පාපන්දු ආයතනයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාපන්දු ආයතනයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා, මුදල් අවභාවිතය හා අනිසි මූල්‍ය පරිපාලනය පිළිබදව විමර්ෂණයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව වෙත පාපන්දු ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු සුනිල් සෙනවීර  පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ මහතා කොළඹදී ඊයේ (30) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මීට පෙර පාපන්දු ආයතනයට තමන් මෙම චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විමර්ෂණයක් ඉල්ලා සිටියත් එය අද දක්වා ඉටු නොවූ බැවින් තමන්ට කේෂ්ත්‍රයෙන්ම බොරු චෝදනා නගන්නන් බවට චෝදනා එල්ල වෙමින් තිබෙන තත්වයක් තුළ අල්ලස් කොමිසමට ගිය බවයි.

එහිදී සුනිල් සෙනවීර  මෙසේද පැවැසීය.


''පාපන්දු සභාපති ජස්වර් උමාර් ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න''



අප විසින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේ වූ එම සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

නමුත් අද වෙන කන් ඒ දේවල් ඉටු වුණේ නෑ. දැන් අපිට රටේ පාපන්දු කේෂ්ත්‍රයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඔයාලා බොරු චෝදනා ගෙනල්ලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා කියලා. අපි දැන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ සාධාරණ සුදුසු විමර්ෂණයක් කරලා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා.

එහෙම නැතිනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරන්න පියවර ගන්න කියලාත් අපි අල්ලස් කොම්සමෙන් ඉල්ලා සිටිනවා.

"රුපියල් 1,27,75,000 ක් වටිනා පාපන්දු මිලදී ගැනීම, ඇමැරිකානු ඩොලර් ලක්ෂ පහක් රුපියල් ගිණුමකට මාරු කිරීම, සෝලා ශූරතා ලීග ක්‍රීඩා සමාජ ඇදුම් මුද්‍රණය කිරීමේ ගනුදෙණුව, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමේ ගණුදෙනුව ආදී සිදුවීම් කීපයක් පිළිබදව චෝදනා කරමින් ගම්පොල පාපන්දු ලීගයේ හිටපු ලේකම්වරයෙකුද වන සුනිල් සෙනවීර  අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දුන් සෙනවීර මහතා පැවැසුවේ තමන්ට එරෙහිව ප්‍රතිපාර්ශව සැගවී නගන දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හැකි නම් එම චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩු පවරන ලෙස ඔවුන්ට අභියෝග කරන බවත්ය.


''දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි''


"මම හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙක්. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් ගැන කතා කර ඉදලා වැඩක් නෑ. දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි. ඒකට හේතුව පාපන්දු ආයතනයේ දූෂණය හා අනිසි මුල්‍ය පරිපාලනයයි.

අල්ලස් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී සුනිල් සෙනවීර  ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් පැවැති විමර්ෂණ අලලා හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වාර්තාවේ ප්‍රකාශ, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකයේ වාර්තා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක්ද ඇතුළුව ඇමුණුම් ලිපි ගණනාවක්ද බාරදී තිබේ.



''නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ''


මාධ්‍ය හමුව ඇමැතූ හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු හා පාපන්දු ආයතනයේ විනිසුරු කමිටුවේ හිටපු සභාපති ඒ. එම්. යාපා  පැවැසුවේ, දේශීය තරග මාලා වලින් තොර පාපන්දු දියුණුවක් රට තුළ අපේක්ෂා කළ නොහැකි බවත් පාපන්දු ආයතනයේ වත්මන් පරිපාලනය හමුවේ අද වන විට දේශීය තරග මාලා නැත්තටම නැතිවී ගොස් තිබෙන බවයි.

" අද ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. කතා කරන්න කෙනෙකුත් නෑ. ලීග් ඔක්කොම නිහඩයි. මහ සභාවට එන අය හැමදේටම අත් උස්සලා එළියට එනවා. අපි පාපන්දු ක්‍රීඩාවත් එක්කම හිටපු අය. ඒ නිසා ඒ ගැන නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ."යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට වත්තල පාපන්දු ලීගයේ ලේකම් ජූඩ් ප්‍රනාන්දු  ද සහභාගි විය.

(නාමල් පතිරගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න