ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී (මිනිස්ටර්) ලෙස කටයුතු කළ බී.ආර්.පී.එම්.ඒ. දේවේන්ද්‍ර එකී තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය, පෙත්සම් විභාගය අවසන් වනතුරු බලරහිත කරමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
2025 අගෝස්තු 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු එකී රාජකාරියෙන් ඉවත් කර යළි ශ්‍රී ලංකාවට කැඳවමින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දිසානායක විසින් 2025.7.16 දාතමින් නිකුත් කර තිබූ එකී ලිපිය බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, ඔහු එකී රාජකාරියෙන් මාරුකිරීම හා ඔහුගේ රාජකාරියට බාධාවන පරිදි කටයුතු කිරීම ද නිසි අධිකරණ තීන්දුවකින් තොරව සිදු කිරීම වළක්වමින් ද තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
සුමිත් දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන වගඋත්තරකරුවන්ට එකී අතුරු තහනම් නියෝග නිකුත් කෙරිණි.
සේවය අත්හිටුවීම අයුක්ති සහගතයි....
ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙසත් කම්කරු අමාත්‍යාංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාලක අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ වසර 22 ක නිකළැල් රාජ්‍ය සේවයකට හිමිකම් කියන රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන තමා 2024.09.02 වැනිදා එකී තනතුරට පත්කළ බවත්, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අවම වශයෙන් කළ වරද දැක්වෙන චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් නොකොට කිසිදු විනය පරීක්ෂණයකින් තොරව එලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා සේවය අත්හිටුවීම අයුක්ති සහගත බව පෙන්වාදෙමින් දේවේන්ද්‍ර ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
වසර තුනක කාලයක් සඳහා එකී තනතුරට පත්කිරීම නිසා සිය සේවාදායකයා ඔහුගේ බිරිඳ හා දරුවන් ද රැගෙන එරටට ගොස් සිටියදී පත්වීම ලබාදී වසරක කාලයක් ඉක්මයෑමටත් මත්තෙහි එලෙස තනතුරින් ඉවත් කර මාසයක කාලයක් ඇතුළත යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දීම ඉතා අයුක්තිසහගත බවත්, ඔහු වෙත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කළ බවට බලධාරීන් විසින් එරට බලධාරීන් දැනුවත් කර ඇති බවත් පෙන්වාදෙමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන කළ කරුණු දැක්වීම සලකා බැලූ එස්.යූ.බී. කරල්ලියද්ද හා ආචාර්ය ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝග නිකුත් කළහ.
එකී පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබාදුන් විනිසුරු සම්බන්ධයෙන් විවාදය ලබන ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළේය. සති දෙකක කාලයක් ඇතුළත පිළිතුරු දිවුරුම් ප්‍රකාශ තම අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
රජයේ අධිනීතිඥ අබිගල් ජයකොඩි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතර නීතිඥ සෙහාර හේරත් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.
තම අධිකරණයේ එකී නියෝග වහාම වගඋත්තරකරුවන් වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
(ceylonwire.lk)