පරිවර්තනීය වෙනසකට ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදයක් - අධ්‍යාපන ඇමති

පරිවර්තනීය වෙනසකට ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදයක් - අධ්‍යාපන ඇමති

පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් තුළ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නිපුණතා පුනර්ජීවයට නව මාවත් විවර කරදීමට උත්සුක වන බව ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය සිසුන් අතර ප්‍රවර්ධය කිරීමේ වැඩසටහනකට ජාතික අධ්‍යාපන ආයතනයේ දී එක්වෙමිනි.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු දැනුම හා ගණිතය යන ප්‍රධාන විෂය ධාරා යටතේ ‘ස්ටෙම්’ (STEM) අධ්‍යාපනය නමින් ලොව මුලින් ඇරඹි මේ නව අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රමික ව සෞන්දර්යාත්මක විෂය ද බද්ධ කර ‘ස්ටීම්’ (STEAM) නමින් සංවර්ධනය කොට භාවිතයට ගත් ලොව දියුණු රටවල් ඒ හරහා සිය දළ ජාතික අදාය‍ම ඉතා ඉහළ ප්‍රතිශතයක් කෙටිකලක් තුළ උපයා ගැනීමට ද සමත්කම් දක්වා ඇති බවත් අප මේ නව ප්‍රවණතා හා යාවත්කාලීන වීමට දැක්වූ ප්‍රමාදය නිසා දශක ගණනාවකින් මෙරට අධ්‍යාපනය සේ ම ආර්ථිකය ඇතුළු සමස්ත රට ම පසුගාමී වී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

පන්තිකාමරයෙන් බැහැර ව විවිධ ආයතනික පරිශ්‍ර, ස්වාභාවික පරිසරයන් හා මුසු ව විවිධ පුද්ගලයන් ඇසුරෙහි අදහස් හුවමාරු කරගනිමින් නැවුම් අද්දැකීම් හරහා ප්‍රායෝගික ව ලබන අධ්‍යාපනය, ඉහළ ඵලදායීතාවක් සහිත නවෝත්පාදන බිහි වීම කෙරෙහි සෘජු ව ම බලපාන බව ජාත්‍යන්තර සමීක්ෂණ මගින් සනාථ වී ඇති බව කී අමාත්‍යවරයා එලෙස නව සොයාගැනීම් සිදු කළ කීර්තිමත් ලාංකිකයන් වර්තාමනයේ ලෝකයට ම සේවාවක් සැපයිය හැකි නිර්මාණ බිහි කර පේටන්ට් අයිතිය ලබා ඉහළ ආදායම් උපයන ව්‍යවසායකයන් බවට ද පත් ව තිබීම අප රටට ආඩම්බර විය හැකි කරුණක් වශයෙන් ද පැවසීය.

එවැනි කීර්තිධර ලාංකික විද්වතුන්ගේ ද සහාය ඇති ව මෙම නව ස්ටීම් අධ්‍යාපන සංකල්පය ඵලදායී ලෙස පාසල් පද්ධතිය තුළ ප්‍රායෝගිකත්වයට නැංවීම උදෙසා තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ මූලික අඩිතාලම මේ වන විට දමා ඇතැයි ද හෙතෙම පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න