Language Switcher

Ad

Ad 01

V2025

රටට, ජනතාවට, ව්‍යාපාරිකයන්ට හිතැති IMF ගිවිසුමක් සඳහා යොමු වන්න - සජිත් ප්‍රේමදාස රජයට අවධාරණය කරයි

මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් බද්ද ඉවත් කරන්නේ කරන්නේ ඇයි ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමිනි.

එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා...

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු

''සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු යි. තනි පුද්ගලයන් ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු යි. අදටත් ක්ෂුද්‍ර ආර්ථිකයේ පුද්ගලයා ජන ප්‍රජාව ගෘහ එකක මත පීඩනයක් පවතිනවා. මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් එක අයින් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. මැතිවරණයේ දී පොරොන්දු වු ආකාරයට නව IMF ගිවිසුමකට ගියා නම් අපනයන හිතකාරී එස් වැට් එක තබා ගත හැකි වුවත් අද එය ඉවත් කරනවා. එස් වැට් හරහා අපනයනකරුවන්ට මුදල් ප්‍රවාහ ගැටලු ලිහිල් කරනවා. ලියාපදිංචි එස් වැට් සහභාගීවන්නන් අතර සැපයුම් කිරීමේ දි එකතු කළ අගය මත බදු අත්හිටුවනවා. මෙය අපනයන හිතකර තත්ත්වයක්. අපනයන ප්‍රවර්ධනය වෙනවා.

සැපයුම්කරුවන්ගෙන් වැට් අය කරනවා වෙනුවට එස් වැට් බදු ඉන්වොයිස් එකක් නිකුත් කිරීමක්. අපනයනකරුවන් ගැන කැක්කුමක් ඇත් නම් IMF කොන්දේසි මත මේවා ඉවත් කරන්නේ ඇයි? මෙහි අහිතකරභාවය වන්නේ අපනයන කරුවන් තුළ මුදල් ප්‍රවාහ ගැටලුවක් නිර්මාණය වීමයි. ඒපමණක් නොවෙයි: ප්‍රමාදවීම් සිදුව, කාලය මිඩංගු වී, කාර්යක්ෂමතාව අඩුවී , පරිපාලන වියදම් වැඩි වී, අපනයන ක්ෂේත්‍රයේ තරග කරන්න ඇති රටවල් මේ ප්‍රශ්නයේ දී වේගවත්ව කටයුතු කරන නිසා අප රටට අවාසියි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු පවා නිර්මාණය වෙනවා.


කාර්තු දෙකක ආර්ථික වර්ධන ඉලක්ක අභිභවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්

IMF එක 2024 ජුනි මාසයේ වැට් අනුකූලතාව සහ බදු එකතු කිරීමේ අරමුණින් කියා කොන්දේසියක් පනවා තිබෙනවා. කාර්තුවක් පාසා ලබා දෙන ඩොලර් බිලියන 2.9 සඳහා කොන්දේසි දමා තිබෙනවා. මේ නිසා අප රටේ අපනයකරුවන් බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. අවසාන මොහොතේ හෝ IMF සමග සාකච්ඡා කර එස් වැට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඩිජිටල්කරණය සම්පූර්ණ වන තුරු මෙය කල් දමා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

පසුගිය කාලයේ රට බංකොලොත් වීම නිසා 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන්වත් IMF කියන පදයට නටන්නේ නැතිව කටයුතු කරන්න. එසේම ඇමතිවරයා ඉදිරිපත් කළ සුබවාදී තොරතුරු මත කිසිම අවස්ථාවක කුහක‌ දේශපාලනයේ නිරත වෙන්නෙ නැහැ. කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්. නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරනවා. පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට ගියා නම් 2033 සිට ණය ගෙවන්න පුළුවන්.


දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි

ආයතන ගණනාවක් අප රටේ දළ වශයෙන් සියයට 50ක් විවිධ දරිද්‍රතාවෙන් පෙළෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන සහ ආයෝජන දරිද්‍රතාවෙන් පෙළෙනවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොඳ වුනත් අස්වැසුම නිසා දුප්පත්කම නැති වෙන්නෙ නැහැ. එය හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගත් දෙයක්. අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම නැහැ. මෙය දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට පාරිභෝජනය සඳහා මූල්‍ය ශක්තියක් ලබා දීම පමණක් නිසා රටට දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි.''