Language Switcher

Ad

Ad 01

V2025

පාතාල දේශපාලඥයින්ගේ නම් හෙළි නොකරන හේතුව මෙන්න

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දේශපාලනඥයින්ගේ සම්බන්ධයක් ඇති බවට පැහැදිලිව පෙනීයද්දී, ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර්  පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.

එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.

“මේ ජාලය සැලකිය යුතු පදාසයක විහිදිලා තියෙන්නේ. සමහර ආරක්ෂක අංශ, සමහර දේශපාලන යාන්ත්‍රණ මේවාට සම්බන්ධයි. ඒවා පරීක්ෂණවලින් හෙළිදරව් වෙමින් පවතිනවා,” යනුවෙන් පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ජනතාව කලබල විය යුතු නැති බවත්, විශ්වාසයෙන් බලා සිටින ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

මෙම ජාලය කෙතරම් දුරට විහිදී ඇත්දැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගන්නා බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ අභිරහස් මරණය සම්බන්ධයෙන් ආරම්භ වූ පොලිස් විමර්ශනයේදී මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ඉඩම් දෙකක සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 284ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420ක් ඇතුළුව, මුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවයි.

මෙම මෙහෙයුමේදී, T-56 අවියක්, රිවෝල්වර පහක්, යතුරුපැදියක් සහ ලොරි රථ තුනක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ වනවිට එක් සැකකරුවෙක් අත්අඩංගුවේ පසුවන බව ඔහු සඳහන් කළේය.

අදාළ ඉඩමේ අයිතිකරු පිළිබඳව විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බව එෆ්.යූ. වුට්ලර් පැවසිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,243ක්, අයිස් කිලෝග්‍රෑම් 1,845ක්, හෂීස් කිලෝග්‍රෑම් 472ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක් සහ ගංජා කිලෝග්‍රෑම් 14,057ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම වැටලීම් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් හරහා විමර්ශන ක්‍රියාත්මක වන බවත්, අනාගතයේදී මේවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ජනතාවට තොරතුරු ලබා දිය හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.