Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

පිරිමින්ට පෙර කාන්තාවන් පිහිටවූ සුවිශේෂී ක්‍රිකට් වාර්තා 10ක්

සටහන :
ජාන්වී මූලේ
බීබීසී මරාති




කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෑතකදී ආරම්භ වූ බවට බොහෝ දෙනෙකු තුළ වැරදි මතයක් පවතී. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට වඩා බොහෝ පසුපසින් සිටින බව ය.

එහෙත්, කාන්තාවන් 18 වන සියවසේදී පවා ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ.

පළමු කාන්තා ක්‍රිකට් තරගය 1745 ජූලි මාසයේදී එංගලන්තයේදී පැවැත්විණි. කෙසේ වෙතත්, පළමු නිල ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගය 1934 දී පවත්වා ඇත.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මදක් මන්දගාමීව සිදුව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආරම්භ වී තිබේ.

විශේෂයෙන් එක්දින ජාත්‍යන්තර තරගවලදී, කාන්තාවන් පිරිමි ක්‍රීඩකයින්ට පෙර වාර්තා රාශියක් පිහිටුවීමට සමත් වී තිබේ.

ඒ අතරින් ප්‍රමුඛ පෙළේ වාර්තා 10ක් පහත දැක්වේ.


1. එක්දින ක්‍රිකට් තරගයක පළමු ද්විත්ව ශතකය

එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක සම්බන්ධයෙන් ගත් කල, බොහෝ දෙනෙක් සචින් තෙන්ඩුල්කාර්, ග්ලෙන් මැක්ස්වෙල්, විරේන්ද්‍ර සෙවාග්, රෝහිත් ෂර්මා යන පිතිකරුවන් ගැන කතා කරති.

එහෙත්, එක්දින තරගයකදී රැස් කළ පළමු ද්විත්ව ශතකය සඳහා වන වාර්තාව ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක්ගේ නමින් ලියවී ඇති බව ඔබ දන්නවා ද?


OCඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් ජාත්‍යන්තර එක්දින තරගයක පළමු ද්විත්ව ශතකය රැස් කළා ය

සචින් තෙන්ඩුල්කාර් 2010 වසරේදී ද්විත්ව ශතකයක් රැස් කළ අතර, ඔහු එම දක්ෂතාව දැක්වීමට වසර 13කට පෙර එනම් 1997දී ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කර තිබිණි.

1997 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී, බෙලින්ඩා ක්ලාක් දෙසැම්බර් 16 වන දින ඩෙන්මාර්කයට එරෙහිව පන්දු 155කදී ලකුණු 229ක් රැස් කළ අතර, එයට හතරේ පහර 22ක් ඇතුළත් විය. තරගය මුම්බායිහි MIG ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


2. එක්දින තරගකය ලකුණු 400 සීමාව ඉක්මවා යාම


1997 වසරේදී ඩෙන්මාර්කයට එරෙහිව පැවති තරගයේදී, බෙලින්ඩා ක්ලාක්ගේ ද්විත්ව ශතකයේ ආධාරයෙන්, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දු වාර 50කදී කඩුලු තුනකට ලකුණු 412ක් ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එම කණ්ඩායම පිරිමි හෝ කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ලකුණු 400 ඉක්මවා ගිය පළමු කණ්ඩායම බවට පත්විය.


OC 2 ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 3කට ලකුණු 412 ක් රැස් කර තිබිණි


පිරිමි කණ්ඩායමක් මෙම වාර්තාවට ළඟා වූයේ, ඉන් වසර නවයකට පසුව ය. එනම් 2006 වසරේදී ජොහැන්නස්බර්ග්හි පැවති එක්දින ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා පිරිමි කණ්ඩායම් ලකුණු 400 ඉක්මවා ගිය අවස්ථාවේදී ය.

එහිදී, පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 434ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකා කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් කඩුලු 9ක් දැවී ලකුණු 438ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ ය.


3. එක්දින තරගයකදී කඩුලු 5ක් දවා ගැනීම


එක්දින ක්‍රිකට් තරගයකදී පළමු වරට කඩුලු 5ක් දවා ගැනීමේ වාර්තාව ද කාන්තාවකගේ නමින් පවතී.

1973 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී, ඔස්ට්‍රේලියාවේ ටීනා මැක්පර්සන්, එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු වාර 12කදී ලකුණු 14ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගත්තා ය.

ටීනාගේ වාර්තාවෙන් වසර දෙකකට පසු, ඔස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී 1975 වසරේදී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී මෙම දක්ෂතාව දැක්වීය.



19 SIYWS 19 වන සියවසේදී පවා එංගලන්තයේ කාන්තාවෝ ක්‍රිකට් ක්‍රීඩා කළහ



4. එක්දින තරගයකදී කඩුලු රකින්නෙකු දවා ගැනීම් 6කට දායක වීම


පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ එක් තරගයකදී කඩුලු රකින්නෙකු විසින් දවාගැනීම් 6ක් සිදුකිරීමේ වාර්තාව 2000 දී ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් පිහිටුවන ලදී. ගිල්ක්‍රිස්ට් පිතිකරුවන් හය දෙනෙකු ස්ටම්ප් කිරීමෙන් හෝ උඩ පන්දු රැක ගැනීමෙන් දවා ගත්තේ ය.

