විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරනු ලබන්නේම විදුලි බිල අඩු කිරීම ඉලක්ක කරගෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඔහු මේබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
විදුලි බිල අඩු වුණ අවස්ථා, වැඩි වුණ අවස්ථා සහ අඩු වැඩි නොකර පවත්වා ගෙන ගිය අවස්ථාවලුත් තිබුණ බව හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය අරගෙන ආව පාඩුවක් තිබෙනවා. මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. විදුලි බිලේ කොහොම සංශෝධනයක් කරනව ද කියන එක තාමත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කරලා නැහැ. විදුලිබල මණ්ඩලයත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මහජනතාවත් විවිධ දේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සියල්ල මත පදනම් වෙලා විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ලබාගනීවි.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන් එන ඉල්ලීම, කර්මාන්තකරුවන්ගේ හා ආයෝජකයන්ගෙන් එන ඉල්ලීම් සියල්ල සලකා බලමින් විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට නම්, අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයට යා යුතු වෙනවා. ඉංජිනේරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දැනටමත් සේවය කරමින් ඉන්න ඒ ඒ අංශවලට ඇතුළත් වෙන්න. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”
(නුවන් කොඩිකාර)