Language Switcher

Ad

Ad 01

V2025

හිටපු ඇමතිගේ පියා, වකුගඩු රෝගීන්ට මුවාවී, ලක්ෂ 1350 කට ඇරලා !

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේම සිංහගේ පියා වූ, උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය H.B. සේමසිංහ,රුපියල් ලක්ෂ 1350 ක,මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇත.

මෙම මූල්‍ය අපරාධයට, උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් වන, K.H. නන්දසේන හා පුංචි බණ්ඩා රත්නායකද හවුල් වී ඇත.

එපමණක් නොව, උතුරු මැද පළාත් සභාවේ ලේකම් ධූරය දැරූ, ආනන්ද කුලරත්න හා පළාත් අමාත්‍යාංශ ප්‍රධාන ලේකම් සාන්ත දිසානායකද, දායකත්වය සපයා ඇත.

ඒ අනුව, උතුරු මැද පළාත් සභාවේ මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් 14 ක් මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වී ඇති බව කරන ලද පරීක්‍ෂණයකදී කරුණු අනාවරණය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන විට, එම ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමැති ධූරය දැරූ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහගේ, පියා වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය H.B. සේමසිංහ, මෙහි ප්‍රමුඛයා ලෙස කටයුතු කර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධූරය දරණ විට,H.B.සේමසිංහ, එම ආණ්ඩුවේ අනුරාධපුර දිස්ත්‍රික්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

පසුව ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරණ විට උතුරු මැද පළාත් සභාවේ ඇමතිවරයකු වශයෙන් පත්විය.

සෙහාන් සේමසිංහ හා H.B.සේමසිංහ පිය පුතු දෙදෙනා, මාරුවෙන් මාරුවට මහ ආණ්ඩුවේ සහ පළාත් සභාවේ ඇමැතිදූර දරමින්, හම්බන්තොට රාජපක්ෂලාසේ, අනුරාධපුරයේ දේශපාලනය, සේමසිංලාගේ පවුලට උරුම කර ගැනිණි.

උතුරු මැද පළාත යනු, වකුගඩු රෝගයට බහුල වශයෙන් ජනතාව ගොදුරු වී සිටින බල ප්‍රදේශයකි. එම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට මුවා වී, පළාත් සභාව සතු රුපියල් 13,41,20,000 ක්, මේ පිරිස අවභාවිතා කර ඇති බව පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.

එනම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ පියා වූ, බර්ටි ප්‍රේමලාල් දිසානායක, උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති ධූරය දැරූ, 2010, 2011 හා 2012 යන වර්ෂ වල මෙම මූල්‍ය වංචාව සිදු වී තිබේ.

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට අවස්ථා තුනකදී, ජල පෙරන යන්ත්‍ර 5000 ක්, 2500 ක් හා 5000 ක් යනාදී ආකාරයට එම යන්ත්‍ර 12,500 ක්,
සීමාසහිත ජිනසේන සමාගමෙන් මිලදී ගත් බවට ව්‍යාජ වංචනික තොරතුරු පළාත් සභාවේ ලේඛනවලට ඇතුළත් කර මෙම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකර තිබේ.

එම ක්‍රියාවට, සීමාසහිත ජිනසේන සමාගමේ, උතුරු මැද පළාත් සංවර්ධන කළමනාකරු ලෙස සේවය කළ, නලින් ගලේගොඩද හවුල් වී ඇත.

එපමණක් නොව, එවකට ජල සම්පාදන මණ්ඩලයේ වයඹ පළාත් භූගත කළමනාකරු, උපුල් සුසන්ත වික්‍රමරත්න, උතුරු මැද පළාත් සභාවේ ගිණුම් අධ්‍යක්ෂ, ඥානා විජේසිංහ, පළාත් සභාවේ සහකාර සැලසුම් ලේකම්, නන්දලාල් ගමගේ, මෙම ක්‍රියාවට හවුල් වී ඇති බව අදාල ලේඛන වල සඳහන්වේ.

එසේම, එවකට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහ සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, පළාත් ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ධුරය දැරූ ආරියදාස තලාකොටුවගේ, වෛද්‍ය නිලධාරී විජයරාජ දයානන්ද මෙයට දායකත්වය සපයා ඇත.

ලක්ෂ 1350 ක් පමණ වන මෙම මූල්‍ය අපරාධයට මහනුවර, ධර්මාශෝක පාරේ, අංක 133 දරන ස්ථානයේ පදිංචි, චන්දන කුඩා බණ්ඩාර සෙනෙවිරත්න හා දෙහිවල, කළුබෝවිල, සුනන්දා නන්ද පාර, එඩ්මන්ඩ් පෙදෙස, අංක 3 දරන ස්ථානයේ පදිංචි අසංක වෙනුර රණසිංහ යන පුද්ගලයන් දෙදෙනාද, මෙයට වගකිව යුතු බවට අදාළ පරීක්ෂණයෙන් සනාථ වී තිබේ.

රුපියල් 13,41,20,000ක් යනු සුළුපටු මුදලක් නොවේ. එබැවින් මේ සිද්ධිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉක්මනින්ම පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුය.

වකුගඩු රෝගීන් යනු, මොනතරම් අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයට පත් වී සිටින පිරිසක්ද.? ඔවුන්ට එම රෝගය සුව කර ගැනීම සඳහා උපරිම සහාය ලබාදිය යුතුය.
එවන් පසුබිමක් තුළ ඔවුන්ට සහන සැලසීමට මුවාවී, උතුරු මැද පළාත් සභාව සතු, රුපියල් කෝටි 14 කට,ආසන්න මුදලක්, මේ මැති ඇමතිවරු සහ නිලධාරීන් එකතු වී වංචා කිරීම මොනතරම් නින්දිත ක්‍රියාවක්ද.?


(සටහන:- ශ්‍රී ලාල් ප්‍රියන්ත)
ethalayanews.com