Language Switcher

V2025

චම්පික ඇවන්ඩ්ගාඩ් චෝදනා අලුත් කරයි : මෙවර බරපතළ චෝදනාවක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව 2019 සැප්තැම්බර් මාසෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විනිශ්චයකාර ජනක් සිල්වා මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කොමිසම ඉදිරියේ අද දින (2020.07.06) පෙනී සිට පරීක්ෂණ නිලධාරීන්ට ප්‍රකාශයක් දෙන ලෙස මා හට දන්වා තිබුණා. ඒ අනුව මා ඒ සම්බන්ධයෙන් මාගේ ප්‍රකාශය එම නිලධාරීන්ට අද ලබාදුන්නා" යැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද(06) පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

කොමිසම හමුවේ  මම විශේෂයෙන්ම අවධාරණය කළා, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් මුස්ලිම් අන්තවාදීන් අතර ක්‍රියාත්මක වෙන බවට තොරතුරු බොහොම පැහැදිළිව කාලාන්තරයක් තිස්සේ ආරක්ෂක අංශවලට ලැබී තිබුණ බව. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා 2019 පස්වෙනි මාසෙ පේරාදෙණියේ රාජෝපවනාරාමයට ගිය වෙලාවේ එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ වන කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමිපාදයන් වහන්සේට කරන ප්‍රකාශයක් පිළිබඳවත්. එතෙන්දි එතුමා පිළිඅරගෙන තිබුණා මේ අන්තවාදී පිරිස්වලට රජයේ බුද්ධි අංශ විසින් පඩි ගෙව්ව, තොරතුරු ලබාගත්තා, ඒවට ඇතුල්වෙලා කටයුතු කළා කියල. එහෙම තත්ත්වයක් තිබුණ නම් ඒ කවර පුද්ගලයින්ට ද ? මේ අන්තවාදී, මූලධර්මවාදී ඉස්ලාමීය පිරිස්වල කවර පුද්ගලයින්ට ද ඒ මුදල් ගෙව්වෙ ? කවර පුද්ගලයින්ගෙන් ද තොරතුරු ගත්තේ ? ඒ අයගෙන් මේ තොරතුරු ලැබුණෙ නැද්ද , එහෙමත් නැත්නම් ඒ අය මේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ ද නැද්ද ? කියන එක පිළිබඳවත් විශේෂ විමර්ශනයක් අරඹන හැටියට මම එහිදී ඉල්ලා සිටියා.

ඒ වගේම අපිට වාර්තා වෙලා තිබුණා විශේෂයෙන්ම රාජපක්ෂ යුගයේ වකවානු ගණනාවක ඇවන්ගාර්ඩ් ආයතනය විදේශීය නාවුක ආරක්ෂකයින්ට සන්නද්ධ පුහුණුව ලංකාවෙදි ලබාදෙන ක්‍රියාවලියක්. මෙවැනි ඉස්ලාමීය අන්තවාදීන් ඇවන්ගාර්ඩ් ආයතනයේ පුහුණුව ලබාගත්ත ද ඒ අය මේවට සම්බන්ධද කියන එක පිළිබඳවත් විශේෂ විමර්ශනයක් කරන ලෙස මම කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා. මම මේ රටේ ජනතාවට කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ යම් යම් දේශපාලන බලවේග, යම් යම් ව්‍යාපාරික බලවේග ක්‍රියාකරල තියෙනවා, පටු දේශපාලනික ක්‍රියාවලියෙන් ඔබ්බට ගිහිල්ල ඒ සියලු දෙනා සම්බන්ධයෙන් මේ කොමිෂන් සභාව සොයල බලල ඒ සියලු දෙනාම හෙළිදරව් කරන්න කටයුතු කරන්න ඕන.

මගේ අල් ජිහාඩ් අල් කයිදා කියන කෘතිය නිකුත් වුණේ 2003 වසරේ. එහි සඳහන් වෙලා තිබුණෙ විශේෂයෙන්ම අර ඔලුවිල් වල ඒ වකවානුවේ පැවතිච්ඡ සාම සාකච්ඡා කාලේ අග්නිදිග කලාපයේ වෙනම රාජ්‍ය්‍යක් පිහිටුවීමට ඇතැම් මුස්ලිම්වරු ක්‍රියාකිරීම පිළිබඳවත් එහි ඓතිහාසික  තත්ත්වය මොකක් ද, අනාගත තත්ත්වය මොකක්ද කියන කාරණායි. මම ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මේ ක්‍රියාවලිය පිළිබඳව රාජපක්ෂ යුගයේ සිටන් ම එනවා. යහපාලන කාලෙ ඉඳන් එක එකක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයම පිළිඅරගෙන තියෙනව ඒ වකවානුවේ මේ අන්තවාදී පිරිස් වලට ඇතුල් වුණා ආරක්ෂක අංශවල බුද්ධි අංශ. ඔවුන්ට පඩි ගෙව්වය කියල. ඒව ඒ අය විසින් විමර්ශනය කරන්න ඕන. යහපාලන යුගයේ වුවත්, රාජපක්ෂ යුගයේ වුවත්, මේ වර්තමාන කාලෙ වුණත් සිදුවුණු දේවල් පිළිබඳව. බුද්ධි අංශ, බුද්ධි අංශ කියල එගොල්ලන්ව කිසිම ආකාරයක නියාමනයන්ට ලක්විය යුතු නෑ. මොකද ඒගොල්ලො කරන දේවල්වලින් සමහරවිට රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේශපාලන බලපෑම නිසා. ඒ නිසා ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න ඕන කියල මම ඉල්ලීමක් කළා.

තව සතියක් දෙකක් යනකොට කෝවිඩ් වසංගත තත්ත්වයක් එක්ක පවතින සෞඛ්‍ය නියාමනයන් එක්ක කටයුතු කරයි කියල මම හිතනවා. ඒක සෞඛ්‍ය බලධාරීන්ගෙත් වගකීම. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා මැතිවරණ කොමිසමට, මැතිවරණය පැවැත්වීම සඳහා නීතිමය කටයුතු හරියට සිද්ධවෙලා නැහැ කියල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරනවා. ඒවාට වහාම පිළියම් යොදල නීතිමය තත්ත්වය, නිරෝධායන තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට ලබාදෙන්න ඕන කියල.

ඒ වගේම අපි බොහොම පැහැදිළිව කියනවා අද මේ ආණ්ඩුව නිරෝධායන නීති පදනම් කරගෙන මර්ධනය කරන්නෙ විපක්ෂය විතරයි. කවුරුහරි පෝස්ටරයක් ගැහුවොත් ඒක ඉරනව. නමුත් අද පේනවා ඔබලාට කොළඹ නගරයේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ පෝස්ටර් දිදුලනව. ඒවා පොලීසියට පේන්නෙ නෑ. පොලීසියට මැතිවරණ කොමිසම නියෝගයක් දුන්නත් ඒව කරන්නෙ නෑ, ඒ අයගෙ කාර්යාල, ඒ වගේම පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් මේ නිරෝධායනයට මුවා වෙලා ලබාදීල තියෙනවා. ඒ ගැන අපේ බලවත් විරෝධය පළ කරනවා.

නිරෝධායනයක් රටේ අවශ්‍යයි.  රටේ වසංගත තත්ත්වයක් තියෙනවා, මැතිවරණ උණුසුම නිසා ඒක යටපත්වෙලා තිබුණත් තාමත් රෝගීන් හමුවෙනවා. ඒ නිසා නිරෝධායන නීති රීති වලට අනුකූලව පවත්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනයට සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට උදව් කරන්න ඕන. නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේක මගහැරියොත් මේ තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.

.