Image

ආචාර්ය නාගාර්ජුන ගේ තොටගමු විහාරය

ආචාර්ය නාගාර්ජුන ගේ තොටගමු විහාරය

ඈත කප්කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහතුට

වීතාරාගත් එර්දි නුවණක් පහළ කරවන ලෙවන් සැම හට

පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට

දෝත මුදුනේ තබා වැන්දෙමි නාථ දෙව් රජ නුවණ දෙන් මට

1990 මැයි 03 වෙනිදා ගාලු මහමෝදර රෝහලේ දී අපේ ජීවිතවලට එකතු වූ අමුත්තාට මගේ අලුත් ගුරුවරයාගේ නම දැම්මා.

‘නාගාර්ජුන’

එයා ගේ අම්මට ඒ නම විතරක් මදි නිසා ‘බිණූ’ කියල මුලට දැම්ම. එයාට බෙංගාලි සිනමාකරු සත්‍යජිත් රායිගේ ‘ඔපු ත්‍රිත්වයේ’ මතකයෙන් වෙන්න ඕන. ක්‍රි.ව. 01 – 03 අතරේ ජීවත් වූ මට කිසිදා හමුනොවූ නාගාර්ජුන දැන් මාත් එක්ක ජීවත්වෙන්න පටන් ගත්ත. අපි එයා ගෙදරට කැන්දා ගෙන එන අතරේ විහාරයට ගියා.

ඉහත කවිය ගායනා නොකෙරෙන දවසක් අපේ ගෙවල්වල තිබුණේ නෑ. පස්සේ කාලේ මම බිණු නාගාර්ජුන නිදි කරන්න මේ කවිය ගායනා කළා. හැබැයි වැඩිපුර කීවේ කුමරතුංගයන් ගේ දරු නැළිවිලි ගී.

ලංකාවේ විහාර ගෙයක් තුළ තිබෙන එකම අනංග ප්‍රතිමාව

තොටගමු විහාරය ලංකාවේ තියෙන අපුරුම තැනක්. 1805 ඉදිකරපු අලුත් විහාරගෙට ඇතුළු වෙන විට පේන්නේ අනංග ප්‍රතිමාව. ලංකාවේ විහාර ගෙයක් ඇතුළෙ තියෙන එකම අනංග ප්‍රතිමාව. දකුණු පැත්තේ උස් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව. කෙළවරේ අඳුරු පිළිමගෙයි සැතපෙන පිළිමය. පිළිමයේ දෙපා අසල විෂ්ණු ප්‍රතිමාව. 16 වන සියවසේ දී පෘතුගීසීන් පොළොවට ම සමතලා කරපු තොටගමු විහාරෙ 19 සියවසේ මුල යළිත් ඉදි කෙරෙද්දි කෝට්ටේ සංදේශ කාව්‍යවල වර්ණනා කෙරෙන මේ දේව ප්‍රතිමා ආවේ කොහොම ද? අවුරුදු 300ක්ම අපේ මුතුන් මිත්තෝ නාගාර්ජුන අනුබුද්ධගේ හීනවල ජීවත්වෙන්න ඇති. ඔවුන්ට සැබවින්ම දකින්නට නැති තොටහමු විහාරයේ දෙවිවරුන් සමග සිහිනවල දී ඉන්න ඇති.

මදාවි චේගුවේරාකාරයෝ

අපි පංසල් ගියේත්, දහම් පාසල් ගියේත්, තෙල්වත්තේ පුරාණ තොටගමු රජමහා විහාරටයි. සලාක දානයත් වස් දානයත් දුන්නේත් එතනටමයි. එක පරම්පරාවකින් පිරිමි දරුවෙක්, දෙන්නෙක් තොටගමු විහාරේ පැවිදි කිරීම පහුගිය සියවසේ අවසානය තෙක්ම චාරිත්‍රයක් හැටියටයි තිබුණේ. 1970 ගණන්වල මැද මම ඉගෙන ගත් දහම්පාසලේ ම උගන්වමින් හිටියේ. ඒ සන්දියේ තමයි පංසලේ මිනීමැරුමක් වුණේ; අපවත් කර තිබුණේ වේරගොඩ ආරියවංශ හිමි.

ආවාස ගෙවල් තුනකින් පාලනය වූ තොටගමු විහාරයේ කහවේ පංසල නමින් ප්‍රකට වූ එම ගමේ සඟ පරපුරටයි විහාරේ දේපලවලින් තුනෙන් දෙකක් අයිති. කහවේ පංසලේ හිටියේ වේරගොඩ ආරියවංශ. එයා බලි, බිලි දෙමින් හදි හූනියම් හා අංජනම් පෙන්වමින් ජීවනෝපාය කර ගත් කෙනෙක්. හැබැයි එයා ළඟ යහමින් මුදල් හදල් ගැවසුණා.

දවසක් එයාගේ ආවාසේ දොරේ මෙහෙම කවියක් ලියල තිබුණ.

