රටේ පවතින පොලිස් අපරාධ වෙනුවෙන් තම සංවිධානය විශේෂ තීරණ කිහිපයක් ගත් බව 'අරගලය ජාතික ව්‍යාපාරය'සංවිධානයේ ලේකම් කැළුම් අමරසිංහ පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (08) බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
සාධනීය ප්‍රතිචාරයක්
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කැළුම් අමරසිංහ කියා සිටියේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කළ නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හමු වී ලිපියක් භාරදුන් බවයි.
එමෙන් ම තම ඉල්ලීම පිළිබඳව එම පාර්ශ්ව දෙක ම සාධනීය ප්‍රතිචාර දැක්වූ බව ද කැළුම් අමරසිංහ මෙහිදී සඳහන් කකළේ ය.
හොරා ගේ අම්මා ගෙන් පේන ඇසීම
මීට පෙරද අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් මගින් නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, මෙම නියෝජ්‍ය පොල්ස්පතිවරයා චෝදනාවලට ලක්ව තිබිය දී අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය ද ඔහු වෙත පවරා තිබීම හොරාගේ අම්මා ගෙන් පේන ඇසීමක් වැනි යැයි කැලුම් අමරසිංහ පෙන්වා දුන්නේ ය.
ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණු කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසීමට තමන්ට අයිතියක් ඇතැයි සඳහන් කළ කැලුම් වැඩි දුරටත් කියා සිටියේ, මේ චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ විමර්ශන අංශ දැනුවත්ව ඇති බවට තමන් විශ්වාස කරන බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම පුදුමයට කරුණක් බවයි.