''මම පාර්ලිමේන්තුවේ තනි අලියා .. සමගි, යූ එන් පී දෙක එකට එකතු කරලා අලි ගහනය වැඩි කරගන්නවා...'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුකිරීම සඳහා තමාට කළ හැකි උපරිමයෙන් දායකවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
ඔහු එබව කියා සිටියේ, දිවංගත ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ දීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති එම උත්සවයේදී උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමිණ.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ මහාචාර්ය ලලිත් ගමගේය.
ශ්‍රීමත් ලලිත් ඇතුළත් මුදලි පදනමේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවටවට එක්වෙමින්, ආර්ථික බාධා තියෙන, හැකියාවක් ඇති දරුවන්ට උදව් කිරීම සඳහා හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළ ආකාරය පැහැදිලි කළේය.
තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා, මේවනවිට ජනතාව තුල රජය ගැන විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන පමණක් බව සඳහන් කළේය. ''එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තියෙන්නේ, තව අවුරුද්දක් යනකොට මේ තත්ත්වය වැඩි කරගන්න වෙයි'' යයි ඔහු කියා සිටියේය.
හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ, IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතු බවයි.
ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එහි තියෙන වටිනාකම නැති වෙන බව පැවසු මන්ත්‍රීවරයා, ''පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් මේකට විසඳුමක් ලබා ගත යුතුයි'' යයි ද කියා සිටියේය.
විදුලි බිලියි අඩු කරන්න ආපු ආණ්ඩුවක් විදුලි ගාස්තුව වැඩි කරන්නේ කොහොමද ඒක ප්‍රශ්නයක් යයි ද හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රවී කරුණානායක විමසා සිටියේය.
(Colombo නිරෝෂන්)