Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

බැකෝ සමන්ගේ බිරිඳ ශාධිකා ලක්ෂානිගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් ගැන අධිකරණයේදී හෙළි වුණු කරුණු

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්: 09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් ඒ බව දැනුම් දුන්නා ය.


දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට



පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසු වන ෂාධිකා ලක්ෂානි නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ය.

ඇය මත්ද්‍රව්‍ය ජාවාරම හරහා අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයි සඳහන් කළා ය.


බැංකු ගිණුම්වල තිබූ මුදල්


මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී නමැත්තියගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202ක මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි ඇය සඳහන් කළාය .

සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211ක මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේ දැයි බරපතළ සැකයක් මතු වන බවත් සඳහන් කළා ය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඇය පැවසීය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කෙරෙන ප්‍රකාශ තුනක් මේ වන විට පොලීසිය විසින් සටහන් කර ගනු ලැබ ඇති බවත්, පසුගිය කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 38කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ හමුවේ විභාග වන නඩුවේ රිමාන්ඩ් භාරයේ පසු වන විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ දැනුම් දීම මත මෙම සැකකාරියට සහ ඇයගේ සමීපතමයිනට අයත් බැංකු ගිණුම් 13ක් මහාධිකරණ නියෝග මත තහනම් කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් 5ක් ඇති බවත් සඳහන් කළා ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින් මෙම සැකකාරියට අයත් විදේශීය බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන සිදුකර තිබේ දැයි විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම සැකකාරිය සතු විදේශීය බැංකු ගිණුම් හතරක් ඩුබායි රාජ්‍යයේ පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම බැංකු ගිණුම්වල අංක මේ දක්වා සොයාගෙන නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නා ය.


මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්නයක්


මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "ඔබ බැංකු ගිණුම් 13ක් තහනම් කළ බව සඳහන් කළා. එහෙත් අද පොලීසිය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ බැංකු ගිණුම් 06ක් ගැන පමණයි. ඇයි එහෙම වුණේ," යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "ස්වාමීනි...එම බැංකු ගිණුම් 13 පිළිබඳ විස්තර වැඩිදුර වාර්තාවට ඇතුළත් කරන ලෙස අපි පොලීසියට උපදෙස් ලබා දුන්නා," යනුවෙන් පැවසීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින්, "බැංකු ගිණුම් 13ක් තහනම් කළා නම් ඒක වාර්තාවට ඇතුළත් කළ යුතුව තිබුණා. මොක ද ඒක වැදගත් කාරණයක්," යනුවෙන් පැවසීය.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඉන් අනතුරුව, සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි සොයා බලා සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝග කළත් අද දින පොලීසිය විසින් එවැනි සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් එම නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනත යටතේ නොව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරන බව ය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව විමර්ශන සිදුකර මීළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් සැකකාරිය ඔක්තෝබර් 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.

(බීබීසී සිංහල සේවය )