ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා

ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා

ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයේදීය.

පුබුදු ජයගොඩ මෙසේද ප්‍රකාශ කළේය.

 


'' පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.

 


ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.

නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම සැක සහිතයි.


මෙම සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා


අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.

පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් - ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක  වෙනවා.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න