කෙසේ වෙතත්, ඊට වසර 7කට පෙර, කාන්තා කඩුලු රකින්නියන් දෙදෙනෙකු මෙම දස්කම දක්වා තිබිණි: ඒ, ඉන්දියාවේ කල්පනා වෙන්කටාචාර් සහ නවසීලන්තයේ සාරා ඉලිංවර්ත් යන දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා කඩුලු රකින්නන් ලෙස හය දෙනෙකු දවා ගැනීමේ වාර්තාව පිහිටුවා තිබිණි.

කල්පනා, ඩෙන්මාර්කයට එරෙහිව ස්ටම්ප් කිරීම් 5ක් සහ එක් උඩපන්දුවක් රැක ගත් අතර, සාරා ඔස්ට්‍රේලියාවට එරෙහිව උඩපන්දු 4ක් සහ ස්ටම්ප් කිරීම් 2ක් වාර්තා කර තිබිණි.


5. ටෙස්ට් තරගයකදී ශතකයක් සහ කඩුලු දහයක්


ඉයන් බොතම් සහ ඇලන් ඩේවිඩ්සන් ටෙස්ට් තරගයකදී ශතකයක් ලබා ගැනීම සහ කඩුලු දහයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන නමුත් ඔස්ට්‍රේලියාවේ බෙටී විල්සන් 1958 දී මුලින් ම මෙම වාර්තාව පිහිටුවීය.



CRICKETඑංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී බෙටී විල්සන් කඩුලු 11ක් දවා ගත්තා ය.



මෙල්බර්න්හි පැවති ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින්, ඇය පළමු ඉනිමේදී කඩුලු 7ක් සහ දෙවන ඉනිමේදී කඩුලු 4ක් දවා ගත් අතර ශතකයක් ද ලබා ගත්තේ ය.


6. ලකුණු සම තත්ත්වයෙන් අවසන් වූ පළමු එක්දින තරගය


එක්දින ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ලකුණු සම තත්ත්වයෙන් අවසන් වූයේ, කාන්තා ක්‍රිකට් තරගයකි.

මෙම තරගය 1982 දී එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අතර එහිදී කණ්ඩායම් දෙක ම ලකුණු 147ක් රැස් කළහ.



7. ළාබාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා/ක්‍රීඩිකාව

සචින් තෙන්ඩුල්කාර් සහ හසන් රාසා බොහෝවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ළාබාලතම ක්‍රීඩකයින් ලෙස හඳුන්වයි.

නමුත්, මෙම වාර්තාව පකිස්ථානයේ සජිඩා ෂාගේ නමින් ඇති අතර, ඇය 2000 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ, වයස අවුරුදු 13දී ය.



SAJEEDA සජිඩා ෂා



මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ම ආකෘතිවලට ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ෂෆාලි වර්මා වාර්තාව තබා ඇත.



8. පළමු ලෝක කුසලානය සහ පළමු T20 තරගය


1975 වසරේදී පළමු පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට වසර දෙකකට පෙර, 1973 වසරේදී පළමු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්විණි.


FIRSTWCපළමු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර පුහුණුවීම් කරන ක්‍රීඩිකාවක්

ලොව ප්‍රථම ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරගය ද පැවැත්වුණේ කාන්තා කණ්ඩායම් දෙකක් අතර ය. මෙම තරගය 2004 අගෝස්තු 5 වන දින එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්විණි.

පිරිමි T20 ජාත්‍යන්තර තරග ආරම්භ වූයේ, 2005 පෙබරවාරි මාසයේදී ය.



9. රෝස පැහැති පන්දුව භාවිත කිරීම

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව වැඩි කිරීම සඳහා දිවා-රාත්‍රී ටෙස්ට් තරගවලදී රෝස පැහැති පන්දුව භාවිත කිරීම ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත්, පළමු රෝස පැහැති පන්දුවකින් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන ලද්දේ, පිරිමි ක්‍රීඩකයින් නොව කාන්තා ක්‍රීඩිකාවන් ය.


BRUNTඑංගලන්ත ක්‍රීඩිකා කැත්රින් බ්‍රන්ට්


2008 වසරේදී, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර පැවති T20 ප්‍රදර්ශන තරගයකදී රෝස පැහැති පන්දුවක් පළමු වරට භාවිත කරන ලදී.

2009 දී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන කාන්තා කණ්ඩායම් අතර පැවති තරගයේදී රෝස පැහැති පන්දුව ජාත්‍යන්තරව භාවිත කරන ලදී.

පිරිමි ක්‍රිකට් තරගයකදී පළමු වරට රෝස පැහැති පන්දුව භාවිත කරන ලද්දේ, 2015 වසරේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඩ්හි පැවති ටෙස්ට් තරගයේදී ය.


10. උරහිසට ඉහළින් පන්දු යොමු කිරීම

උඩින් පන්දු යැවීමේ ක්‍රමය හඳුන්වා දීම සම්බන්ධයෙන් පවා කාන්තාවකට ගෞරවය හිමි වේ. ඇය 19 වන සියවසේ ක්‍රිකට් ක්‍රීඩිකාවක වූ ක්‍රිස්ටියානා විල්ස් ය.

1805 දී, ඇය තම සාය නිසා පන්දු යැවීමේදී ඇති වූ අපහසුතා වළක්වා ගැනීම සඳහා අත උඩින් පන්දු යැවීම ආරම්භ කළ අතර, එය නූතන පන්දු යැවීමේ විලාසයේ වර්ධනයට හේතු විය.

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ලෙස සැලකෙන්නේ, අත් දෙකට ඉහළින් පන්දු යැවීමේ යුගය යි.


(උපුටා ගැනීම - බිබීසී සිංහල )