පීරිසි තට්ටුවේ ගාගෙන පාං දැළි

ආරියවංශ බලනව අංජනම් එළි

තොටගමු විජයබා පිරුවෙන්පති රාහුල සඟරජුට නෑකම් ඇති කවියකුගේ කවිකමක් එහි තිබුණත් ඒ කවි දෙපදෙ පස්සෙ කවුදෝ මැකුව. එයාට අපි වරදක් නොකළත් එයා අපි දකිනකොට ම කිව්වෙ ‘මදාවි චේගුවේරාකාරයෝ’ කියල.

පංසලේ දේපොළ නඩුවක්

“ආරියවංශ ලොක්ක මරල” දවසක උදේ හතර පේරුවේ ගම් පුරා ආරංචියක් වාරකං හුළඟක් වගේ පැතිරුණා. අපි පංසලට දිව්ව. එතකොටත් මීටියාගොඩ පොලීසිය ඇවිත් නෑ. ආරියවංශ උන්නාන්සේ ආවාස ගෙයි මැද වැටිල ඉන්නව. කළුවර අල්මාරිවල තිබුණු පුස්කොළ පොත් එළියට ඇදල තැන තැන විසිරිල. පුස්කොළ පිටු අතරේ සල්ලි කොළ. මිනීමරුවෝ සල්ලි ගන්න නෙවෙයි ඇවිත් තියෙන්නේ. වෙන දෙයක් ගෙනියන්න. ටිකකින් පොලීසිය ආවා. හවස් වෙද්දී සුනඛ පොලිස් රාළහාමි කෙනෙකුත් ගෙනාව. අපි ඇස් විතරක් නෙවෙයි කටවල් ඇරගෙනත් බැලුව, හොඳටම බලා ගන්න.

unnamed 1

සුනඛ රාළහාමි ඉව අල්ලගෙන කෙළින්ම ගියේ මහ ආවාස ගෙට. පංසල පාලනය කළ වැඩිම සාමනේරවරුන් සහ උපසම්පදා භික්ෂුන් සිටි කෙහෙල්මුවේ ආවාසෙට. ඒක පුදුම වැඩක්නේ. හොරු - කොල්ලකාරයෝ නෙවෙයි ආරියවංශ මරල තියෙන්නේ. අනික් පංසලේ භික්ෂුන්. භික්ෂුන් තිදෙනෙක් හා බෙරවාදකයෙක් පොලිස් අත්අඩංගුවට ගියා. පංසලේ දේපොළ නඩුවක් වෙනුවෙන් ඔප්පු පැහැර ගන්නයි ආරියවංශ “නිවන්” යවල තියෙන්නේ ...!

මේ මිනීමැරුමෙන් පස්සේ ථෙරවාදයයි, සිංහල බුද්ධ සාසනයි දෙකම එපා වෙන්න පටන් ගත්ත. එහෙම ඈත් වෙච්චි මම වාම දේශපාලනයට එකතු වුණා. ඒත් ආයෙත් බිණු නාගාර්ජුන නිසා 1990 වෙද්දි ආයෙත් බුද්ධාගමට එන්න හැරුණ. මහායානිකයෙක් හැටියට. ආචාර්ය නාගාර්ජුනයන් ගේ අනුගාමිකයෙක් හැටියට.

ශූන්‍යතාවෙන් ඔබ්බට

බිණූබිණු නාගාර්ජුන

නාගාර්ජුනගේ ඉගැන්වීම් විසාලා මහනුවර මතකයෙන් ගැලවෙන්න විසාල සහනයක් වුණා. මා ගෙවා දැමූ 20 සියවසේ විසාලා මහනුවර සෑබෑවක් නොවේ ය, බියකරු සිහිනයක් ය, සිතීමෙන් මම හිත හදා ගත්ත. ඒක අමාරුම වැඩක්. මාත් එක්ක උරෙනුර ගැටෙමින්, ජීවිතය කැප කර උපන් රටේ ඉරණම වෙනස්කරන්නට වෙර දරා, මහමඟ මරා දැමුණු සියල්ලන් ම මේ බියකරු සිහිනයේ දී හමුවූවන් ය. ඔවුන් මට යළිත් තවත් සිහිනයක දී හමුවෙනු ඇත, යනුවෙන් මතකය මරා දැමීම අපරාධයක් හැටියට පෙනුනේ නෑ. නාගාර්ජුන ගේ හොඳම ගෝලය අශ්වඝෝෂ තෙරුන්. එයා දවසක් වනාන්තරයක් මැදින් යද්දී පල් හොරු රංචුකට අහුවෙනව. හොරු රැළ අශ්වඝෝෂට හොඳටෝම ගහනව. එයා මේ පහරදීමෙන් මැරෙන්න කලින් මෙහෙම කියනව.

“පහර කෑවෙක් නැත. පහර දුන් කෙනෙක් නැත. මියයන්නෙක් ද නැත. සියල්ල ශූන්‍යය.”

අශ්වඝෝෂ තෙරුන් එසේ කීවත් මට අලුත උපන් බිණු නාගාර්ජුන ජීවත්කරවීම තිබුණේ මේ ශූන්‍යතාවයෙන් ඔබ්බේ ය.

මතු සම්බන්ධයි.

නන්දන වීරරත්නනන්දන වීරරත්න

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න