Language Switcher

V2025

බුදුන් සහ දහසක් නිම්න..!

බුදුදහම තුල සඳහන් ආත්මය යන්නෙහි ප්‍රතිවාදය 'ආත්මයේ නොපැවැත්ම' (no self) යන්න නොවන බව ඩී. ටී. සුසුකි පෙන්වා දෙනවා. ආත්මය සොයා ගත හැක්කේ කරන ක්‍රියාව තුළන් බවත් ගවේෂණය (සොයා යාම) සැක කිරීම සහ නිශේධනය යන ප්‍රපංච තුළ බුදුදහමේ ගවේෂනාත්මක ආත්මය (spirit of inquiry) සැඟව ඇති බව සුසුකිගේ මතයයි. යමෙක් ගවේෂණය ආරම්භ කරන්නේ ද ඒ තැනැත්තා සත්‍යය සහ ආලෝකය වෙත ක්‍රමානුකූලව ලංවෙන බව සෙන් බුද්ධාගම සඳහන් කරනවා.

ගවේෂණය කරන ආත්මය (මම) යන්න මුලික වශයෙන් පවතින බව මේ අනුව අප පිළිගත යුතු වෙනවා. හැබැයි සත්‍යයෙහි ස්වභාවය නම් අවසාන වශයෙන් මේ 'ගවේෂක මම' පවා සත්‍යාබෝධය ඇතුලේ දියවී යන යමක් බව අවබෝධ වීමයි.

සිදුහත් අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ගවේෂණය කළ සත්‍යය සහ සත්‍යාවබෝධය බුදුන් ලෙස රූපාන්තරණය වෙමින් මුලින් ම දේශනා කරන්න තෝරාගත්තේ පස්වග මහණුන් නම් බුදුන් වහන්සේ 'දන්නා කලාපයක්' (familiar entity) වෙත ආපසු හැරුණ කියල මට හිතෙනවා. ඒ කියන්නේ තමන් අවබෝධ කර ගත්ත ගැඹුරු ම සත්‍යයක් වෙනත් කෙනෙකුට තේරුම් කරලා දෙන්නත් යම් දාර්ශනික පසුබිමක් තිබ්බ අයවලුන් පිරිසක් අවශ්‍යයි කියල බුදුන් මුලින් උපකල්පනය කරනවා. ඒ අනුව තමයි එතුමා ඒ වනවිටත් දැන සිටපු පස්වග මහණුන් තෝරා ගන්නේ. ඒක තේරුම් ගත හැකි දෙයක්.

නමුත් ඒ ආපසු හැරීම ඇතුලේ තවත් විශාල ගමනක් ආරම්භ කරන එක එතුමන් වහන්සේට මඟ හැරුණාද කියල මට වෙලාවකට හිතෙනවා. මොකද අපි හිතමු පස්වග මහණුන් නෙවෙයි වෙනත් මේ සත්‍යය ගැන කිසිම් දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ සත්‍යාවබෝධය ගැන දේශනා කරන්න පටන් ගත්තා නම් ඒක ලොකු අහියෝගයක් වෙන්න තිබුණා. සමහර වෙලාවට ධර්මය පවා අපි දන්නා ආකෘතියෙන් වෙනස් වෙන්න තිබුණා.

අසිරිමත් ඉන්දියාවේ බෂාම් කියනවා බුදුන් තමන් උපන් දේශයෙන් කිලෝමීටර් තිහකට වඩා ඔබ්බට ගමන් කළා කියල කියන්න ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක නැහැ කියල.

ඒක මදකට ඇත්ත කියල හිතුවොත් අපිට උපකල්පනය කරන්න වෙනවා බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට තමන් දන්නා කලාපයක් ඇතුලේ විතරක් කාලය ගත කරලා තියනවා කියන එක සහ එතුමන් වහන්සේ කුමන හේතුවකට හරි දහසක් සානු, දහසක් නිම්න මුණ ගැසෙන නොදන්නා චාරිකාවක් (unknown journey) සඳහා ආශා නොකළ බව (නැවතුන බව). බුදුන් වහන්සේ නොකළ මෙම දැවැන්ත දේශාටනය පස්සේ කාලෙක කරන්නේ ධර්ම පචාරණය සඳහා පසුව ලෝකයේ හැම දිශාවකටම විසිරිලා ගිය භික්ෂුන් වහන්සේලා.

ඔවුන්ට තමයි මුණ ගැසෙන්නේ වෙනත් භාෂාවන් කතා කරන, වෙනත් දේශගුණික කළාපවල ඉන්න, වෙනත් සංස්කෘතීන් තිබ්බ මිනිස්සු. එතැනදී තමයි බුදුදහම විශ්වීය වෙන්න පටන් ගන්නේ. මුල් සංකල්ප වලට වෙනස් අර්ථකථන දෙන්න සිද්ද වෙන්නේ (පරම ශුන්‍යතාව වගේ). වෙනත් බෞද්ධ සම්ප්‍රදායන් ඇති වෙන්න ගන්නේ. මුල් දෙයින් ඛණ්ඩනය වෙන්නේ.

ආපසු නොඑන ගමනක් ගැන නොසිතපු බුදුන්ට තමන්ගේ කළාපය ඇතුලේ හිටපු එකම භාෂාවක්, එකම සංස්කෘතික වටිනාකම් තිබ්බ හුරුපුරුදු පිරිසක් (familiar crowd) හමුඋණා වෙන්න පුළුවන්.

යශෝදරා නැවත හමුවුණා. රාහුල නැවත හමුවුණා. සුද්ධෝදන රජ්ජුරුවෝ නැවත හමුවුණා. ඒ අයට ධර්ම දේශනා කළා. ඒ අය සත්‍යාවබෝධය ලැබුවා. ඒක ඇත්ත. හැබැයි භෞතිකව නැවත ආපසු නොඑන, එකම දෙයක් නැවත හමුනොවන, වෙනස් වෙනස් මිනිස්සු හමුවෙන සහ වෙන්වන, නොඅවසන් ගමනක් එතුමන් වහන්සේ ආරම්භ කළා නම් දේවල් කොපමණ වෙනස් වෙයිද කියල මට ගොඩක් වෙලාවට හිතනවා.

මේ නැවත නැවත හමුවීම නම් තේරීම (choice for returning) නිසා යශෝදරාට වගේම සුද්දෝධන රජ්ජුරුවන්ට උනත් නිදහසක් නැති උනාද කියලත් මට වෙලාවකට හිතනවා.

ආපසු ආවේ මුල් කෙනාම නොවන බව ඇත්තයි. හැබැයි කුමන විදියේ හෝ ආපසු ඒමක් තියනවා. මොකද බුදුන් වහන්සේ වෙනස් වෙලා තිබ්බට අනික් අය සාමාන්‍ය මිනිස්සු.

නැවත ආපසු නොඑන ගමනක් ගැන මට තියෙන්නේ ෆැන්ටසි එකක්. ඒකෙ කවුරුත් පැටලෙන්න එපා.

අද වෙසක්.

කෑගල්ලේ ගෝටාගෝ ගම ආරම්භයේ ගත්ත මේ ෆොටෝ එක සුජීවගේ. අරගලයේ දැක්ක අමුතුම ඉමේජ් එකක්. 'මම දෙස කිසිවෙකු බලා නොසිටි' වර්ගයේ නිදහසක් මේ ඝනීභවනය වූ ෆොටෝ එකේ තියෙනවා.

gotagogama sangaImage@ Sujeewa Ranathunga

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි