නුගේගොඩ සන්හිඳ හෝටලයේ පිහිනුම් තටාකය තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ නුගේගොඩ කීබල් පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 08 වනදා පෙරවරුවේ නුගේගොඩ, මිරිහාන, 'සන්හිඳ' හෝටලයේ පිහිනුම් තටාකය හෝටලයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.
එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී තිබේ.
ඒ හේතුවෙන් එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
ඒ අනුව මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.