අද වන විට ලාංකීය දේවස්ථාන තුළ අතිශය ජනප‍්‍රියව පවතිනවා. අප කවුරුත් දන්නා කතෝලික ජනවන්දනාවට දේශීය හැඩය එක් කළ ‘කිතුදන පුබුදුවේ’ දේශීය ජනවන්දනා ක‍්‍රම, දිව්‍ය පූජා විධි ක‍්‍රම බොහෝමයක්ම බිහි වූයේ ගරු ඇලෝයි පියතුමන් ගේ පර්යේෂණ ඇසුරින් කළ මගපෙන්වීම් ඔස්සේ එ්වා හැදෑරීම සඳහා ‘තුලන’ පර්යේෂණ ආයතනයට පැමිණි ‘කිතුදන පුබුදු’ සාමාජිකයින් හරහා ය. කතෝලික පෝරුව සහ එ් ආශ්‍රිත කිතුනු අෂ්ඨක සහ විවාහ විධික‍්‍රම රැසක් පවා එතුමා විසින්ම නිර්මාණය කරනු ලැබුවා. නව දේවධාර්මික දර්ශනය පිළිබදව එතුමා ලියූ ග‍්‍රන්ථ පරිශීලනය කරමින් පෙර අපරදිග සරසවිවල ශාස්ත‍්‍රපති හා දර්ශනවිශාර ද උපාධිලාභීන් විසින් සංස්කරණය කරන ලද පර්යේෂණ නිබන්ධන 35 කට ආසන්න ප‍්‍රමාණයක් බිහිවී තිබෙන බවද වාර්ථා වේ. එසේම අන්තර්ජාතික පර්යේෂණ සඟරාවක් වන “DIALOGUE” නමැති වාර්ෂිකයේ ආරම්භක සංස්කාරක වන එතුමා යුරෝපයේ පළවන “Concilium” නැමැති ජාත්‍යන්තර දේවධර්ම ශාස්ත‍්‍රික සඟරාවේ සංස්කාරක මඬුල්ලේ පළමුවන ආසියාතිකයා ලෙස ද දිගු කළක් සේවය කළේ ය.

උන් වහන්සේ අන්තර් ආගමික සන්හිදියාව වෙනුවෙන් කරන ලද සේවය අති මහත් ය. කතෝලික පියවරුන් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා රැසකගේ ගුරුවරයා වන මෙතුමා: බෞද්ධ ධර්මයට, ආගමික සහජීවනයට, කතෝලික දහමට, සිනමාවට සහ කලාවට පොදුවේ සමාජයට කරන ලද සේවය අතිමහත්ය. සමයාන්තර දහම් පිළිබඳව විශ්වකෝෂයක් වන උන් වහන්සේ ආගමික සංහිදියාව වෙනුවෙන් ලොව තුළ කළ සේවය අමිල ය. අද දින අප සියල්ලන් අතැර ස්වර්ගස්ථ වුවු ද, උන් වහන්සේ විසින් වපුරණ ලද ආගමික සහජීවනයේ සහ විමුක්ති දේව දහමේ බීජ තව පරම්පරා ගණනාවක් පුරාවටම මේ දහම් කෙත තුල සංහිදියාව, සහජීවනය හා විමුක්ති දේව දහමේ ඵල බෙදමින් මහා වෘක්ෂයන් බිහි කරනු ඇත.
ස්තුතියි ඇලෝයි සුවාම් ස්වර්ගයේ සතුටින් ඉන්න...!

සටහන: තිළිණ අලහකෝන්

